Thursday, December 27, 2018


නොදකින්!


''අපි හොඳ දේවල් කෙරුවොත් තමයි අපටත් හොඳ දේවල් වෙන්නෙ...''
ඇය වාහනයෙ පිටුපස අසුනෙ ඉඳ ගන්න ගමන් කිව්වා.
''අපි හැමෝටම හොඳක් වෙන්න කියලා මුළු හිතින් ම පතන්න ඕන...''
ඇය ගෙ තැන්පත් හඬ වාහනය පුරා විසිරෙනවා. අසනීපයෙන් පසුවන ඇය මැදිවියේ කාන්තාවක්. නෑ කමක් මත මට ලැබෙන රාජකාරිය තමයි, උදේ පාන්දර අක්ෂි සායනයකට යන්න හදන තවත් කට්ටියකට ඇයව බාර දෙන්න තියෙන එක. ටික දුරයි යන්න නං තියෙන්නෙ.
දැන් වෙලාව හරියටම උදේ 5.43 යි!
''මං නං හැම වෙලාවකම, සියළු සත්ත්වයො නිදුක් වෙත්වා...''
ඇය කතාව පටන් ගන්න අතරෙ මං වාහනය පණ ගැන්නුවා,
''...නීරෝගි වෙත්වා...දුකෙන්...''
''නොදකින්...''
ඇයගෙ ශාන්ත හඬ යටපත් කරන වෙන හඬක් වාහනය දෙදරුම් කවමින් එක පාරටම කඩා පැන්නා.
ඈ! ඒ නං මං වෙන්න ඕන!
''ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි සුකිරි බටිල්ලා...''
එතකොටයි මට හොඳ සිහිය ආවෙ, ඒ වාහනයෙ රේඩියෝව. ඊයෙ දාපු ගමන්. අත් වැරදීමකින් හඬත් වැඩි වෙලා.
'' චූඩමාණිකේ දමාලා යනවා මේ අපි...චූඩමාණිකේ දමාලා...''
රන් වන් එෆ්එම් හඬ දිගටම ඇහෙනවා.
''...මස් උයලා කොස් උයලා කන්න දුන්නෙ මං..,මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලු දැන්..''
මං එක පාරටම රේඩියෝව වහල දැම්මා.
''නොදකින්...''
ආයෙත් ඇහෙනවා ඒ අර සිංදුවේ කෑල්ලක්.
වාහනය ඉස්සරහට ගන්න ගමන් මට ඉබේම පිටු පස අසුන බැලුණා. ඇය දකුණු අත ට නිකට ඔබාගෙන ඇස් පියාගෙන.
මං දැන් යනවා.
ඒ කාන්තාවගෙ ඔළුව එක පාරටම විකාර වෙන්න ඇති. මං කල්පනා කරනවා.
ළාහිරු මෝදු වෙන සුන්දර උදෑසනක අපි අහන්න කැමති මොන වගේ හඬවල් ද? කුරුළු කීචි බීචියක්. සුළං රොදකට නැටවෙන ගස් රිකිල්ලක තාලයක්. ම්ම්ම්...මට එතකොට නං චූටි කාලයෙ හිතේ පැළ පදියම් වුණු, උදේ හිරු එළිය කපාගෙන නැගෙන, වළවේ ගඟේ දඟකාර තාල රටා ත් මතකයට එන්න ගන්නවා.
නැවුම් දවසක නැවුම් සිතුවිළි!
අපට එහෙම ගුවන් විදුලි සංස්කෘතියක් තිබුණා. 80 - 90 දශක වෙනකොට වගේ ඒ සියල්ල විනාශ වෙන්න ගත්තා. මට එක පාරටම 'ලක්හඬ' ගුවන් විදිලිය මතක් වුණා. අපි උදේ, දවල්, හවස සහ රෑ වැඩ සටහන් සඳහා වෙන වෙනම ගී තෝරපු හැටි. කොච්චර සුන්දර අත්දැකීමක් ද! මහා පරාසයක පර්‍යේෂණාත්මක ගී සමුදායක් තියෙද්දි ඇයි මේ ගුවන් විදුලි නාලිකා මෙහෙම පහළ මට්ටමකට වැටෙන්නෙ.
ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි!
ඔන්න ආයෙත් නැවුම් හිත දෙදරන්න පටන් ගන්නවා.
නොදකින්!
චිහ්! මෙච්චර ලස්සන උදෑසනක්!
අහ්! ඒ අස්සෙ දන්නෙම නැතුව එන්න ඕන තැනටත් ඇවිත්.
''මේ රේඩියෝකාරයො සිංදු දාන්නෙ රෑ එළිවෙනකල් දුවන බස් වලට, රෑ කඩ වලට...රැයක් දවාලක් ඒ අයට මතක නැහැ...ඒකනෙ!''
අර කාන්තාව හරියට මං හිත හිතා ආපු දේවල් දැනගෙන හිටිය වගෙ කියලා බැහලා ගියා.
මං ඉතිං ආපහු ආවා!
CHAPA, Dec, 2018

දැන් තවත් ආරාවුලක්!

'රංචි' ගැන මං ඔබ ට කියල තියෙනවා, රංචි මේ ළඟ පාත ගෙදරක සැපට හැදෙන ආඩම්බරකාර බැළලියක්. ඇය ට කන්න බොන්න ලැබෙන්නෙ සුපිරි වෙළෙඳ සැල් වල තියෙන පිට රට බළල් කෑම. හාල් මැස්සෙක්, කරවල කෑල්ලක්, මාළු කෑල්ලක් දිහා ඇය හැරිලවත් බලන්නෙ නෑ. කිරි ත් එපා කියන කෙනෙක් තමයි එයා. 
ඒ නිසාමද මන්දා, ඇයගෙ හැසිරීම අමුතුයි. ඒ ගැන තමයි දවසක් මං සටහනක් ලිව්වෙ. කොටින් ම රංචි, රස්තියාදුකාර මීයො කීප දෙනෙක් ළඟ කොමල කර කර බලන් ඉන්නවා මං දැක්කා. පහු ගිය දවස්වල ඉතිං කොහොම හරි රංචි මේ පැත්තෙ ආවෙ නැහැ, සමහරු කිව්වා එයා ගැන මූණු පොතේ ලියපු නිසා ඒ වග දැනගෙන මට මූණ දෙන්න ලැජ්ජාවෙ එහෙම මග හැරලා ඉන්නවා කියල.
ඒ අතරෙ තමයි, මේ ළඟදි මූණු පොතට ලියැවෙමින් තිබුණු මගේ සටහනකට අමුතු භාෂාවකින් කෑල්ලක් එකතු කරපු කහ පාට ට හුරු අනිත් බැළලිය ආවෙ. ඇය නිතර නිතර මෙහෙ ඇවිත් කාලා බීලා කරකැවි කැවි ඉඳලා යන්න යනවා, ආයෙ එනවා. ඒ අස්සෙ එයා පස්සෙ වැටිච්ච බළල් පෙම්වතෙක් ඇයටත් අයුතු බලපෑම් කර කර මටත් පාට් දදා එනවා, යනවා. හිටපු ගමන් චණ්ඩියෙක් වගෙ සාලෙ මැදින් මාව ගණන් ගන්නෙවත් නැතුව නිකං මට බැන බැන වගෙ ඇවිදගෙන යනවා. එයා හිතන්නෙ, එයාට අරයා ඉඩක් දෙන්නෙ නැත්තෙ මගේ බලපෑමක් නිසා කියල වගෙ.
මං මොනවා කරන්නද! ඇය තවම පැටියෙක් මං නං හිතන්නෙ. පිස්සු!
දවසක් ඔන්න මං දැක්කා අර රංචි හොරාට වගෙ අපේ ගෙදර තාප්පය දිගේ ඇවිදගෙන ඇවිත් ඒ තාප්පයෙ තැනක දිගා වෙලා හිටපු කහ පාට බැළලියට ගොරවලා සැර දානවා. මං මැදිහත් වෙලා ඒ රණ්ඩුව නං බේරුවා. ඒත් ඉවරයක් නෑ. වරින් වර රංචි, හැංඟි හැංඟි ඇවිත් කහ බැළලිය මේ පැත්තෙ ඉන්නවා නං බය කරලා එළවනවා. ඇය ගොරවන සද්දෙ ඇහුණොත් නං මොකක් හරි බේරුමක් කරන්න පුළුවන්, ඒත් හැම වෙලාවකම මං නැහැනෙ.
වැඩේ තියෙන්නෙ, හැඟීම් දැනීම් අඩු වගේ ඉන්න රංචි අර කහ බැළලිය එක්ක තරහා ඇයි? එය අනිවාර්‍යයෙන් ම ඉරිසියාවක් ම තමයි. ඒ මූණෙ හැටි මට පේනවනෙ. ඒ ඉරිසියාව අර බළල් පෙම්වතා මේ කහ බැළලිය පස්සෙ වැටිලා ඉන්න නිසාද? රංචි එක කාලයක් මගෙන් ලබපු යම් යම් වාසි දැන් ඇයගෙ පස මිතුරිය ට ලැබෙන නිසාද? මේ මිනිස් බළල් ආදරය පිළිබඳ ආරාවුලක් ද, බළල් බළල් ආරාවුලක් ද?
මදෑ! තියෙන කරදර මදිවට!
CHAPA
Dec 27, 2018

රාවණා අසපුව ගැන...

Thushara Jayasooriya is with Chapa Chapabandara.
මේ රට දන්නා සරල ඉතිහාසය වසර 2550ක ආසන්න කාලසීමාවක්..නොදන්න ඉතිහාසෙ ඉට වැඩි ඇති...හැතැම්මට අඟලෙ බැස්ම තියපු යෝධ ඇල,කලාවැව දෙස බලාසිටින අවුකන,ලොව විශාලතම ස්ථූපය ජේතවනය, ලොව අටවන පුදුමයවූ සීගිරිය ගොඩනැගූ රටේ එකී ඉංජිනේරු තාක්ශනයන්ට සාපේක්ශව සමාන්තරව දියුනු වෛද්ය ශාස්ත්රයක් අනිවාර්යයෙන් තියෙන්නට ඇති..ඒ මාගේ තර්කයයි....ඒවට සාක්ශි වූ පුරාවිද්යා නටබුන්, පුස්ථකයන් ඇතිබව අසා ඇත..
නමුත් එකී දියුනු තාක්ශනික ශිල්ප මෙන්ම වෛද්ය ප්රතිකාර ශිල්පද අද නැත.අද සියලු ඉදිකිරීම් කරනුයේ බටහිර තාක්ශනය සහ එකී මූලධර්ම මත පදනම්වය...මාදුරු ඔය රෙපෙයාර්කල විදේශිකයින්ට එහි අලුත් සොරොව්වට ස්තානය ලකුනුකර හෑරීමේදී පරන සොරොව්ව මතුවීම එක් උදාහරනයකි.
විවිධ ආක්රමන නිසාත්, රාජාන්ඩුවල තිබූ කුළ බෙදීම් නිසාත්,මිනිසුන් තුල තිබූ අති ආත්මාර්ථකාමී හැඟීම් නිසාත් පරපුරෙන් පරපුරට යාවත්කාලීනවන වෙද ,තාක්ශන, සටන් ශිල්ප වෙනුවට පරපුරෙන් පරපුරට ගුරුමුශ්ඨිය තබන් පොලවට පස් වූ ක්ශය වෙමින් යන දැනුමක් සහිත වූවන්ගේ පරම්පරාවක අගිස්සක අප රැඳී සිටිමු.
උදාහරන ලෙස වෙදමහතා සිය ශිල්පය ඊළඟ පරපුරට දීම ඔහුට දුවෙක් හෝ පුතෙක් සිටීම මත,දරුවන් සිටීම නොසිටීම මත තීරනය විය.එනම් වෙදමහතා ගුරුමුශ්ඨිය තබාගෙන මියදුනායැයි සිතමු.ඊළඟ පරපුරේ වෙදමහතා ඔහුගේ ආවතේවකරුය..ඔහු දන්නේ කැලෙන් ගෙනා කොළ ටික සහ ඒවා සැකසූ ඇතැම් විධි පමනි.ඊළඟ පරපුරට යද්දි ඕකෙනුත් සැලකියයුතු කොටසක් අඩුවේ..මෙලෙස අපේ හෙල වෙදකම අභාවයට ගොස් ඇත...එය තිත්ත ඇත්තකි.සුද්ද ගොඩනැගූ දෙය සුපිරිම නැතත් එය යාවත්කාලීන වෙයි.ලෝක පරිමානයෙන් භාවිත වෙයි.
මා බටහිර වෛද්යවරයෙකු උවත් එයට වඩා ස්වභාවික ශාකසාර සහ විවිධ manual හරහා අපේ රටේ භාවිත වූ සියලු වෙදහෙදකම් මිනිසාට කිට්ටු, හානි අඩු ප්රථිඵල වැඩි ඒවා වෙන්නට ඇතියි විශ්වාසයක් හිතේ ඇත..
මේ පෝස්ට් එක ලිවීමට ආසන්න හේතුව Chapa Chapabandara මහතාගේ මුහුනු පොතේ පෝස්ට් එකකි
,,,,,සරලව මෙසේ සිද්ධිය කියන්නම්.චාපා මහතාට කොන්දෙ අමාරුවක් හැදෙනව,ඒ කොන්දෙ අමාරුව ටික ටික දරුනු වෙනව .ඔහුට දැනෙනව කොන්ද ඇදවෙලා පැත්තකට නැමිල වගේ.ඔහු වෛද්යවරුන්ගෙන් ෆෝන් එකෙන් උපදෙස් ගන්නව,සැටිස් නෑ.ඉන්පසු ඔහු ට හිතවත් physiotheraphyist කෙනෙක් යෝජනා කරනව විකලාංග ශල්ය වෛද්යවරයෙක් මුනගැහෙන්න.චාපා හිතනව එතනට ගියාම අනිවාර්යයෙන්ම, වේදනා නාශක නැත්නම් ශල්යකර්මය...ඒදෙකටකැමති නෑ..ඉන්පසු හෙල වෙද ඇදුරෙක් හොයාගෙන යනව.ඔහු චාපගෙ පැනල තිබ්බ කශේරුකාව යතා තත්වයට හරිගස්සනව අතින් හසුරුවමින්..ප්රශ්න කීපයක් තියනව..
1) කොන්දෙ කැක්කුම පිලිබඳ බටහිර, වෛද්යවරයෙකු හෝ වි,වෛද්යවරයෙකු හෝ ආයුර්වේද වෛද්යවරයෙකු හමුවීමටත් ප්රථම ඔහුම රෝග නිශ්චයකට එනව "මේක තමයි ලෙඩේ කොන්දත් ඇදවෙලා තියෙන්නෙ"කතාවෙ කියන විදිහට කශේරුකාවක් පැනල,,,,, එක්කො වේදනා නාශක එක්කො ඔපරේශන්....
2)physiotherapyst පවා කියනව විකලාංග වෛද්ය වරයෙක් හමුවන්න,ඔහු ඒක ප්රතික්ශේප කරනව..සාමාන්යයෙන් රෝගයක් නිශ්චටකිරීමේ කාර්යය බටහිර ක්රමවේදය අස්සෙ වෛද්යවරයාගේ කාර්යභාරයක් සහ ප්රතිකාර ටීම් වර්ක් එකේදි වෛද්යවරයා මෙන්ම වැදගත් අනෙකුත් සියලු අංග..එය දන්න නිසයි physiotheraphyst කිව්වෙ ,විකලාංග වෛද්යවරයෙක් මුනගැසීමට...🤣🤣🙏🙏 ප්රශ්නෙ තියෙන්නෙ ශ්රේශ්ඨ චාපා diagnosis එක දන්නව..වෛද්යවරයෙකු හමුවන්නෙ නෑ..මාරයි
3)මාධ්ය වේදියෙක් වෙන්න ඕන නෑ..සරල ගමේ ගොවිමහතෙක් පවා දන්නව අද කාලෙ XRay එකක් ගන්න එකෙන් යම් හෝ අදහසක් ගත හැකි බව...මම ආසයි චාපගෙ අර කශේරුකාව පැනපු x ray එක දැකගන්න..
4)ඒ වගේම කොන්දෙ අමාරුවක් කියල "ඇවිදගෙන" ගිය ගමන් ඒ මොහොතේ හෝ ඉතා ඉක්මනින් ලංකාවෙ වෛද්යවරු කරපු සැත්කම් මොනවද කියල දැනගන්න කැමතියි.මොකද ඉක්මන් සැත්කම් ලෙස බොහෝවිට කරන්නෙ කොඳු ඇට කශේරුකා බිඳීමට අදාලඒව.ඒවත් බිඳීමේ ස්වභාවය අනුව තීරනේ වෙනව.මොකද චාප යන්නෙ ඇවිදගෙන...
5) මා මේ පිලිබඳ වි ,විකලාංග වෛද්යවරයෙකුගෙන් විමසූ විට ඔහු කිව්වෙ ඇවිදගෙන එන මනුස්සයෙකුට එකපාරට සැත්කමක් කරන්න ඔහුට පිස්සු නැති බවයි. ඔහු ඒ කිව්වෙ ඔහුගෙ සායනික පලපුරුද්දෙන්...
6) කොන්ද දෙපසින් එන කැක්කුම් කොඳු ඇටපෙලේ අවුලක් නිසා විතරක් එනව කියල චාප කියන්නෙ කොහොමද මංද...ඔහුගෙ රෝග ඉතිහාසය අස්සෙ සාක්ශියක් තියනව අනතුරක..හැබැයි ඒක මස් පිඬු ඇදීමක්,ligament injury එකක්..වෙනත් රෝගී තත්ව වන, මුත්රා ගල් සම්බන්ධ ප්රශ්නෙකදි,පිත්තාශෙ ගල් සම්බන්ධ ප්රශ්නෙකදි,අග්න්යාශයෙ ප්රශ්නයකදි එන්න බැරිද🤔🤔🤔🤔
6) රටේ විශාල ප්රමානයක් රෝගීන් විවිධ අනතුරු නිසා spinal cord injury වලින් පෙලෙනව.එනිසා මෙම රෝගීන් සුවපත්කරවීමට රාජ්ය අනුග්රහය ඇතුව evidance based ක්රමවේදයක් ගොඩනැංවීමට මැදිහත් උනත් එයම මහා විප්ලවයක්..මොකද ගොඩාක් රෝගීන් අදාල සැත්කම් කරගැනීමට නොහැකිව waiting list වල ඉන්නව.
7) තව දෙයක්..අනතුරක් නිසා කොදු ඇටපෙලේ යම් ආබාදයක් සැක කරනවනම් x ray හෝ CT,MRI ස්කෑන් එකක් කරල, තහවුරු කරගන්න තුරු අනිවාර්යයෙන් ඇඳක වැතිර හෝ ආධාරකයක්(lumbar corset, ,හෝ thoraco lumbar corset) එකක් පැලදිය යුතුයි.
එසේ නැතිව අතින් කෙලිnකරන්න යෑමෙන් සුෂුම්නාවට හානි වී සදාකාලික ආබාදිතයෙක් විය හැකියි. මේ වගේ දේවල් ප්රසිද්ධකිරීමෙන් අනිත් මිනිස්සු මේවම කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න ලොකු ඉඩක් තියනව.
මිනිසුන්ට අයිතියක් තිබිය යුතුයි තමුන් කැමති මාධ්යකින් ප්රතිකාර ගැනීම සඳහා..නමුත් එකී ප්රතිකාර මධ්යස්ථාන හෝ පුද්ගලයන්ගේ ප්රමිතිය සහ විශ්වාසනීයත්වය සැපයීමේද,සහතික දීමේදී ඉතා පරිස්සම් විය යුතුය.මට හරිගියා ඔයත් අත් හදා බලන්න කීමයි, මට හරිගියා මේක තමා සුපිරිම එක කියා එක අත්දැකීමකින් පමනක් තීරනය කිරීම පිලිගත නොහැකියි..පැරසිටමෝල් පෙත්තක් පවා ලොවට හඳුන්වා දීමේදී නිසි සමීක්ශන පරීක්ශන රාශියකින් පසුවයි සමාජයට එය හඳුන්වා දෙනුයේ..
මේ රටේ ඉන්න දහස් ගනන් වෛද්යවරු සාක්ශි දරාවි දිනකට කොපමනක් කිරි දරුවන් මැදි වයසෙ දරුවන් තරුනයන් තරුනියන් වියපත් වුවන් විවිධ වර්ගයේ රෝග වලට නිසි ප්රතිකාර නොගෙන වටේ යමින් ඔඩු දුවා පැමින විඳවමුන් ඇතිද? රටේ විකලාංග ක්ලිනික්වලට දවසකට සියගානක් වැරදිප්රතිකර්ම කල රෝගීන් පැමිනෙමින් ඇතිද?
එපමනක් නොවේ වෛද්යවරු ඇතුලු අප අතින්ද මේ ක්රමවේදයන් ඇතුලේ වැරදීම් නැතුවා නොවේ..ඒව කතාකරන්නත් කැමතී..හැබැයි තොරතුරු රැස්කරගෙන...
අපේ රටේ සෞඛ්ය සේවයේ සෞඛ්ය අධ්යාපනයේ ලොකු ගැටලු තියනව.සියලු කාර්යයමන්ඩල වල ප්රශ්න තියනව...හැබැයි මේ තියන සිස්ටම් එක අස්සෙත් අපි මිනිස් ජීවිත බේරගන්නව.සෞක්ය අධ්යාපනයේ අඩුපාඩු නිසා තවමත් සර්පයින් කෑවම ,ෆිට් හැදුනම ගොඩ වෙදකම් වලින් බේරෙන්න බලනව,ectopic pregnancy වලට මතුරල දෙනව..නැත්නම් පනුබෙහෙත් දීල බලන,නැත්නංකතා නොකරන ලමයි ගෙ කොන්ඩෙ නොකප ඉන්නව ,,,බලද්දි දරුවට වෙන ලෙඩක්,. හදවතේ රුධිරවාහිනී බ්ලොක් වීම් වලට අදාල බෙහෙත්,,අවසානයෙ මරණය.. ප්රතිකර්ම නොගෙන ඒ වෙනුවෙන් විශ්වකර්ම..
මාධ්යවේදියෙකුගෙ කාර්යභාරය මෙවැනි රටක කිසිදු හැදෑරීමකින් තොරව තමුන්ගේ රෝග ලක්ෂන යටපත් උනා කියල එම අත්දැකීම අත්දැකීමට එහාගිය මහා විශ්වකර්මයක් සේ දැක්වීම තුලින් ජනතාව නොමග යැවීමක්ද?.නැතිනම් එය සියලු අංශ එක්ක සාකච්චා කර සමාජයට වැඩදායී ලෙස සමාජගත කිරීමද?...අඩුතරමෙ මේ අත්දැකීම බුකියෙ ලියල තහවරු කරන්න පෙර වෙනත් බටහිර සහ ආයුර්වේද වෛද්යවරයන්ගෙන් කරුනු එකතු කලානම් සාධාරනයි..
මෙය කිසිසේත්ම පාරම්පරික හෙල වෙදකම හෝ වෙනත් කුමනහෝ ක්රමවේද හෑල්ලුවට ලක්කිරීමක් නොවේ.ඒවා සංරක්ශනය වී යාවත්කාලීන වී ජන ජීවිත සුවපත්කරවීමට යොදාගන්නා වැඩපිලුවෙලක් ජාතික සහ ජාත්යන්තර මට්ටමින් ගොඩනැංවිය යුතුය..එවැනි ක්රමවේද නැති නිසයි චාපටත් වෛද්යවිද්යාවට මගපෙන්වන්න සිදුවෙලා තියෙන්නෙ....
...මෙවැනි කාරනා තුලින් මොවුන් මාධ්යවේදීන් ලෙස ලොවට දෙන අනෙකුත් පනිවුඩ ගැනද දෙවරක් සිතීමටයි මේ ලිපිය ලීවෙ,,,.
ඔහුගේ ලිවීමට ඇති අයිතිය ,අදහස් දැක්වීමට ඇති අයිතිය පිලිගන්න ගමන්,වෛද්ය ක්ශේත්රයේ නියුතු අයෙක් විදිහට මේ ගැන තාර්කික විග්රහයක් කිරීම,ප්රශ්න කිරීමද මාගේ අයිතියක් බව කියනු කැමැත්තෙමි. එනිසා එකී අදහස් දැක්විම ප්රශ්නකිරීමේ අයිතියද මා සතුව ඇති බවද සටහන් කරමි..
ඒලියන් වයිට්ලා රාජ ජීවකයාවී සිටි රටක ,ක්රීඩකයින් අමාරුවේ දැමූ රටක,, පිලිගත් වෛද්යවරු පහලොස්දාහක් විසිදාහක් ඉන්න රටේ හොර වෛද්යවරු හතලිස්පන්දාහක් ඉන්නවා යැයි කියද්දි චාපල විතරක්ම නොවේ වැරදි🤔🤔🤔🤔🤔
Thushara jayasooriya

තුෂාර ජයසූරියට ලියමි!

තුෂාර ජයසූරිය නැමති මේ ලියන්නා වෛද්‍යවරයෙක් දැයි මා නොදනිමි. දන්නා එකම දෙය නම්, ඔහු අන්ත මෝඩයෙක් සහ නූගතෙක් ලෙස ජවිපෙ ද විනාශ කරමින් එහි ඉහඳ පණුවෙකු සේ රැදී, ජවිපෙ විවේචනයට ලක්වන එක වචනයක් මා මුවින් පිටවන ඕනෑම මොහොතක පළා පොළඟෙකූ සේ මා සපා කන්නට වියරුවෙන් මෙන් දඟලන බව පමණය. මුළින් ඔහු පුද්ගලික පණිවිඩ මගින් මා යටපත් කිරීමට උත්සහ ගත් අතර, එය අසාර්ථක වූ පසු සමාජ මාධ්‍ය හරහා මගේ දේශපාලන මැදිහත්වීම් ඉතා අවිචාරවත් ලෙස සහ ඉතා ප්‍රාථමික ලෙස හෙළා දකිමින් යම් යම් විකාර රූපී පෝස්ට්ස් දමමින් සිටී. ඒ සඳහා තමාගේ වර්ගයේම පිස්සු බලු රංචුවක් ද මෙහෙය වන මේ කුහක පුද්ගලයා, කසිප්පු ගහන මෝඩ එජාප අනුගාමිකයෙක්වත් නොකරන දේ කරමින් සිටී!
ඒ අනුව, ඔහු මෙවර තමාගෙ වෛද්‍ය සුදුසු කම් ද පෙන්වා දෙමින් ඉදිරිපත් කරන, මා සම්බන්ධ අත්දැකීමක් පිළිබද ඔහුගේ මේ ගොන් විස්තරය කියවා ඊට සිනා සීම හැර කරන්නට යමක් මට මේ මොහොතේ නැත.
මා මුහුණ දුන් අනතුර සහ ඊට මැදිහත් වූ සුදුසු කම් ලත් පාරම්පරික වෛද්‍යවරයා මෙන් ම එකී ආශ්චර්‍යමත් හෙළ වෙදකම මෙසේ පිස්සු බල්ලෙකු සේ ගැරසීම ට ලක් කිරීම ගැන මා මවිත නොවන්නේ, ඒ ඔහුගේ ස්වාභාවය නිසාවෙනි.
එසේම, අනතුරු, ඒවායේ ස්වාභාවයන් මෙන් ම රෝග විනිශ්චයන් පිළිබඳ ඉතා නිරවුල් මූලික දැනුමක් සහ විද්‍යාත්මක අදහසක් මා තුළ තිබෙන බව සඳහන් කළ යුතු අතර තුෂාර උඩින් පල්ළෙන් අත පත ගා පේන කියන ඒ සියල්ල සිදු වූයේ ඉතාමත්ම විද්‍යාත්මක ආකාරයකට බව ද මෙහි ලා සඳහන් කළ යුතුය. අවසන් වශයෙන් කීමට ඇත්තේ බටහිර වෛද්යවරු ගණනාවක් ද රාවණා අසපුවේ උසස් ප්‍රථිකාර ලබා නිට්ටාවට සුව වී පිටව ගොස් ඇති බවය. නොදන්නා කම නොදන්න මෝඩ උද්දච්ච තුෂාර වැන්නෙක් සමඟ නොව මේ පිළිබඳ සැබෑ උනන්දුවක් ඇති වෛද්‍යවරු සමඟ තව දුරටත් මේ සංවාදය ඉදිරියට ගෙන යෑමට, මා සූදානම්!
තවත් කෙනෙකුට මං මෙහෙමත් ලිව්වා!
තුෂාර ඔය කියන විදිහට වෛද්යවරයෙක් නං, ජවිපෙ එක්ක රට ගොඩ නගන්න ජිවිතයම වෙන් කරලා නං, ඔහු කළ යුතුව තිබුණේ, මම කරුණු සහිතව සමාජ ගත කළ, හෙළ වෙදකම පිළිබඳ ඉතා වැදගත් සාක්ෂිය හඹා යමින්, මා සහ අදාළ වෙද අසපුව ද සම්බන්ධ කරගෙන ජවිපෙ අනුග්රහයෙන්, විධිමත් පර්යේෂණයක් ආරම්භ කොට, මා හෙළිදරව් කළ "ජාතික තොරතුර" ඇත්තක් නං, ඒ නිමිත්ත තම දෑත් මතට ගෙන අදළ ජාතික මෙහෙවර ඉදිරියට ගෙන යෑමයි! ඒ වෙනුවට මේ තුෂාර කරන "මෝඩ වැඩේ" මොකද්ද? ඔහුගෙ විද්යාව කුමක් ද? ඔබ ට මං මෙහෙම කියන්නං, ඔහොම වෛද්යවරු සහ දේශපාලන අනුගාමිකයන් පොල් පිති වලින් කපා ගන්න පුළුවන්!
CHAPA
Dec 25, 2018

Saturday, December 22, 2018


මකබෑවියන්!


''මහත්තයා...මං මේ කතා කරන්නෙ, අර පෝස්ට් එක දැකලා...''
''මොන පෝස්ට් එක ද?''
ජංගම දුරකථනය මෙහා පැත්තෙ මං කතා බහ ට සූදානම් වෙනවා.
''අර රටේ තැන තැන රැස්වීම් තියන...''
''ආ! අර අන්තිම පෝස්ට් එක...ඉතිං!''
මගේ උනන්දුව ටිකක් වැඩි වෙනවා.
''මං මහත්තයාගෙ ටෙලිෆෝන් නොම්මරේ ගත්තෙ ඒකෙන්...මහත්තයාට වෙන කවුරු හරි කතා කෙරුවද ඒ ගැන?''
''තවම නං නැහැ...මං ඒක දැම්මට දන්නවා ඒවා කෙරෙන්නෙ නෑ කියලා..නිකමට උත්සහ කරනවා...දේශපාලනය එහෙමනෙ...''
මං හිතට එන දේ කියාගෙන යනවා.
''මහත්තයා...මට මං දේශපාලනයක් නෑ...මට ඔය කොයි පක්ෂෙත් එකයි, මේ ඇත්තමයි...''
ඔහු ගෙ හඬ තැම්පත්, විශ්වාසනීය ගතියකුත් තියෙනවා.
''ඔබ තුමා කියලා තිබුණෙ රටේ තැන තැන කියලනෙ...එහෙම නෙවෙයි මහත්තයා...අපි හැම නගරයකම...හැම ගමකම රැස්වීම් තියමු...''
මොකක්? මට එහෙම කියවුණාද හිතුණා ද මන්දා!
''ඔව්, අපිට ස්ටේජ් එක ගහන්න යන්නෙ පැයයි...ඒ කියන්නෙ...සවුන්ඩ්ස්, ලයිට්ස්...සේරම දාලා...අපේ කොල්ලො යක්කු වගේ වැඩ...මහත්තයා විශ්වාස කරන්නකො...''
''ඒ කියන්නෙ?...මට තේරුණේ නෑ!''
''අපේ ස්ටේජ්..අපේ ලයිට්ස්. අපේ සවුන්ඩ්ස්...අපේ වාහන...අපි දෙන්නං වැඩේ නියමෙට...''
''මං මේ උත්සහ කරන්නෙ...මිනිස්සු දැනුමෙන් බල ගන්වන්න...ඒ කියන්නෙ පොදු ජනයා...කොහොමද එයාලව ගෙන්නව ගන්නෙ...අනෙක හුඟ දෙනෙක් පක්ෂවලට බෙදිලා, අනිත් පැත්තෙන් එන්ජීඕස්...එතකොට...''
පුරුද්දට වගෙ මං කියාගෙන යනවා.
''මහත්තයා...අපටත් පක්ෂ වැඩක් නෑ..ඕන පක්ෂයක් වෙනුවෙන් අපි වැඩ කරනවා...මිනිස්සු ගෙන්වන එක නං අපිට කරන්න බෑ, අපි අපේ ජොබ් එක තිතට කරනවා...ආ! අපි ළඟ පුටු...ටෙන්ට්ස් එහෙමත් තියෙනවා...''
''ඔබ ඔය කියන්නෙ...''
මගේ වචන දැන් අපිළිවෙළයි.
''මෙහෙමනෙ...අපේ ගාන අපි කියන්නං...මහත්තයා කැමති ගානක් අපට කියන්න, මහත්තයානෙ සංවිධායක...අපි ඒ ගාන ඉන්වොයිස් කරන්නං...මහත්තයත් ගොඩ, අපිත් ගොඩ...එහෙමනෙ වැඩ වෙන්නෙ මහත්තයා...''
මොකක්?
මං එහෙම ඇහුවද මන්දා!
එතකොටම මගේ අතින් නොදැනීම දුරකථනය විසංඳි වුණා.
මකබෑවියන්!
අන්න ඒ වගෙ මොකක් හරි නං මට කියවුණා!
CHAPA, Dec 21, 2018

රාවණා සමය බිහි කළ, මිහිමඩල මත ජීවය ගොඩ නගන, හෙළයේ වෙදකම!


මේ ලියැවිල්ල, හුදු සටහනකට වැඩිය 'විශේෂ සාක්ෂි සටහනක්' කියලා මුලින් ම ඔබ ට කියන්න ඕන
මීට සති කීපයකට පෙර හදිසියෙ ම මාව ලිස්සලා වැටෙන්න ගිහිං නූලෙන් බේරුණා, බේරුණා කිව්වට ශරීරයෙ සමතුළිත බව රැක ගෙන නොවැටී ඉන්න මං අතිරේක උත්සහයක් ගත්තා. එය සාර්ථක වුණත් මට තුනටිය හරියෙන් සියුම් වේදනාවක් එන්න ගත්තා. මම, එය කලමනාකරණය කරගෙන ඔහේ වැඩ කරගෙන ගියා. සිද්ධියෙන් දින කීපයකට පස්සෙ දවසක වාහනය පදවගෙන ගිය මට අර තුනටියේ සියුම් වේදනාව එක පාරටම උත්සන්න වන බවක් දැනුණා. එය ඉතා දුෂ්කර අත් දැකිමක්, ඒ වේදනාව වචනය ට නගන්න බැරි තරම් වේදනාකාරියි. 
ඊ ළඟ දවස් වෙනකොට ශරීරය කෙළින් කර ගන්න බැරි මට්ටමටම තත්ත්වය අයහපත් වුණා. කොඳු ඇට පේළියේ ඉණ කිටුවෙන් යම් වෙනසක් වී ඇති බව මට ඒ වන විට දැනෙමින් තිබුණා, ශරීරය පැත්තකට ඇද වෙලා තියෙන බව ත් මට තේරුම් ගියා. 
දන්න කියන වෛද්‍යවරු කීප දෙනෙකුට දුරකථනයෙන් කතා කරලා උපදෙස් ගන්න උත්සහ ගත්තත් ඒ හරහා මා තුළ විශ්වාසයක් ගොඩ නැගුණේ නැහැ. බටහිර වෛද්‍ය ක්‍රමයට වේදනා නාශක සහ අවසන ශල්‍ය කර්මයක් තමයි විසඳුම. ඒ අතර භෞත චිකිත්සක ප්‍රථිකාර ත් තියෙනවා. ඊ ළඟට, මට මතක් වුණේ, ඒ දිනවල ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට වැඩ කරපු භෞත චිකිත්සකයන් සැලකිය යුතු ප්‍රමණයක්, හමුදා සේවයෙන් පසුව කොළඹ වටේ රෝහල් වල වැඩ කරනවා නේද කියලා. මම, එක්තරා ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක ට වැඩ කරන එවැනි භෞත චිකිත්සකයෙක් සම්බන්ධ කරගෙන, ඔහු ගෙ ප්‍රථිකාර ඒකකයට ගියා. ගියා කිව්වට, මගෙ වැඩ කටයුතු වලට නිතර සහය වන ඉෂාන් මාව උස්සගෙන වගෙ එහෙ ගියා. අපෙ භෞත චිකිත්සකයො ත් ඉතිං එක එක දේවල් කෙරුවා, අපි ඕතොපෙඩික් සර්ජන් හම්බ වෙමු! ඒ අතර ඔවුන් කිව්වා. කොහොමත් අන්තිමට ශල්‍යකර්මයක්!
මම දහ අතේ කල්පනා කරනවා, මොකද්ද දැන් කරන්නෙ? ජීවිතය ශල්‍යකර්මයකට භාර දෙන්න නං හිත කොහොමවත් ඉඩ දෙන්නෙ නැහැ. ඉෂාන් ගෙ තාත්තා ආයුර්වේද වෙද කම ඉගෙන ගත්ත කෙනෙක්, ඔහු ඒ අතර ඇවිත් මගේ කොන්ඳට සත්කාර කරනවා. ඒ තෙල් සාත්තුව ත් ඇඟට සනීපයි, ඒත් අර විදුලිය කොටන තුණටියේ වේදනාව එන්න එන්න වැඩි වෙනවා. ඉෂාන් වගේම ඒ තාත්තත් මං නිසා හිත කරදරෙන්.
ඔන්න ඒ අතර හීනෙකින් නැගිට්ටා වගෙ එක පාරටම අතීත අත්දැකීමක් මතකයට ආවා.
සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශයෙ සභාපති විදිහට වැඩ කරපු රෙන්ටන් ද අල්විස් ගෙ, බෙල්ල පිටු පසින් කොඳු ඇට පේළියේ ආපු බරපතළ රෝග තත්ත්වයක් සනීප කරපු 'වෙද මහත්තයා' මට මතක් වුණා. ඒ සිද්ධිය වුණේ 2010 දි වගෙ. ඊට පස්සෙ, මගේ දේශපාලන වැඩ වලදි විශාල සහයක් දෙන නිතීග්න සරත් පෙරේරා ත් ඒ රෝග තත්ත්වයෙන් ම පීඩා විඳිද්දි ඔහු ඒ වෙද මහතා ළඟට යැව්වෙ මං, රෙන්ටන් වගේම සරතුත් ශල්‍ය කර්මයකට සූදානම්ව ජීවිතය නිකං අත හැර වගේ ඉන්න මොහොතක තමයි ඒ වෙද මහත්තයා බේර ගත්තෙ!
වෙද මහත්තයා! 
අන්න උත්තරේ! '' කඳාන, දුම්‍ රිය පොළ පාරෙ ( Station Road ) තියෙන ''රාවණා අසපුව'' තමයි තැන. ඔව්! මං එහෙ යනවා. මං එකවර තීරණය කෙරුවා. මං ඒ දුරකථන අංකය හොයාගෙන ඔහුට කතා කෙරුවා.
''මහත්තයා...මං මහත්තයාව හොඳට දන්නවා, මං ඔබ තුමාගෙ හැම වැඩ සටහනක් ම වගෙ බලනවා...දැන් ම එන්න, මම ඉක්මනට මහත්තයා ගොඩ දානවා!''
ඒ වචන, ඒ වෙලාවෙ මට ලබා දීපු ශක්තිය මෙතකැයි කියා කියන්න බැහැ!
''ඔබ තුමා සමාජ ශෝධකයෙක්, අපි ඉක්මනට ඔබ තුමා ව සනීප කරලා මේ සමාජයට මුදා හරින්න ඕන!''
ප්‍රථිකාර පටන් ගන්න ගමන් ඔහු කියපු විදිහ, ඒ විශ්වාසවන්ත හඬ මට මේ දැනුත් ඇහෙනවා වගෙයි!
මම රාවණා අසපුවට ඇතුළු වුණේ දෙසැම්බර් 1, සෙනසුරාදා රෑ, ඔහු කියපු විදිහට ම ගෙවුණෙ දවස්
14 යි,ඔහු මාව හරියටම ගොඩ දැම්මා, ඒ කියන්නෙ, තුනටිය හරියෙන් පැත්තකට පැනල තිබුණු කශේරුකාව ඔහු තම දෑඟිලි වලින් යළි ස්ථන ගත කෙරුවා, ඒ අත් දැකීම විශ්මයජනකයි! එයින් සති දෙකකට පස්සෙ එළැඹෙන සෙනසුරාදාවෙ මං ආපහු ගෙදර ආවා. ඒ අස්සෙ, ඒ මැද්දෙ, දෙවැනි බදාදාවෙ දෙරණ අළුත් පාර්ලිමේන්තුවට ගිහිං එන්නත් ඔහු අවස්ථාව හදා දුන්නා. මේ නං විශ්වකර්මයක් තමයි! මං තවම හිතනවා.
ඒ ප්‍රථිකාර වලදි වෙද මහතා සමඟ එකට පුහුණු වන ඔහුගේ මුණුපුරා විශ්ව අරවිඳු ත් ඉතා ම ප්‍රශස්ත මට්ටමෙන් තමන්ගෙ කාර්‍යය කරන හැටි අත් විඳි මා අතිශය සතුට ට පත් වන්නෙ, ඊ ළඟ පරම්පරාව ත් ඒ පාරම්පරික වෙදකම සඳහා සූදානම් බව තේරුම් අරගෙන.
ශාඛ සාරයෙන් පොළව තුළ හිඳෙන තෙල්වල සුවඳ, ශරීරය මවිතය ට පත් කළ අරිෂ්ටය සහ කල්ක, බෙහෙත් කුඩු... පාන්දර මා අවදි කළ ඖෂධ කැඳ කෝප්පය, අනේ! ආයෙත් රාවණා අසපුවේ නං ඉන්න ආසයි!
''රාවණා සමය බිහි කළ, මිහිමඩල මත ජීවය ගොඩ නගන, හෙළයේ වෙදකම!''
මේ තමයි, ඔවුන්ගෙ අනාගත තේමා පාඨය!
ලොකු වෙද මහතාණෙනි! ඔබට දිගාසිරි!
පොඩි වෙද මහතාණෙනි! ඔබට ත් දිගාසිරි!
අසිරිමත් හෙළයේ සාරය, ඔබයි!
CHAPA, Dec 23, 2018

Monday, December 17, 2018


...another true story!

මට ඒ ඉවසිම එපා!



''මහත්තයා...මං මේ අලුත් වැඩ පිළිවෙළක් ගැන කල්පනා කරනවා...''
ජංගම දුරකතනය දිගේ උදෙන් ම උන්වහන්සෙගෙ කට හඬ, පුංචි කාලයෙ ගමේ පංසලේදි හිතේ රැඳුණු අර ලොකු හාමුදුරුවන්ගෙ කරුණාවන්ත කට හඬමයි. දැන් මාස කීපයක ඉඳන් වන්නිය පැත්තෙ පංසලකින් මේ හාමුදුරුවො වරින් වර කතා කරනවා. රට ගොඩ ගන්න හැටි තමයි කතා කරන්නෙ.
''මේ අපේ රට...අපෙ ඇස් පනා පිට විනාශ වෙන්න දෙන්න බෑ!''
''එහෙමයි අපෙ හාමුදුරුවනේ...''
''මහත්තයො, එන්න එන්න රටේ තත්ත්වය වෙනස් වෙනවා, රට යන්නෙම වලපල්ලට...නේද මහත්තයො?''
''ඒක තමයි හාමුදුරුවනේ...අපි මොනවා හරි කරන්න ඕන, ඒත් මිනිස්සු ඒ ඒ පක්ෂ එක්ක බැඳිලා...වහල්ලු වගේ, මොකුත් ම කරන්න බැහැ...''
''අන්න ඒකයි අපෙ මහත්තයෝ...මං මේ අලුත් වැඩ පිළිවෙළක් ගැන හිතුවෙ, දැන් මෙයාලා හදන්නෙ, විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නනෙ, නේද? අපි මේ අවස්ථාවෙ උපායශීලි වෙන්න ඕන...''
''ඒ කියන්නෙ?''
''අපි හදන්න ඕන, ඕන කෙනෙකුට ජනාධිපති වෙන්න පුළුවන් විදිහක්...මහත්තයාට තේරුණාද?''
'' මට නං තේරෙන්නෙ නැහැ හාමුදුරුවනේ...''
''අපි නෙට් එකක් හදනවා ඕන කෙනෙකුට ඒ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන් විදිහට...''
''නෙට් එකක්?''
''ඔව්, අපෙ මහත්තයෝ...නෙට් එකක්, අපි ඊට පස්සෙ SMS මාර්ගයෙනුත් නාම යෝජනා බාර ගන්නවා...''
''හාමුදුරුවො මේ උදේ පාන්දර විහිළුවක් එහෙම කරනවා නෙවෙයි නේද?''
''නෑ මහත්තයෝ, මං මේ හුඟාක් කල්පනා කරලා තමයි කතා කරන්නෙ, අපි අවස්ථාව හදන්න ඕන, ඕන කෙනෙකුට විධායක ජනාධිපති වෙන්න පුළුවන් විදිහක්...''
''අනේ හාමුදුරුවනේ, තරහා වෙන්න එපා මෙහෙම කිව්වට, ඕක මහා පිස්සු අදහසක්, ඔබ වහන්සේ දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම යම් දුරකට හරි අධ්‍යනය කරල තියෙනවද? මං මේ නිකමට අහන්නෙ...''
මං අහන්න දෙයක් නැතුව වගෙ ඔහේ අහනවා.
''ඒවා ඕන එකක් ඔහේ තිබිච්ච දෙන් මහත්තයා, අපි අපේ වැඩේ කරමු...''
''ඔබ වහන්සේ කවුරු හරි නොමග යවනවා, ඔය නෙට් එක හදන්නෙ කොහොමද කියන්නකො...''
මගේ හඬ දැන් ටිකක් වෙනස් වෙනවා.
''අන්න ඒ ගැන තමයි මං මේ කියන්න හදන්නෙ, දැන් ඔය තියෙන ඉන්ටර්නෙට් එහෙම එක එක සමාගම් කාරයින්ගෙනෙ...අපි වෙනම නෙට් එකක් හදනවා...''
''වෙන අන්තර්ජාලයක්?''
''ඔව් මහත්තයා...උවමනාව තියෙනවා නං මොනවද කරන්න බැරි?''
''අපෙ හමුදුරුවනේ...මේ කතා අහනකොට මට නිකං විකාරයි වගෙ...''
''එහෙම වෙන්න එපා මහත්තයො...අර එදා දෙරණ වැඩ සටහනේදි විශ්වවිද්‍යාල මහාචාර්‍ය දේවසිරි මහත්තය කියපු දේවල් උනත් ඔයිට වඩා ඉවසීමෙන් අහන්න තිබුණා අපෙ මහත්තයා...මං මේ තරහට කියනවා නෙවෙයි...අපි එකතු වෙලා මේ නෙට් එක හදමු මහත්තයා, මං කියනවට...''
''හාමුදුරුවනේ, මාත් මේ කියන්නෙ කේන්තියකයට නෙවෙයි, ඔබ වහන්සේ කියන්නෙ මොකද්ද කියල ඔබ වහන්සෙම දන්නෙ නෑ! මට හිතෙන්නෙ, ඔබ වහන්සෙගෙ හිත හොඳ කම නිසා කවුරු හරි ඔබ වහන්සේ නොමග යවනවා...මේ වෙලාවෙ නෙට් දාලා සිංහල බෞද්ධ ඡන්ද කොල්ල කන්න වගේම ඒ ජන සමාජය විනාශ කරන්න ලොකු ප්ලෑනක් යනවා, මට පේන්නෙ ඔබ වහන්සේත් එහෙම නෙට් එකකට අහු වෙලා වගෙ..කෝකටත් පරිස්සමෙන් අපෙ හාමුදුරුවනේ...''
''එහෙම නෙවෙයි මහත්තයො...මේ වැඩ වලට ඉවසීම ඕන..බුදුහාමුදුරුවොත් දේශනාකරලා තියෙන්නෙ...''
''මට ඒ ඉවසීම එපා!''
මං එහෙම කිව්වෙ නැහැ, ඒත් උන්වහන්සේට කතා කරන්න නොදී කෝල් එක කට් කෙරුවා. ආයෙ ගත්තොත් උත්තර දෙන්නෙම නෑ!
CHAPA
Dec 18, 2018

ගෙවිඳු! මරාගෙන මැරෙන්න නං එපා!

හිතවත් ගෙවිඳු,
මේ කෙටි සටහන තියන්න හිතුවෙ, ඔබ අර මාධ්‍ය හමුවක් පවත්වමින් නටන පිස්සුව ගැන කියන්න ම නෙවෙයි. ඒ මාධ්‍ය වාර්තාකරුවා ඔබ කුපිත කරවමින් අහන ප්‍රශ්නය වෙන විදිහකට අහන්නත් පුළුවන් කියන්න. ඔහු වෙන වචන වලින් අහන්නෙ, මහින්ද රාජපක්ෂ මේ වෙලාවෙ අග්‍රාමාත්‍ය තනතුර භාර ගත්තෙ මොකද කියලා. ඔබ කියනවා රට බේර ගන්න කියලා. කොච්චර කිව්වත් ඒකම අහන නිසා ඔන්න ඔබට කේන්ති යනවා. ඒකනෙ වෙන්නෙ.
අපි මෙහෙම බලමු!
2015 Regime Change එකේ ප්‍රධාන ඉත්තා ජනාධිපති මෛත්‍රී, ඔච්චර පුංචි අහිංසක බබෙක් කියලා ඔබට හිතෙනවද? 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට, ව්‍යවස්ථා කුමන්ත්‍රණය හරහා හානිපූර්ණ පනත දක්වා ශ්‍රී ලාංකේය රාජ්‍ය, විනාශය කරා ඇදගෙන යන්න, එය යළි දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පූජාකරන්න මූලිකත්වය දෙන ජනාධිපත් මෛත්‍රී එකපාරට ම වෙනස් වුණා?
අනේ නිකං ඉන්න ගෙවිඳු!
2016, 2017, 2018 අය වැය යෝජනා හරහා ඊනියා සාර්ව ආර්ථිකයක් ක්‍රියාවට නංවමින් රටේ සුභ සාධන රාජ්‍ය ආකෘතිය තව දුරටත් විනාශ කරමින්, රාජ්‍ය දේපොළ සහ ස්වාභාවික සම්පත් විකුණමින්‍ රට අගාධයට දක්වන්න මූලිකත්වය දීපු ජනධිපති මෛත්‍රී එකපාරට ම වෙනස් වුණා?
අනේ මේ! ගෙවිඳු…
චීනය ට හම්බන්තොට වරාය පැවරුවා! කෝ මෛත්‍රී? ඔහු චීනයට විරුද්ධව මෝඩි කබායත් ඇඳගෙන, වරාය නගරයෙ – සංනිවේදන කුළුණෙ වැඩ බොරුවට නවත්තලා පස්සෙ ඒ පිදේනි චීනෙටම දුන්නෙ නැද්ද? මත්තල ගුවන් තොටුපොළ, පළාලි ගුවන් තොටුපොළ, ත්‍රීමළේ තෙල් ටැංකි ඉන්දියාවට! කොළඹ වරායෙ නැගෙනහිර පර්‍යන්තය නං බැරි ලු, බටහිර ද මන්දා වෙන දිශාවකින් නං ඉන්දියාවට දෙන්නං ලු!
ඔබට මේවා තේරෙන්නෙම නැද්ද?
මෙතන යන්නෙ ගේමක්! එක්කෝ, මෛත්‍රී – රනිල් ව්‍යාපෘතිය ට මහජන විරෝධයක් පැන නැගුණු නිසා, විශේෂයෙන් ම පහුගිය පළාත් පාලන මැතිවරණයෙන්; ඒ මහජන කේන්ද්‍රය විදිහට තියෙන මහින්ද සාධකය අරගෙන ගේමෙ ඉතුරු ටික ප්ලේ කරන්න හදනවා. සමහර විට අර නාමල් කුමාර කියන බූතයා කියන විදිහට ඒ සාධකය සහ එහි අනුප්‍රාප්තික සාධක භෞතිකව විනාශ කරන්න හදලා එය කලින් පත්තු වුණා වෙන්නත් පුළුවන්.
ඔය ඔක්කොම මැද්දෙ ඔබෙන් අහන්න තියෙන මූලික ප්‍රශ්නය ඉතා බැරෑරුම්.
ගෙවිඳු! ඔබේ ඔය කියන සිංහල බෞද්ධ ජාතිකත්වයේ පදනම මොකද්ද?
ඒකීය රට වෙනුවෙන් දෙමළ බෙදුම්වාදය ට විරුද්ධ ඔබේ හඬ පැහැදිලියි. මුස්ලිම් ව්‍යප්තවාදය ගැනත් ඔබේ ස්ථාවරය පැහදිලියි. රටේ ඉතිහාසය ගැන ඔබ පෙන්වා දෙන කරුණු ත් පැහැදිලියි.
ඒත් රට ඉන්දියානුකරණය සහ චීනකරණය කිරීම ගැන ඔබේ විරෝධයක් නැහැ. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ අර්ථිකය ට කරමින් තියෙන විනාශය ඔබ ට අදාළ නැහැ. ඒ ආර්ථික ඝාතනය ඔබ ට දනෙන්නෙ නැහැ.
ඔබ දන්නවාද!? මේ ජාතිය මෙහෙමවත් රැකිලා තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව නිසා. ඔය දෙතුන් පැත්තෙම නසරානියො ඒ සුභසාධනවාදී රාජ්‍ය තත්ත්වය විනාශ කරන්න හදන හැටි ඔබ ට පේන්නෙම නැහැ, ගෙවිඳු!
මට මතකයි, නන්දිකඩාල් කළපුව හරහා ඔබේ කඳවුර ට ආපු හමුදා නායකයා – කමල් ගුණරත්න ඕස්‍ට්‍රේලියාවෙ රැස්වීමකදි දෙමළ බෙදුම්වාදය ට විරුද්ධව කෑ ගහමින් අහනවා, මේ රටේ ලොකු ම ප්‍රශ්නය SAITM ද කියලා! ඔබටත් ඔය කොටස අහු වෙන්නෙ නැහැ.
සියල්ල විකුණන, සියල්ල විකිණෙන රටක ඉතුරුවන ජාතිකත්වයක් නැහැ! අන්න ඒ ඓතිහාසික සංදර්භය තුළ, මහින්ද මේ ඉස්සරහාට එන්නෙ මොකාගෙන් මොකක් බේර ගන්නද කියලා, අර ඔබ අකමැති ප්‍රශ්නය වෙන ම තලයකදි මතු කරන්නත් පුළුවං!
ඔබ ට එකක් කියන්නං, ගෙවිඳු!
සියළු පක්ශ අභිබවා යන මහා ජාතික ව්‍යාපාරයක් අත්‍යවශ්‍ය මොහොතක, ඔබ වගෙ අය මොකක් හරි ජාතික කෑල්ලක් අරගෙන නටන ඔය නැටුම ඉක්මනටම ඉවර වෙනවා. ඒ ඔබත් ඉවර වෙලා රට ත් ඉවර වෙලා! හරියට වම්මුන්ට සහ වම ට වුණා වගෙ. මේ ගමනාන්තය නං ඊට වඩා භයානකයි මිත්‍රයා! මොකද “ජාතික” අවකාශය “වම්” අවකාශය ට වඩා තීරණාත්මකයි!
මහාචාර්‍ය චන්න ජයසුමනටත් මේ වග කියන්න!
CHAPA
Dec 9, 2018

රෙද්දෙ ණය!


මේ දවස්වල ඇහෙන ප්‍රවෘත්ති අතර විදේශ ණය ලබා ගැනීමට නොහැකි වන ආකාරයේ “මහා අනතුරක්” ළඟ එන බව සාකච්ඡාවට ගැනෙනවා. ජාත්‍යන්තර (?) ඒජන්සියකින් දෙකකින්, ණය ශ්‍රේණිගත කිරීම් කරලා ශ්‍රී ලංකාව ඒ ලැයිස්තුවේ හිටපු තැනින් තව පහළට වැටිලා, විදේශ ණය ලබා දීම ප්‍රතික්ෂේපිත තැනකටම තල්ලු වෙමින් තියෙනවා කියන එක තමයි කතාව.
ඉතිං හොඳනෙ!
දශක ගණනාවක්, විශේෂයෙන් ම 80 දශකයෙන් පස්සෙ, හිටපු, ඉන්න පාලකයො කෙළවරක් නැතුව හතර වටෙන් ණය අරගෙන ඒවත් හොරකං කරමින් පවුල් පිටින් සැප විඳපු නිසා, අපි රටක් හැටියට මහා භයානක ණය උගුළක හිර වෙලා මේ ඉන්නෙ. මේ ආර්ථික ඛේදවාචකය ට නිලධාරී තන්ත්‍රයත් කෙළින්ම වග කියන්න ඕන.
නිකං හිතන්න, රටක විගණකාධිපතිවරයෙක් කියනකොට ” මේ රට අරගෙන තියෙන ණය ගැන හරි විස්තරයක් සක්‍රයාගෙ පුතා වයිමා ආවත් කියන්න බෑ! කියලා, අපි මොන තරම් භයානක තැනකද මේ වෙනකොට ඉන්නෙ? 
ඔය ශ්‍රේණිගත කිරීම් මොන රෙද්දවල්ද?! 
ඔය උන් කියන්නෙ, තොපි අපි කියන විදිහට නටන්නෙ නැත්තං අපි තොපිට ණය දෙන්නෙ නෑ! කියලා. වැඩේ කියන්නෙ, ණය ට පිස්සු කෙළිමින් ෆන් ගන්න පුරුදු වෙච්ච මහ එවුන් දැන් බයේ කුං කුං ගානවා. සාමාන්‍ය මහ ජනතාවට නං ඔය එකක්වත් වැඩක් නැහැ. ඔය මොකක් හරි පැත්තකට සෙට් වෙලා ණය ට කැහැ කැහැ ඉන්නවා.
රටක් ණය ගන්න ඕනද? කෙනෙක් අහනවා නං, ඔව්! අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් සම්පූර්ණ කරන්න හෝ එවැන්නක් අළුතෙන් පටන් ගන්න, නිශ්චිත සැලැස්මකට යටත්ව. වැදගත් ම දේ, ණය පොළියටත් වැඩිය – ණය කොන්දේසි‍ර්! අපේ රට වගේ, මෝඩ පාලකයන්, වෘත්තිකයන් සහ නිලධාරීන් ඉන්න රටවල් ඔය ණය ගන්නෙ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ ලෝක බැංකුවෙන්, තම රට උන් ට උකස් කරලා. චීනයත් දැන් ලෝකය පුරා ඔය ණය ක්‍රීඩාව කැතටම කරනවා. මහින්ද පාලන කාලය තුළ සහ දැනටත් ඒ චීන ණය ආක්‍රමණය බරපතළ විදිහට ක්‍රියාත්මකයි. ඊට අමතරව ලෝකයේ විවිධ රටවල කළු කඩ ණය වෙනම.
මේ විදිහට, ණය උගුල්වලට හසුව, ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල් සෑහෙන ප්‍රමණයක් දැනටමත් පණ අදිනවා.
ඔබ සමහර විට හිතනවා ඇති ඔය ගත්ත ණය ගෙවලා දැම්මට පස්සෙ කතාව ඉවරනෙ කියලා. නැහැ! ඒ ණය, විශේෂයෙන් ම මේ ශ්‍රේණිගත කිරීම ට අදාළව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුව ට. ආසියානු සංවර්ධන බැංකුවටත් සම්බන්ධයි. ඒ ණය අපට දීලා තියෙන්නෙ සහ තව දුරටත් දෙන්නෙ, රටේ ආර්ථිකය මෙහෙයවන බලය තම අතට අරගෙන. එහිදී ඔවුන් රටේ ආර්ථික ප්‍රථිසංස්කරණ උපදෙස් දෙනවා. මහ බැංකුව තම අරමුණු කරා තල්ලු කරගෙන යනවා. ඒ අනුව තමයි රටේ අය – වැය හදලා සම්මත කර ගන්න ඕන. පාර්ලිමේන්තුවේ ඉන්න රූකඩ 225 සරං උස්සගෙන කලිසං සාරි ගලෝගෙන කරන්නෙ ඔච්චරයි.
ඒ අනුව, මේ වන විට මහ බැංකුව මුදලාලිකරණය කිරීම, මූල්‍ය පාලනය දඩාවතේ යැවීම, බදු පිට බදු ගැහීම, රාජ්‍ය ව්‍යවසායන් PPP ක්‍රමයට විකිණීම, රාජ්‍ය සුභ සාධනය කප්පාදු කරමින් විශේෂයෙන් ම නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව කප්පාදු කරමින් මුදලාලිලාට භාර දීම, විදේශීය තැරැව් කරුවන් ට රටේ ස්වාභාවික සම්පත් කොල්ල කන්න අවශ්‍ය පසුබිම සකස් කිරීම සහ ඒ සියල්ලට අවශ්‍ය සංස්කෘථික සංහාර මෙහෙයුම් දියත් කිරීම ඉතා සංවිධානාත්මකව සිද්ධ වෙනවා.
මතක තියා ගන්න! මේ ණය ඒජන්සි කෙළින් ම එක්සත් ජාතීන් ට සහ බහු ජාතික සමාගම් ජාලයකට සම්බන්ධයි. එතකොට, රටේ රාජ්‍ය බෙදුම්වාදී ආකෘතියකට මාරු කරන්න අවශ්‍ය ව්‍යවස්ථා කුමන්ත්‍රණය ඉස්සරහට යන්නෙත් මේ ණය ක්‍රීඩාව ට සමගාමීව.
මීට අමතරව, චීන ණය සහ සූක්ෂම ආයෝජන මෙන්ම තවත් කළු කඩ ණය උගුල් වෙනම තියෙනවා. අන්න ඒ නිසා තමයි, සක්‍රයාගෙ පුතා වයිමාටවත් යමක් හරියට කියා ගන්න බැරි!
අපට ණය එපා!
1. ගත්තු ණය ගැන විධිමත් විමර්ශනයක් කරපල්ලා.
2. ඒ ණය කොන්දේසි සමාලෝචනය කොට රට ට හානි වන කොටස් ඉවත් කරපල්ලා.
3. තව ණය ගැනිල්ල වහාම නවත්තපල්ලා.
4. රාජ්‍ය නාස්තිය, හොරකම, දූෂණ වංචා නවත්තපල්ලා.
5. රට ට ගැළපෙන ආර්ථික සැලැස්මක් හදපල්ලා.
6. රටේ නිෂ්පාදන අර්‍ර්ථිකය ගොඩ නගපල්ලා.
7. ආහාර නිෂ්පාදනය වේගවත් කොට ආහාර සඳහා පිට රට ට ඇදී යන අති විශාල මුදල ඉතුරු කරපල්ලා. 
8. දේශීය වෛද්‍ය විද්‍යාව සංවර්ධනය කොට බටහිර වෛද්‍ය වෙළෙඳ පොළ සහ ඖෂධ මාෆියාව පාලනය කරපල්ලා.
එතකොට අපට විදේශ ණය ඕන නැහැ!
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න සරං කලිසං සාරි ඇඳ ගත්තු කොල – නිල්- රතු – තවත් පාට අම්බරුවන් ට මේ කියන්නෙ!
වටේ ඉන්න නිලධරී රොත්තත් එක්ක මොකක් හරි කරපල්ලා, ණය ගන්න බැරි වෙයි, සාර්ව ආර්ථික සැලසුම් ඉවරයි! කිය කියා තප්පුලන්නෙ නැතුව!
CHAPA, Dec 7, 2018්