Thursday, May 24, 2018

දුම්බර, මරණිය අනතුර !

සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන ඉදිකිරීම මෙන්ම වෙනත් ඊනියා සංවර්ධන කටයුතු හේතුවෙන් ද, ශ්‍රී ලංකාවෙ හදවත බඳු වූ, දුම්බර වනාන්තර හෙවත් නකල්ස් කඳු පන්තිය සිසාරා පැතිරෙන මහා වනාන්තරය, මේ වන විට බරපතළ අනතුරකට ලක් වෙමින් තිබේ!
ඒ අතර, ඊට මායිම් වන වතු ඉඩම් සමුහයක් විවිධ ව්‍යපෘති සඳහා, විවිධ පාර්ශ්ව කීපයකට ලබා දීමට වර්තමාන ආණ්ඩුව ගෙන ඇති තීරණයත් සමඟ ම එකී තත්වය වඩා අයහපත් අතට හැරෙමි තිබෙන බව අනාවරණය වේ. රාජ්‍ය වැවිළි සංස්ථාවේ සහ ඇල්කඩුව වැවිළි සමාගමේ කළමනාකරණ අයිතිය ට, පිළිවෙළින් යටත් කර තිබු, හෙක්ටයාර් 9675 සහ හෙක්ටයාර් 3693 න්, එසේ පැවරෙන ඉඩම් ප්‍රමාණය, පිළිවෙළින්, හෙක්ටයාර් 6192 සහ හෙක්ටයාර් 2363 කි, එනම් සමස්තය, හෙක්ටයාර් 8555 හෙවත් අක්කර 21400 කි.
රාජ්‍ය වැවිළි සංස්ථාවට අයත් එම ඉඩම්, අලකොළේ, කොටගල, ගල්පිහිල්ල, ගෝමරේ, හග්ගල්ල, හෙයාර්පාක්, හුන්නස්ගිරිය, කැලෑබොක්ක, මැදවත්ත, නිකොලෝය, රංගල සහ ඕපල්ගල ප්‍රදේශවලද, ඇල්කඩුව වැවිළි සමාගමට අයිති අදාළ ඉඩම් බණ්ඩරපොළ, ඇල්කඩුව, හුණුගල, පිටකන්ද, රත්වත්ත, සැලගම, හපුගස්පිටිය, මිල්ලවාන, නාලන්දා වතු වශයෙන් ද පැතිර පවතී. මේ අතර හෙයාපාර්ක් වත්තෙන් අක්කර 900 ක් කුකුළු ව්‍යාපාරයකට ක්‍රිස්බෝ සමාගමට ද, රත්වත්ත වතු යාය, යම් යම් කණ්ඩායම් සඳහා රෝස තිරුවාණා කොල්ලකෑමට ද ලබා දී තිබේ. මිට අමතරව මැදවත්ත වතුයාය ඇතුළු ස්ථාන කීපයක් හෝටල් ඉදිකිරීම සඳහා වෙන්කර තිබෙන බව ද අනාවරණය වේ.
මෙම දුම්බර වනාන්තර පද්ධතිය පිළිබඳ සංවාදය දුරාතීතය දක්වා ම දිව යන අතර, එය බ්‍රිතාන්‍ය පාලකයන් ගේ විශේෂ අවධානය ට ද යොමු වී තිබිණි. වන විනාශය ආරම්භ කරමින් රට ට වැවිළි කර්මාන්තය හඳුන්වා දීමට පියවර ගත් බ්‍රිතාන්‍ය පාලකයන් පවා, අඩුම තරමේ තම උවමනාවන් සඳහා හෝ වනාන්තර පද්ධති ආරක්ෂා කිරීම ට, අදට වඩා සාපේක්ෂ සාධනීය පියවර ගත් අවස්ථා දැකිය හැකිය.
කෙසේ වෙතත්, 1995 දී, එතෙක් පැවති 1907 අංක 16 දරන කැලෑ ආඥා පනත සංශෝධනය කෙරුණු අතර, එහි 3 අ (1) වගන්තිය යටතේ, 2000 මැයි 5, අංක 1130/22 ගැසට් පත්‍රයෙන්, මෙම දුම්බර වනාන්තරය ලංකාවේ ප්‍රථම සංරක්ෂිත වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මධ්‍යම පළාතට සහ එහි මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වලට අයත් එකී සංරක්ෂිත භුමි ප්‍රමාණය හෙක්ටයාර් 17825 කි. කෙසේ වෙතත් මෙම වනාන්තරයේ සමස්ත ප්‍රමාණය හෙක්ටයාර් 21000 ක් වන අතර එය රටේ සමස්ත භුමි ප්‍රමාණයෙන් 0.32% කි. මෙම රක්ෂිත වනාන්තරය නම් කරන විටත් ඒ තුළ හෙක්ටයාර් 2000 පමණ වූ රජයේ සහ පුද්ගලික ඉඩම් ප්‍රමාණයක් තිබුණු අතර ඒවා පියවරෙන් පියවර වන රක්ෂණ දෙපාර්තමේන්තුව ට පවරා ගැනීම ට නියමිතව තිබු මුත් එකී ක්‍රියා දාමය ද හරියාකාරව සිදු වී නොමැති බව අනාවරණය වී තිබේ. මේ අතර, වසර 2000 වන විට දුම්බර වනාන්තරය UNESCO ස්වභාවික ලෝක උරුමයක් ලෙස ද නම් කෙරුණු අතර, මෙවැනි ලෝක උරුම නම් කිරීම් පිළිබඳව ද අපට වෙනම පුළුල් සාකච්ඡාවක් තිබෙන බව පමණක් මෙහි සටහන් කර තබමි.
මේ සියල්ල මැද, මහනුවර දිස්ත්‍රික්කයේ, මිණිපේ, උඩුදුම්බර, පාත දුම්බර, පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතර සහ මාතලේ දිස්ත්‍රික්කයේ, උකුවෙල, රත්තොට, ලක්ගල, පල්ලේගම, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහ පුරාවට පැතිර තිබෙන මෙම මහා කඳුකර වන තීරය, ඊට ම අවේනික ශාඛ සහ සත්ත්ව විශේෂයන්ගෙන් ගහනය, ජෛව විවිධත්වයෙන් අනුනය. ලංකාවේ දිග ම ගංගාව වන මහවැලිය පෝෂණය කරන සමස්ත ජල පෝෂක ප්‍රදේශයෙන් 30% පමණ ප්‍රමාණයක් ආවරණ කරන්නේ ද මෙම කඳුකර දුම්බර වන යාය බව ඇතැමෙක් නොදන්නවා විය හැකිය.
මෙම අතිශය සංවේදී මහා වනාන්තරය දිගු කාලයක පටන් වන ඝාතකයන් ගේ සහ තවත් ජාවාරම් කරුවන්ගේ අතවරයට ලක් වෙමින් තිබෙන්නේ දේශපාලන බල අධිකාරියේ ඍජු මැදිහත්විමෙන්ය.
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන හිටපු ඇමති කබීර් හෂීම් සහ වර්තමාන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල, දුම්බර රක්ෂිතය මායිමේ වතු ඉඩම් අක්කර 21400 ක් තම නෑ සිය හිත මිතුරන් ට පවරෑ දීමට කටයුතු කර තිබෙන්නේ ද මෙවන් මරණිය පසුබිමකදීය.
ඒ අනුව, විශේෂයෙන්ම, ගිරිස්වත්ත, කොස්ගොල්ලවත්ත, කෝබට් ගැප්, අට්ටලවෙට්ටුව, ගෝනමඩවත්ත පතන සහ සුදු ගල ප්‍රමුඛ වන ප්‍රදේශ, එනසාල් ඇතුළු විවධ වගා සිහින මවන වැවිළි කරුවන්ගේ, හෝටල් හිමිකරුවන්ගේ සහ තවත් ව්‍යාපාරිකයන්ගේ මෙන්ම ඔවුන්ගේ තැරව් කරුවන්ගේ ද රුදුරු ග්‍රහණයට වේගයෙන් නතු වෙමින් තිබීම ජෛව ගෝලයම කම්පා කරවන අනතුරුදායක තත්ත්වයකි.
ඉතිං, මේ මොහොතේ ජිවත්වන මිනිසුන් ලෙස, ස්වභාව ධර්මය ට එරෙහි මේ මහා අපරාධය ට එරෙහි ව අපට කළ හැක්කේ කුමක් ද?
CHAPA, May 18, 2018

CHAPA on ''How to drive!'' on nidahas, May 24, 2018