Saturday, November 18, 2017

                                     හෘද සාක්ෂිය කන්නද?

'' ඔය කියන විදිහ හරි වුණා ට එහෙම පවතින්න බැහැනෙ...''
ගුරුවරිය කතාව පටන් ගත්තා!
''පුද්ගල පැවැත්ම සඳහා වැඩ කරලා හරියන්නෙ නැහැ ටීචර්...අපි සමාජයක් විදිහටම පවතින්න තමයි වැඩ කරන්න ඕනෙ...''
මගෙ සුපුරුදු ප්‍රතිචාරය!
''දැන් බලන්න ඔය බැඳුම්කර සිද්ධිය...එයාල කොච්චර සල්ලි හොයාගෙන ද? පරම්පරා ගණනාවකට...අපි මොන කතා කිව්වත් එයාලා දිනුම්!''
''ඒ මොන දිනුමක් ද? ලැජ්ජාව, සමාජ ප්‍රශ්න...පවුල් ප්‍රශ්න! අනෙක ඒ අයගෙ හෘද සාක්ෂිය! එයාල හිත ඇතුළෙන් තැවෙනවා ඇති...''
''මොන පිස්සුද? එයාල හිතන්නෙ එයාලා දිනුම් කියල...අනෙක ඔයාම දවසක් ලියල තිබුණු විදිහට...ඔය මහා ලොකු හොරකං එක විදිහක නම්බුවක්...පොඩි එකෙක් මොකක් හරි හොරකං කෙරුවොත් නං ඔන්න ලැජ්ජාව...''
මේ ගුරුවරිය සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය හරහා පෙනී හිටින්නෙ වඩා යහපත් සමාජයක් වෙනුවෙන්!
''එහෙම නං ඔයා ඇයි ඔය කතාව කියල post දාන්නෙ නැත්තෙ?''
''මොන කතාව ද?''
ඇය කුතුහලයෙන් අහනවා.
''පුළුවන් තරං හොරකං කරපල්ලා! පුළුවන් තැන හොරකං කරපල්ලා! පවතින්න පුළුවං එහෙම තමයි!..වගෙ කතා...''
''අපෝ! එහෙම ලිව්වොත් අනිත් එවුන් මාව මරාගෙන කයි! මම කියන්නෙ ප්‍රසිද්ධියෙ කියන්න ඕන දේ නෙවෙයි, කරන්න ඕන දේ...''
''ඒ කියන්නෙ?''
''මෙහෙම හිතන්න...ඔය බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අය දැන් ගොඩනෙ...ඇති තරං හොයාගෙන තියෙන්නෙ...කාලයක් යනකොට මිනිස්සුන්ට ඕක අමතක වෙනවා...එතකොට?''
ඇයගෙ හඬ සැහැල්ලුයි!
''ඔයා ඔහොම අවංකව සමාජය හදන්න කෑ ගැහුවට...මම දැකල තියෙනවා ඔයාට දාන සමහර comments...මහින්දට සපෝර්ට් ලු, එයාලගෙන් සල්ලි අරන් ලු...දෙරණ ට විතරක් යන්නෙ ඒකලු...එතකොට? මම ඇත්ත දන්නා නිසා දන්නවා..ඔයා සමාජය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවීමෙන් වැඩකරනවා කියල...අනිත් පැත්තට ලැබෙන්නෙ තෘප්තිය විතරයි කියලත් දන්නවා...''
''ඒ අවබෝධය තමයි වැදගත්...''
''ඒ වුණාට එහෙම දන්නෙ...එහෙම හිතන්නෙ කීයෙන් කී දෙනා ද? ඔය හුඟාක් අයට මේ කිසිම දෙයක් වැඩක් නැහැ, fb එකේ comments දානවා විතරයි...''
''ඒක නං ඇත්ත...ඒක මම සෑහෙන කාලයක් අත්විඳිනවා...''
''fb posts...comments බලන්න! දැන් ඔය අර්ජුන මහේන්ද්‍රන්ලා...ඇලෝසියස්ලා...එයාලගෙ හොරකං ආරක්ෂා කරන අනිත් අය ගැනත් කට්ටියක් බනිද්දි...කට්ටියක් හොඳ කියනවා...ඒකයි මම මේ කියන්නෙ...''
ගුරුවරිය කියාගෙන කියාගෙන යනවා.
''මම නං අපේ මහත්තයා හොරකං කරලා හරි පවුල ගොඩ නගන්න හැදුවොත් විරුද්ධ වෙන්නෙ නැහැ...මොකද, අපි කොච්චර හොඳ වුණත් අපිට කවුරුවත් මොකුත් දෙන්නෙ නැහැ...''
''මට පුදුම ගුරුවරියක් වෙලත් ඔහොම හිතන එක ගැන...''
'' මේ තම්යි ඇත්ත! ඔය සමාජය හදන්න කතා කරන හුඟාක් අය කරන්නෙත් එහෙම තමයි...''
''එතකොට මේ තත්වය වෙනස් කර ගන්න ඕන නැද්ද?''
''ඒක මට විතරක් කරන්න බැහැ! එහෙම කරන්න ගත්තොත් ඒ කෙනා තනි වෙනවා...''
ඇය කතා වේගය බාල කරන්නෙ ම නැහැ.
''කෙනෙකුගෙ හෘද සාක්ෂිය?''
''ඒක කන්නද අනේ...''
ඇයගෙ හඬේ මොකද්දෝ උපහාසයකුත් තිබුණා.
''එක උදව්වක් කරන්න!''
''මොකද්ද?''
''ඔය කතාව ළමයින්ට නං කියන එපා!''
''අපෝ නෑ...මම ඕවා කියන්න යන්නෙ නැහැ, පාඩුවෙ ඉන්නවා මිසක්...''
''පාඩුවෙ!''
මගෙ පුනරුච්ඡාරණය ඇයට ඇහුණා ද මන්ද!
CHAPA
Nov 19, 2017 



Monday, November 6, 2017

Wednesday, November 1, 2017

  දෙවියො? මොන?

''අපේ අයියා තමයි මාව යැව්වෙ...මම නං ඕවා විශ්වාස කරන්නෙම නැහැ...''
ඔහු, තමන් ගිය ගමන ගැන දුක් වෙනවා!
''මට අපලයි ලු! මාස දෙකක් ඇතුළත කරන කියන කිසිම දෙයක් හරියන්නෙ නැතිලු! රට යන්න එපා ලු! ගියොත් එක්කො හිරේ යනවා ලු, නැත්තං මැරෙනවා ලු!''
ඔහුගෙ හඬ පසුතැවීමක්.
''දෙහි ත් කැපුවා..මෙහෙම මෙහෙම ඉණ වටේ කරකවල...මෙන්න මෙහෙම කොණ්ඩේ අල්ලලා...දෙහි ගෙඩිය කැපුවා...මගෙ ඔළුව නිකං විකාර වෙලා, චිහ්! අපරාදෙ මම ගියේ...''
ඔහු මේ කියන්නෙ, මීගමුව ප්‍රදේශයේ දේවාලයකට ගිය කතාවක්. රට ඉඳල නිවාඩුවකට ඇවිත් ආයෙ යන්න හදන වෙලාවෙ තමයි මේ අත්දැකීම ඔහු ලබන්නෙ.
''පිස්සුද, නැත්තං හැටි ද?''
මම අහන්න පටන් ගත්තා.
''ඔබ ඉගෙන ගත්තු කෙනෙක් වෙලත් ඔය වගෙ මෝඩ වැඩ වලට අහු වෙන්නෙ ඇයි? මට නං හිතා ගන්නවත් බැහැ!''
''අද මට කොහෙන් හරි මුතු ඇටයක් අරගෙන ආයෙත් දේවාලයට එන්න කිව්වා, මොකද්ද කරන්න...කොහෙන්ද දැන් මුතු ඇට හොයන්නෙ?''
මට ඔහු කියන දේ විශ්වාස කරන්නම බැහැ. මොකද, ඔහු ලෝකය ගැනත් යමක් කමක් ඉගෙන ගත්ත වෘත්තිකයෙක්.
''පිස්සු නං කෙළින්න එපා! ඔය වැඩේ පැත්තකට දාලා සාමාන්‍ය විදිහට වැඩකරගෙන යන්න!''
මගෙ හඬ විධානයක් වුණා.
''ඒ වුණාට...මට ඔය කියන විදිහට මොකක් හරි වෙයිද? මම ආයෙත් රට යන්න ඉන්නෙ, හෙට අනිද්දම...''
''මේ! බම්බු ගහන්නෙ නැතුව, පාඩුවෙ හිටපං...චිකේ! උඹට ලජ්ජ නැද්ද ඇත්තට?''
මගෙ වචනත් දැන් ටිකක් වෙනස් වෙනවා.
ඔහු ඔන්න බර කල්පනාවක.
''මම ඒත් කල්පනා කරන්නෙ...''
''ඒ පාර මොකද්ද?''
ඔහුගෙ දැන් කතා විලාශය නං මගෙ කුතුහලය අවුස්සන්න සමත්.
''මොකද්ද?''
''අර කපුවගෙ වයිෆ් කාරයත් දේවාලෙ වැඩ...''
''ඉතිං?''
''ඒ මනුස්සයගෙ ඇඟ පුරාම සුදු කබර...ඒ අස්සෙ එයා ඉවරයක් නැතුව ඇඟ කසනවා''
''ඉතිං?''
''මම මේ අපහාසයකට කියනවා නෙවෙයි...''
''ඉතිං?''
''නෑ ඉතිං...මම බැලුවෙ, ඔය කපුවට ඔච්චර බලයක් තියෙනවා නං දෙයියන්ට කියල තමන්ගෙ ගෑනිගෙ සුදු කබර සනීප කරල දෙන්න පුළුවන් නෙ...නේද?''
''ඔය තියෙන්නෙ මොළේ!''
''ඒක තමයි!''
ඔහුගෙ මුහුණ ට අමුතු එළියක් වැටුණා.
CHAPA 
Nov 2, 2017