Thursday, December 3, 2015

Dec 3, 2015,

වාසුට මොකද වුණේ?

වාසු මේ වන විට ප්‍රසිද්ධියේ කුණුහරුප කියන අවලං චරිතයක් ගාණට වැටිලා. පාර්ලිමේන්තුව තුළ ඔහු කුණුහරුප කියමින් ආවේගශීලිව හැසිරෙන විදිය මාධ්‍ය ඔස්සෙ මුලින් විමතියටත් පස්සෙ හාස්‍යයටත් ලක් කෙරෙනවා .
වාසු කියන්නෙ ලංකාවේ වම් ඉවුරේ දේශපාලනය නියෝජනය කරන කෙනෙක් .(ලෝක ඉතිහාසය තුළ දේශපාලනයෙ දකුණු සහ වම් ඉවුරු ගැන කතිකාව සංකීර්ණ එකක්!) සාපේක්ෂව ලංකා ඉතිහාසය නිර්මාණය කරපු දේශපාලන නියෝජිතයන් අතර වාසුට යම් වටිනාකමක් තියෙනවා. පවුල් පසුබිම සහ උගත්කම වගෙ සාධක නිසා ඔහුට අනන්‍ය යම් පෞරුෂයක් තිබුණා.මටත් පුද්ගලිකව ඔහු සමග වැඩකරන්න අවස්ථා කිපයක් හැදුණා. 2003 දී විතර "නිදහස් "පත්තරේ මුල් කරගෙන පටන් ගත්ත සංවාද මාලාවක වාසු - බාහූ පරදයි ,වම කෝ? කියලා සංවාදයකුත් තිබුණා, මරදානෙදි.
බාහු අවේ නැහැ. වාසු ආවා. නිර්මාල්, දීප්ති ඇතුළු x කණ්ඩායමේ කට්ටියකුත් එදා ආවා. ශාලාවට ගෙව්වෙත් වාසු. අපි අතර පුද්ගලික සම්බන්ධයක් නැහැ. ඒත් වාසු සුහද සහ මිත්‍රශීලී පුද්ගලයක්. සටන්කාමියෙක්. වැදගත්ම දේ ඔහු හොඳ මනුස්සයෙක්!
වාසු අද නියෝජනය කරන්නෙ මහින්දගෙ පිළ. ඔහුගෙ වමේ දේශපාලනය මේ තැන්වලදි ගලපා ගන්නේ කොහොමද කියන එක වෙනම කතිකාවක්. ඔහුගේ දැනුම, නූතන වෙළෙඳ චලනයන් සමග සැසදෙනවද කියන එකත් ප්‍රශ්නයක්.
වාසු මේ නොගැලපෙන තත්වයට වැටෙන්නෙ ඔය ප්‍රශ්න දෙක නිසා බව මම යෝජනා කරනවා!
පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරයක් සල්ලිවලට විකිනෙණ අය. කුඩු ඇතුළු ජාවාරම් වලට සම්බන්ධ අයත් ඉන්නවා. එදත් හිටියා, එන්න එන්න වැඩිවෙනවා.පාර්ලිමේන්තුවේ ඇතුළේ දැන් කොහොමටවත් සංවාදයක් නැහැ. 2000 - 2001 දි චන්ද්‍රිකා නව ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගේන වෙලාවේ අශ්රෆ් සහ වාසු තමයි තර්කානුකූලව කතා කෙරුවේ. වාසුගේ ඉංග්‍රීසි භාෂාව හැසිරවිමත් තියෙන්නෙ ඉහළ මට්ටමක. ඒත් ඉතිං කාත් එක්කද සංවාද කරන්නේ? මිනිස්සු කුණුහරුප කියන්නේ භාෂාව ඉවර වුණාම.
පවතින තත්වයන් ඇතුලේ වාසුට කුණුහරුප කියනවා හැරෙන්න කරන්න වෙන දෙයක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න බාලයෝ වාසු අවුස්සලා,කුණුහරුප කියවලා විනෝද වෙන කොට රටට මොකක්ද වෙන්නෙ කියන එකයි ප්‍රශ්නේ.!!

CHAPAbandara

No comments:

Post a Comment