Saturday, November 18, 2017

                                     හෘද සාක්ෂිය කන්නද?

'' ඔය කියන විදිහ හරි වුණා ට එහෙම පවතින්න බැහැනෙ...''
ගුරුවරිය කතාව පටන් ගත්තා!
''පුද්ගල පැවැත්ම සඳහා වැඩ කරලා හරියන්නෙ නැහැ ටීචර්...අපි සමාජයක් විදිහටම පවතින්න තමයි වැඩ කරන්න ඕනෙ...''
මගෙ සුපුරුදු ප්‍රතිචාරය!
''දැන් බලන්න ඔය බැඳුම්කර සිද්ධිය...එයාල කොච්චර සල්ලි හොයාගෙන ද? පරම්පරා ගණනාවකට...අපි මොන කතා කිව්වත් එයාලා දිනුම්!''
''ඒ මොන දිනුමක් ද? ලැජ්ජාව, සමාජ ප්‍රශ්න...පවුල් ප්‍රශ්න! අනෙක ඒ අයගෙ හෘද සාක්ෂිය! එයාල හිත ඇතුළෙන් තැවෙනවා ඇති...''
''මොන පිස්සුද? එයාල හිතන්නෙ එයාලා දිනුම් කියල...අනෙක ඔයාම දවසක් ලියල තිබුණු විදිහට...ඔය මහා ලොකු හොරකං එක විදිහක නම්බුවක්...පොඩි එකෙක් මොකක් හරි හොරකං කෙරුවොත් නං ඔන්න ලැජ්ජාව...''
මේ ගුරුවරිය සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය හරහා පෙනී හිටින්නෙ වඩා යහපත් සමාජයක් වෙනුවෙන්!
''එහෙම නං ඔයා ඇයි ඔය කතාව කියල post දාන්නෙ නැත්තෙ?''
''මොන කතාව ද?''
ඇය කුතුහලයෙන් අහනවා.
''පුළුවන් තරං හොරකං කරපල්ලා! පුළුවන් තැන හොරකං කරපල්ලා! පවතින්න පුළුවං එහෙම තමයි!..වගෙ කතා...''
''අපෝ! එහෙම ලිව්වොත් අනිත් එවුන් මාව මරාගෙන කයි! මම කියන්නෙ ප්‍රසිද්ධියෙ කියන්න ඕන දේ නෙවෙයි, කරන්න ඕන දේ...''
''ඒ කියන්නෙ?''
''මෙහෙම හිතන්න...ඔය බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අය දැන් ගොඩනෙ...ඇති තරං හොයාගෙන තියෙන්නෙ...කාලයක් යනකොට මිනිස්සුන්ට ඕක අමතක වෙනවා...එතකොට?''
ඇයගෙ හඬ සැහැල්ලුයි!
''ඔයා ඔහොම අවංකව සමාජය හදන්න කෑ ගැහුවට...මම දැකල තියෙනවා ඔයාට දාන සමහර comments...මහින්දට සපෝර්ට් ලු, එයාලගෙන් සල්ලි අරන් ලු...දෙරණ ට විතරක් යන්නෙ ඒකලු...එතකොට? මම ඇත්ත දන්නා නිසා දන්නවා..ඔයා සමාජය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවීමෙන් වැඩකරනවා කියල...අනිත් පැත්තට ලැබෙන්නෙ තෘප්තිය විතරයි කියලත් දන්නවා...''
''ඒ අවබෝධය තමයි වැදගත්...''
''ඒ වුණාට එහෙම දන්නෙ...එහෙම හිතන්නෙ කීයෙන් කී දෙනා ද? ඔය හුඟාක් අයට මේ කිසිම දෙයක් වැඩක් නැහැ, fb එකේ comments දානවා විතරයි...''
''ඒක නං ඇත්ත...ඒක මම සෑහෙන කාලයක් අත්විඳිනවා...''
''fb posts...comments බලන්න! දැන් ඔය අර්ජුන මහේන්ද්‍රන්ලා...ඇලෝසියස්ලා...එයාලගෙ හොරකං ආරක්ෂා කරන අනිත් අය ගැනත් කට්ටියක් බනිද්දි...කට්ටියක් හොඳ කියනවා...ඒකයි මම මේ කියන්නෙ...''
ගුරුවරිය කියාගෙන කියාගෙන යනවා.
''මම නං අපේ මහත්තයා හොරකං කරලා හරි පවුල ගොඩ නගන්න හැදුවොත් විරුද්ධ වෙන්නෙ නැහැ...මොකද, අපි කොච්චර හොඳ වුණත් අපිට කවුරුවත් මොකුත් දෙන්නෙ නැහැ...''
''මට පුදුම ගුරුවරියක් වෙලත් ඔහොම හිතන එක ගැන...''
'' මේ තම්යි ඇත්ත! ඔය සමාජය හදන්න කතා කරන හුඟාක් අය කරන්නෙත් එහෙම තමයි...''
''එතකොට මේ තත්වය වෙනස් කර ගන්න ඕන නැද්ද?''
''ඒක මට විතරක් කරන්න බැහැ! එහෙම කරන්න ගත්තොත් ඒ කෙනා තනි වෙනවා...''
ඇය කතා වේගය බාල කරන්නෙ ම නැහැ.
''කෙනෙකුගෙ හෘද සාක්ෂිය?''
''ඒක කන්නද අනේ...''
ඇයගෙ හඬේ මොකද්දෝ උපහාසයකුත් තිබුණා.
''එක උදව්වක් කරන්න!''
''මොකද්ද?''
''ඔය කතාව ළමයින්ට නං කියන එපා!''
''අපෝ නෑ...මම ඕවා කියන්න යන්නෙ නැහැ, පාඩුවෙ ඉන්නවා මිසක්...''
''පාඩුවෙ!''
මගෙ පුනරුච්ඡාරණය ඇයට ඇහුණා ද මන්ද!
CHAPA
Nov 19, 2017 



CHAPA against the Bond Scam! Nov 18, 2017

CHAPA at Bogala, at Ke/Dehi Rathnawali MV, Nov 13, 2017, P5

CHAPA at Bogala, at Ke/Dehi Rathnawali MV, Nov 13, 2017, P4

Wednesday, November 1, 2017

  දෙවියො? මොන?

''අපේ අයියා තමයි මාව යැව්වෙ...මම නං ඕවා විශ්වාස කරන්නෙම නැහැ...''
ඔහු, තමන් ගිය ගමන ගැන දුක් වෙනවා!
''මට අපලයි ලු! මාස දෙකක් ඇතුළත කරන කියන කිසිම දෙයක් හරියන්නෙ නැතිලු! රට යන්න එපා ලු! ගියොත් එක්කො හිරේ යනවා ලු, නැත්තං මැරෙනවා ලු!''
ඔහුගෙ හඬ පසුතැවීමක්.
''දෙහි ත් කැපුවා..මෙහෙම මෙහෙම ඉණ වටේ කරකවල...මෙන්න මෙහෙම කොණ්ඩේ අල්ලලා...දෙහි ගෙඩිය කැපුවා...මගෙ ඔළුව නිකං විකාර වෙලා, චිහ්! අපරාදෙ මම ගියේ...''
ඔහු මේ කියන්නෙ, මීගමුව ප්‍රදේශයේ දේවාලයකට ගිය කතාවක්. රට ඉඳල නිවාඩුවකට ඇවිත් ආයෙ යන්න හදන වෙලාවෙ තමයි මේ අත්දැකීම ඔහු ලබන්නෙ.
''පිස්සුද, නැත්තං හැටි ද?''
මම අහන්න පටන් ගත්තා.
''ඔබ ඉගෙන ගත්තු කෙනෙක් වෙලත් ඔය වගෙ මෝඩ වැඩ වලට අහු වෙන්නෙ ඇයි? මට නං හිතා ගන්නවත් බැහැ!''
''අද මට කොහෙන් හරි මුතු ඇටයක් අරගෙන ආයෙත් දේවාලයට එන්න කිව්වා, මොකද්ද කරන්න...කොහෙන්ද දැන් මුතු ඇට හොයන්නෙ?''
මට ඔහු කියන දේ විශ්වාස කරන්නම බැහැ. මොකද, ඔහු ලෝකය ගැනත් යමක් කමක් ඉගෙන ගත්ත වෘත්තිකයෙක්.
''පිස්සු නං කෙළින්න එපා! ඔය වැඩේ පැත්තකට දාලා සාමාන්‍ය විදිහට වැඩකරගෙන යන්න!''
මගෙ හඬ විධානයක් වුණා.
''ඒ වුණාට...මට ඔය කියන විදිහට මොකක් හරි වෙයිද? මම ආයෙත් රට යන්න ඉන්නෙ, හෙට අනිද්දම...''
''මේ! බම්බු ගහන්නෙ නැතුව, පාඩුවෙ හිටපං...චිකේ! උඹට ලජ්ජ නැද්ද ඇත්තට?''
මගෙ වචනත් දැන් ටිකක් වෙනස් වෙනවා.
ඔහු ඔන්න බර කල්පනාවක.
''මම ඒත් කල්පනා කරන්නෙ...''
''ඒ පාර මොකද්ද?''
ඔහුගෙ දැන් කතා විලාශය නං මගෙ කුතුහලය අවුස්සන්න සමත්.
''මොකද්ද?''
''අර කපුවගෙ වයිෆ් කාරයත් දේවාලෙ වැඩ...''
''ඉතිං?''
''ඒ මනුස්සයගෙ ඇඟ පුරාම සුදු කබර...ඒ අස්සෙ එයා ඉවරයක් නැතුව ඇඟ කසනවා''
''ඉතිං?''
''මම මේ අපහාසයකට කියනවා නෙවෙයි...''
''ඉතිං?''
''නෑ ඉතිං...මම බැලුවෙ, ඔය කපුවට ඔච්චර බලයක් තියෙනවා නං දෙයියන්ට කියල තමන්ගෙ ගෑනිගෙ සුදු කබර සනීප කරල දෙන්න පුළුවන් නෙ...නේද?''
''ඔය තියෙන්නෙ මොළේ!''
''ඒක තමයි!''
ඔහුගෙ මුහුණ ට අමුතු එළියක් වැටුණා.
CHAPA 
Nov 2, 2017 


CHAPA at Bogala, Aruggammana Maha Vidyalaya, Oct 31, 2017, A1

CHAPA at Bogala, Oct 30, 2017, P4

Thursday, October 26, 2017

පිස්සු?!

'' අපට ඔබ තුමා මුණ ගැහෙන්න ඕනෙ...වැදගත් කරණයකට...''
දුරකථන ඇමතුමක්!
''මොකක් සම්බන්ධයෙන් ද?''
''ම්ම්ම්...ඒක මුණ ගැහිලම කිව්වොත් තමයි හොඳ...කරුණාකරලා අපට වෙලාවක් දෙන්න පුළුවන් ද? කියන ඕන තැනකට එන්න පුළුවන්...''
විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රවලට සම්බන්ධ ප්‍රකට ආයතනයකට වැඩ කරන විධායක ශ්‍රේණියෙ නිලධාරියෙක් විදිහට තමන් හඳුන්වා දුන් ඒ පුද්ගලයා ඉතා ඕනෑකමින් ඉල්ලා හිටිනවා.
''ඔව්...අපට හම්බ වෙන්න පුළුවන්...ඒත් මොකටද කියල දැන ගත්තොත් තමයි වඩා හොඳ...එතකොට අපි දෙගොල්ලන්ට ම ලේසියි...''
මම කිව්වා.
''ඔබ තුමා කරන වැඩ සටහන් සියල්ලම වගෙ මම බලනවා..අපි හැමෝම අතර ඔබ තුමා ජනප්‍රියයි..අනික මම ඔබ තුමාගෙ fb friend කෙනෙක්...''
''එහෙමද?''
''අපිට විනාඩි 10 ක් ඇති...වැදගත් දේකට...''
''හරි...එහෙනං එන්න...''
ඉතිං ඔවුන් ආවා, දෙන්නෙක්.
''මේ මගෙ senior...එතුමත් ඔබතුමා follow කරනවා...''
මට දුර කථනයෙන් කතා කළ පුද්ගලයා, තමන් හඳුන්වා දෙමින් අනෙකා ත් හඳුන්වා දුන්නා, දෙන්න ම ඉතා ප්‍රියමනාප පුද්ගලයන්.
''you do a good service for our country...මේ අපේ රට!''
දෙවැන්නා කතාව පටන් ගත්තා.
''අපි ට පුළුවන් උපරිම දේ අපි කරන්න ඕනෙ...''
මම ආපිට කිව්වා.
''අපි දන්නවා...ඔබ තුමා කරන කියන දේවල්...බය නැතුව ප්‍රසිද්ධියෙ ඕන කෙනෙක් විවේචනය කරනවා...කෙළින් හිට ගන්නවා...ඒ නිසා ම ඔබ තුමා වගෙ අයට ජීවිත අවදානමක් තියෙනවා...''
''මගෙ විතරක් නෙවෙයි...අපි හැමෝටම! විශේෂයෙන් ම ඊළඟ පරම්පරාව ට''
''එහෙම නෙවෙයි...ඔබ තුමා මේ ගැන විශේෂයෙන් හිතන්න ඕනෙ...''
''මම හිතන්නෙ සමස්ත සමාජ පැවැත්ම ගැන!''
'' Sir..this is a special policy...''
ඔහු, තම සගයා ළඟ තිබුණු ලියැවිල්ලක් අතට අරන් ඔන්න මට පෙන්නන්න පටන් ගත්තා.
''ඒ කියන්නෙ?''
මම ටිකක් අවුල් වුණා.
''මේ policy එකෙන් ඔබ තුමාට සහ පවුලෙ අනිත් අයට...''
''ඔබ ඔය හදන්නෙ රක්ෂණ ආවරණයක් මට මට promote කරන්න නං කාලය අපරාදෙ...Sorry! I am not interested...''
මම ඒ වෙනකොට ඔවුන් කියන්න හදන දේ තේරුම් ගනිමින් හිටියා.
''නැහැ...නැහැ...මේක රක්ෂණ ක්‍රමයක් ම නෙවෙයි...ජීවිතය ආවරණය කරන විදිහක්...This is a Health Care project...හදිසියකදී රුපියල් ලක්ෂය දක්වා...''
''එපා...එපා...මම කවදාවත් මගෙ ජීවිත අවදානම ගැන උනන්දුවක් නැහැ...ඔයාලගෙ කාලය අපරාදෙ...''
මම එහෙම කියනකොට ම, ඒ ඉහළ නිලධාරියා''ඇයි බූරුවො උඹ මූට මේ ගැන කියන්නැතුව ද එපොයින්ට්මන්ට් එක දැම්මෙ!'' වගෙ නුරුස්සන බැල්මක්, තම පහළ නිලධාරියා ට දැම්මා.
''My struggle is to protect the entire society, then the Society will protect me!''
මම, සමස්ත සමාජය ආරක්ෂා කරන්න අරගල කරන බවත්, එතකොට සමාජය මාව ආරක්ෂා කරන බවත්, ඒ වෙන්වෙන මොහොතෙ මම ඔවුන් ට කිව්වා.
''බලන් හිටපං! උඹට නං පිස්සු!''
ඔවුන් දෙදෙනාගෙම ඒකාබද්ධ බැල්ම එහෙම කිව්වා.
''උඹල ට තමයි පිස්සු, උඹලට එහෙම කිව්වට එහෙම නොවෙන බව මමත් හොඳට ම දන්නවා..උඹල තමයි ඒක දන්නෙ නැත්තෙ, මොකද උඹල වගෙ එවුන් තමයි සමාජයෙ වැඩිපුරම ඉන්නෙ, උඹල අනුන්ගෙ ජීවිත එක්ක ක්‍රීඩා කෙරුවට, මේ යන විදිහට... අන්තිමට උඹල අපි ඔක්කොම ඉවර වෙනවා!''
මම එහෙම හිතුවට මගෙ බැල්මෙන් ඒ වග තේරුම් ගන්න ඔවුන්ට බැරි වුණේ, මම ආපහු හැරිච්ච නැති නිසා!
CHAPA 
Oct 27, 2017 






 

CHAPA on Dfm, Sri Dharmaloka Vidyalaya, kelaniya, Oct 24, 2017

Saturday, October 7, 2017

CHAPA on Insight, Ada Derana, Sept 17, 2017, Episode 41

සොඳුරු මිනිසෙක්!

පහු ගිය ඔක්තෝබර් 4 රාත්‍රියෙ දි, බෝගල පතළ ට යාබද, අරුග්ගම්මන මහා විද්‍යාලයෙ දි ගත කළ පැය දෙකකට අසන්න කාලයෙ දි මට ඔහු ත් මුණ ගැහුණා!
'' මම ඔබ තුමා සහභාගීවෙන හැම වැඩ සටහනක් ම කොහොම හරි බලනවා...ඔබ තුමා අපේ ගමට එනවා කියල ආරංචි වෙලා මම මේ ආවෙ...''
වයස අවුරුදු 76 ක වැඩිහිටියෙකුගෙ අව්‍යාජ වචන!
ඔහු නමින් කේ. ඒ. ගුණසේකර, දිවයිනටම සාමවිනිසුරු පදවියකුත් දරන ගමේ පොදු පිළිගැනීමකට ලක්වුණු පෞරුෂයක්.
''මම මේ ගමේ හුඟ දෙනෙකුට ම වගෙ චරිත සහතික දීලා තියෙනවා...''
ඔහු ආඩම්බරයෙන් කිව්වා.
''ගමේ හැමදේකටම ඉදිරිපත් වෙනවා...මස් මාළු කන්නෙ නැහැ...සිගරැට් අරක්කු කටේ තියන්නෙ නැහැ...මුළු ගම ම ආදරෙයි මෙතුමා ට...''
ගමේ තරුණයෙක් විස්තර කෙරුවා.
''මම පස් පව් කරන්නෙ නැහැ...හැමදාම භාවනා කරනවා...''
වැඩිහිටි මිත්‍රයා සිනහමුසු මුහුණෙන් කිව්වා.
''කණ්ණාඩි පාවිච්චියක් නැහැ වගෙ...''
මම ඔහුගෙ මුහුණට එබුණා.
''අපෝ නැහැ! මට හොඳට පේනවා...ඒ විතරක් නෙවෙයි...මට පුළුවන් ඕන බරක් කරේ තියාගෙන ඕන දුරක් පයින් යන්නත්..''
ඔහුගෙ හඬ තරුණයි, විශ්වාසවන්තයි!
''මම ඔබ තුමාගෙ අදහස් වලට හුඟාක් ගරු කරනවා...විශේෂයෙන්ම දෙරණ අලුත් පාර්ලිමේන්තුවෙ ඔබ තුමා ඉන්නවා නං මම නොවැරදීම බලනවා...මේ රට විනාශ වෙන්න දෙන්න බැහැ, ඔබ තුමා මේ මිනිස්සු දැනුවත් කරන එක මහා පිනක්...''
ඔහුගෙ වචන හරිම උණුසුම්.
''ඔබ තුමා ගමටම ඇවිත්මේ, අපේ දරුවන් ට ලෝකය ගැන කියල දෙන එක නං විශාල සේවයක්...ඔව්! මහා පිනක්...''
ඔහු තව හුඟාක් දේවල් කිව්වා. මට ඒ වචන තවමත් ඇහෙනවා ඇහෙනවා වගෙ. මගෙ හිතට අමුතු ශක්තියකුත් දැනෙන්න ගන්නවා, ඒ නිසාම.
කේ. ඒ. ගුණසේකර, දිවයිනටම සාමවිනිසුරු!
ඔව්! ඔබ නං අපුරු මිනිසෙක්! අරුග්ගම්මන කඳු මුදුන ට එදා එළැඹි සුන්දර රාත්‍රිය වගේමයි!
ඉතිං ආයෙමත් දවසක හමු වෙමු! ඔබ ට දීර්ඝායුෂ!
Oct 7, 2017 





 


CHAPA on neth fm, Unlimited, Oct 3, 2017

CHAPA on neth fm, Balumgala, Oct 4, 2017

Manohara R de Silva, PC, '' Against Tamil Separatism!'' Oct 7, 2017

Wednesday, October 4, 2017

CHAPA at Bogala, Aruggammana MV, ''Night School" Oct 4, 2017, Part 1

   මහා නායක හිමිවරු!


''ඔබ වහන්සේ හොඳට අනුශාසනා කරලා තිබුණා දිනේෂ් ගුණවර්ධන මැති තුමා ආපු වෙලාවෙ...''
ගාමිණි වියන්ගොඩ ප්‍රීතියෙන් ඉපිළෙමින් එහෙම කියන්නෙ,  2017 ඔක්තෝබර් 3 වැනි දා, වික්‍රමබාහු කරුණාරත්න සහ සමන් රත්නප්‍රිය සමඟ, මල්වතු නාහිමි මුණ ගැහෙන්න ගිය වෙලාවෙ. නාහිමියො ත් ඊට අනුකූලතාව දක්වමින් පෙරළා සතුට පළ කරනවා.
ඊට කලින් දවසක මේ නාහිමියන්,  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනුවත් කරන්න, තමන් මුණ ගැහෙන්න ආපු දිනේෂ් ගුණවර්ධන ට ප්‍රතිචාර දක්වපු විදිහ ගැන තමයි ගාමිණි මේ කියන්නෙ. එදා නාහිමියන් දිනේෂ්ට කිව්වෙ, ''නෑ...නෑ....ජනාධිපතිතුමා එහෙම නෑ කියල, කියල තියෙනවානෙ, ඒක විශ්වාස කරන්න පුළුවන්...''
කියල.
''අපි ඉතිං කවුරු කියන එකද පිළි ගන්න ඕනෙ? ඔබ තුමන්ලා කියනවා මේ විදිහට...ආණ්ඩු පක්ෂයෙ අය අර විදිහට කියනවා...''
නාහිමියන් එදා දිනේෂ් ට එහෙමත් කිව්වා.
ගාමිණි වියන්ගොඩ, මේ හමුවෙදි, මහනාහිමියන්ගෙන් කෙළින්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අහනවා.
''ඔබතුමාලගෙ අදහසේමයි මාත් ඉන්නෙ...නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි, රටට හානියක් නොවන...''
නාහිමියන්ගෙ පිළිතුර පැහැදිලියි!
මේ සියල්ල තුළ පැහැදිලි වෙන්නෙ, මේ නාහිමියන් කොන්දේසි විරහිතව ගාමිණී වියන්ගොඩලා නියෝජනය කරන ඊනියා ජාත්‍යන්තර උවමනාව වෙනුවෙන් පෙනී හිටින බවයි. එයින් කියවෙන්නෙ, දිනේෂ් ගුණවර්ධන හෝ ඔහු නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය ඒ ඊනියා ජාත්‍යන්තරයට එරෙහි තැනක ඉන්නවා කියන එක නං නෙවෙයි. මේ හැමෝම කරන්නෙ ඔවුන්ට ඒ ඊනියා ජාත්‍යන්තරය හරහා පැවරෙන රාජකාරි කටයුතු, අවසාන විග්‍රහයෙදි, මේ, රට ට එරෙහි සංවිධානත්මක නාට්‍යයක්.
එහෙම තියෙද්දි, මේ සාකච්ඡාව, මේ මහනාහිමිවරු ගැන!
රාජ්‍ය පාලනය සහ ඒ ඒ ආණ්ඩු, වඩා යහපත් දිශාවකට තල්ලු කරන්න අවශ්‍ය 'සඝ බලය' මෙහෙම දෙතුන් පැත්තකට බෙදිල දියකර දාන එක, මොන තරම් ඓතිහාසික අපරාධයක් ද? මහනාහිමිවරු ඒ පැත්තට මේ පැත්තට හැරිලා පටු අරමුණු සහ පුද්ගලික උවමනාවන් වෙනුවෙන් වැඩ කරන එක අපි පුළුල් දේශපාලන අර්ථයෙන් තේරුම් ගන්න ඕන කොහොමද?
මහ නාහිමිවරු ඇත්තටම කරන්න ඕනෙ, මේ ව්‍යවස්ථා ව්‍යාපෘතිය හොඳින් අධ්‍යනය කරල, අවශ්‍ය දැනුම සම්පාදනය කරගෙන, සිද්ධ වෙන්න යන දේශපාලන ව්‍යසනය වළක්වන එක, රට බේර ගන්න එක!
දැන් අපි මේ අවනඩුව කාට ද කියන්නෙ?
CHAPA
Oct 4, 2017 
  
 

 

Saturday, September 30, 2017

CHAPA at Ruwanwella Rajasinghe Central College, Sept 29, 2017, P8

CHAPA at Ruwanwella Rajasinghe Central College, Sept 29, 2017, P7

CHAPA at Ruwanwella Rajasinghe Central College, Sept 29, 2017, P6

CHAPA at Ruwanwella Rajasinghe Central College, Sept 29, 2017, P5

CHAPA at Ruwanwella Rajasinghe Central College, Sept 29, 2017, P4

CHAPA at Ruwanwella Rajasinghe Central College, Sept 29, 2017, P3

CHAPA at Ruwanwella Rajasinghe Central College, Sept 29, 2017, P2

CHAPA at Ruwanwella Rajasinghe Central College, Sept 29, 2017, P1

CHAPA at Bogala, Sept 30, 2017

Tuesday, September 26, 2017

    BS!


''ළමයි ඉවරයි! බලන්නකො අපේ සංස්කෘතිය ට කරන දේ?'' 
අම්මා කෙනෙක් කලබල වෙලා පණිවිඩයක් එවල, attachment එකකුත් එක්ක. 
''බලන්න මේ සින්දුව...මේවා ළමයි බලනවා, අපි කොහොමද එයාලව හදා ගන්නෙ?''
කලබලයට පත් අම්මා එවල තියෙන සින්දුව, නිර්මාණකරණය තුළ විග්‍රහ කරගන්න වෙන්නෙ එක විදිහකට, එය ලාංකේය සංස්කෘතික සන්දර්භය තුළ කියව ගන්න වෙන්නෙ තව විදිහකට. ඊළඟට වෙළෙඳ පොළ බලවේග තුළ සියල්ල විකිණෙන සහ විකුණන අභියෝගය ගැන සාකච්ඡාව වෙනම. අවසානයෙ දි, ළමයින්ට මොකද වෙන්නෙ සහ ඔවුන්, සමාජ විකෘතියක අත්දැකීමක් බවට පත්වෙනවද කියන බරපතළ ප්‍රශ්නය!
''අපි කරන්න ඕනෙ ළමයි දැනුමෙන් බල ගන්වන එක...මේ ප්‍රශ්නය ඉතාම සංකීර්ණයි...බැරෑරුම්!''
මම ආපිට ලිව්වා.
''ඒ වුණාට...''
''ඒ වුණාට කියල හරියන්නෙ නැහැ...ළමයි, දෙමව්පියො...ගුරුවරු ඔක්කොම එක සංවාදයකට එන්න ඕනෙ...''
''නෑ...මම කියන්න හැදුවෙ, අපිට බැරිද ඔයවගෙ සින්දු හදන එක තහනං  කරන්න?''
''එහෙම කරන්න බැහැ! ඒක ප්‍රායෝගික නැහැ...අනෙක නිර්මාණ සීමාවන් පනවන්න කාටවත් බැහැ...අනෙක තාක්ෂණය එන්න එන්න පුළුල් වෙනවා...ළමයි බුද්ධිමත් ලෝකයකට තල්ලු කරන්නයි අපි උත්සහ කරන්න ඕනෙ...''
''මම බැලුවෙ...''
''බලන්න දෙයක් නැහැ...ඔබේ පාසලේ ගුරුවරු එක්ක සාකච්ඡා කරන්න...සාහිත්‍ය සමිතිය සක්‍රීය කරව ගන්න ඊළඟට නිර්මාණකරණය...ළමයි වඩා යහපත් සමාජයක් සඳහා නිර්මාණ කරන්න පොළඹවන්න ඕනෙ...''
''ඒක මට තේරෙනවා...ඒ උනත්...''
මම දිගට ලියනවා.
''ළමයින්ගෙ රසාස්වාදය වර්ධනය කරවන්න ඕන...එතකොට එයාලට පුළුවන් ලෝකය තේරුම් ගන්න...යහපත් අයහපත් දේ වෙන්කර ගන්න...''
''මං මේ හිතුවෙ...''
''ඔය වැඩේ එක රැයින් කරන්න බැහැ...එක දිගට හැම පාසලකම බුද්ධි ප්‍රබෝධයක් ඇති කරන්න ඕනෙ..''
'' මට නං ඉතිං...''
''මොකද්ද?''
''මට නං ඉතිං ඕවට වෙලාවක් නැහැ...මං බැලුවෙ මේ සෝෂල් මීඩියා පාවිච්චි කරල එහෙම මොකක් හරි කරන්න බැරි ද කියල...''
''එහෙම ඉතිං මොකක් කරන්නද? පෝස්ට් එකක් දාල මේ සමාජ කඩා වැටීම බේර ගන්න බැහැ...''
''මගෙ දුව නං ඉතිං තව ටික දවසයි ඉස්කෝලෙ යන්නෙ...ඊට පස්සෙ...''
''ඊට පස්සෙ තමයි තවත් අමාරු...මේ සමාජය ඊළඟ පරම්පරාවට අපි ලෑස්ති කරලා නැහැනෙ...දැනටමත් අපි ප්‍රමාදයි...''
අම්මගෙන් උත්තරයක් නැහැ!
''දැනටමත් අපි ප්‍රමාදයි...දැන්ම පටන් ගන්න...''
ඇය නිහඬයි!
''ඉක්මනට ඔබේ දුවගෙ ගුරුවරු එක්ක කතා කරන්න...''
ම්හු!
..........
අහ්! ඔන්න ඇය අකුරු කරන්න පටන් අරගෙන!
''මගෙ දුව නං ලංකාවෙ ඉන්නෙ නැහැ ඉතිං! එයා ට ඔස්ට්‍රේලියාව ට යන්න ඕනෙ ලු!''
''ඔස්ට්‍රේලියාවට?''
''ඔව් අනේ! අපේ ඉතිං ගොඩක් කට්ටිය ඉන්නෙ එහෙනෙ...''
''එහෙමද?''
''ඔව්! ඔව්!....එහෙම නෙවෙයි...ඔබ තුමා බලන්නකො සෝෂල් මීඩියාවලින් මොකක් හරි කරන්න පුළුවන් ද කියල...''
''tnx''
tnx? අහ්! thank you කියන එක...මට නං පිස්සු!
මට හිතුණා.
''BS''
BS?
BS...BS...BS...ම්...බුදු සරණයි! එතකොට මම දැන් මොකද්ද ලියන්නෙ?
CHAPA
Sept 27, 2017   



CHAPA on Vfm, full, July 13, 2017 ( 78 )

Monday, September 25, 2017

CHAPA on Colombo tv, Rathukatta, Dec 31, 2015, P 3

CHAPA on Colombo tv, Rathukatta, Dec 31, 2015, P 2

CHAPA on Colombo tv, Rathukatta, Dec 31, 2015, P 2

CHAPA on Colombo tv, Rathukatta, Dec 31, 2015, P 1

  එහෙම එකෙක් නෑ!


මට එක දිගට වගෙ එක එක ඇමතුම් එනවා!
''කොහොමද ඉතිං...මම අහවලා...fb friend කෙනෙක්...නිකං කතා කෙරුවෙ ඉතිං ඉතිං...''
කෙනෙක් මහ රෑ අහනවා, මොකද එයාට මහා රෑ නෙවෙයි, හැන්දෑවෙ පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ගමන්.
 ''ඇත්තට මොකද්ද ඔය ලංකාවට වෙන්න යන්නෙ? අපිත් මේ බලාගෙන ඉන්නවා...''
ඒ තවත් රටකින්, එයාට නින්ද යන්නෙ නැතිලු! මෙහෙ නං උදේ පාන්දර, මම නැගිටලා ටිකක් වෙලා.
''අර වැඩසටහන මම බැලුවා...මාව වැරදියට ගන්න එපා! අර ඔබ තුමා කකුල උඩ තියාගෙන ඉන්න එකට නං මගෙ කැමැත්තක් නැහැ...බැරිද...මේ...''
ඒ මෙහෙ ඉන්න කෙනෙක්.
''අපි ඕන වෙලාවක ඔබ තුමා වෙනුවෙන් මැරෙන්න හරි එනවා...මොකක් හරි කරනවා නං අපිටත් කියන්න!''
ඒ පිටරටකින්.
''එදා අර අලුත් පාර්ලිමේන්තුවේ...අර කාට ද...මේ...කවුද අර මිනිස්ටර්...එයාට කට උත්තර නෑ...නියමයි ඔබ තුමා...මේ..මොකද්ද ඔබ තුමාගෙ නම...''
ම්...ඒත් පිටරට ඇමතුමක්.
''මෙහෙ එනව නං ඔන්න නවාතැන් පහසුකම් මං ගානෙ...ආපු ගමන් මට මැසේජ් එකක් දෙන්න...''
පිටරටකින්.
''මම මේ කාලයක් තිස්සෙ කතා කරන්න හිටියෙ, පාසල් ළමුන් ට ජීවිතය ගැන කියා දෙන්න වැඩසටහනක් කරන්න බලන්න...මම ඔබතුමාට යෝජනාවක් හැටියට කරන්නෙ...මම මෙහෙ අවුරුදු 26 ක් විතර දැන්, මම නං ඉතිං ලංකාවට එන්න බලාපොරොත්තුවක් නැහැ...මම කියන්නෙ මේ රටවල එහෙම කරනවා ''
පිටරටකින්.
''චාපා සහෝදරයා ජවිපෙ එක්ක වැඩ කරන්න...මම නං හිතන්නෙ ඒක තමයි හොඳම ක්‍රමය...''
මෙහෙ ඇමතුමක්.
''ඔය ජෙප්පො එක්ක SAITM වැඩේට යන්න එපා! උන් රනිලයගෙ කොන්ත්‍රාත්තුවක් කරන්නෙ...''
ඒත් මෙහෙන්.
''ඔබතුමා ට කියන්න...මම ලංකාවට හදිසියෙ ඇවිත් ඊයෙ ආවෙ...ඇත්තමයි හම්බ වෙන්න කියල හිතාගෙනමයි හිටියෙ...මොකද අපි මෙහෙ හිටියට ලංකාව අපේ රට! අපි එකතුවෙලා මොනවා හරි කරන්න ඕනෙ...ආයෙ එනකොට කියන්නං...තියන්නං...''
එයා හදිසියෙ මෙරට ට ඇවිත් හදිසියෙ පිට රට ට ගිහිං.
''අර අහවල් මිනිස්ටර්ට කියල පොඩි වැඩක් කර ගන්න තියෙනවා...ඔබ තුමාට පුළුවන් ද...''
මෙහෙ අමතුක්.
''ඇයි ඔබතුමා තනියෙන් දේවල් කරන්නෙ..ඒකාබද්ධ විපක්ෂය එක්ක එකතු වෙන්නකො...අපිත් පුළුවන් සපෝට් එකක් දෙන්නං...කොහොම හරි මුන්ව එළවන්න ඕනෙ...අම්මපා!''
ඒ කොළඹ හාදයෙක්.
''අර ඔබතුමා ඉස්කෝලවල කරන වැඩ සටහන් මම බැලුවා...ඔක්කොම නං බලන්න බැරි වුණා...බොරු කියන්න ඕන්නැහැනෙ...ඒත් ඕවා හොඳ වැඩ...මම නං කියන්නෙ හැම ඉස්කෝලෙකට ම යන්න...''
කොළඹින් පිට ඇමතුමක්.
''ඇත්තට ඔබතුමා ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් එහෙම නැද්ද?''
ම්ම්ම්...කොළඹ. නෑ...නෑ...කොළඹින් පිට ඇමතුමක්.
''මේ මුස්ලිම් ආක්‍රමණය ගැන ඔයාගෙ ලොකු මැදිහත්වීමක් නෑනෙ...බලන් ඉන්න එපා! මොකක් හරි කරන්න!''
''මේ ව්‍යවස්ථාව නං වෙනස් කරන්න දෙන්න එපා! මුන් හදන්නෙ රට බෙදන්න...තව මොනව හරි කරන්න බලන්න...''
'' හෙලෝ! මේ චාපා ද?''
නෑ!නෑ! චාපා නෙවෙයි! එහෙම එකෙක් නෑ!
CHAPA, Sept 26, 2017 

 



  

CHAPA on Hiru TV Balaya, June 30, 2016

CHAPA against SAITM on Hiru tv, Balaya, July 28, 2016

Sunday, September 24, 2017

    බෑ...බෑ...මං දන්නවා...


අපේ ගෙවල් ඉස්සරහ ඉන්නවා අවුරුදු 5 ක විතර දඟකාර පුංචි තරුණයෙක්. එයාට පුංචි අයියලා දෙන්නෙකුත් ඉන්නවා. මම එක වෙලාවක ගේට්ටුව අරිනකොට එයා පොඩි අයියත් එක්ක, ගෙවල් ඉස්සහ පාරෙ බයිසිකල් පදිනවා. අයියා වගෙ ඉක්මනට ඉක්මනට බයිසිකල් පදින්න තමයි මෙයාටත් ඕන. මම බලාගෙන ඉන්න නිසා එයා දැන් වැඩ දාලා එයාගෙ පුංචි බයිසිකලේ පදිනවා.
''ඔයා අතනට ගිහිං හරවගෙන එන්න ?''
මම ඇරගෙන ඉන්න ගේට්ටුවෙන් අපේ ගරාජ් එක පෙන්නලා නිකමට එයාට කිව්වා.
''හා...අන්න වැඩේ!''
එයා දකුණු පැඩලය අතින් උඩට ගන්න ගමන් කිව්වා.
''බෑ..බෑ...මං දන්නවා...''
මුහුණ ටිකක් ඇද කරන ගමන් ඔහු කිව්වා.
''මොකද්ද ඔයා දන්නෙ?''
''ඔයා හදන්නෙ මම ඇතුළට ගියාම ගේට්ටුව වහන්න!''
''අපෝ...මම එහෙම කරන්නෙ නැහැ!''
''නෑ?''
පුංචි තරුණයා ත් ආපහු කිව්වා.
''ඔයා මෙහෙම ගිහිං මෙහෙම එන්න...''
මම ඔහුට, ගිහිං රවුමක් ගහල ආයෙ එන හැටි අතින් පෙන්නුවා.
''ම්...බෑ..බෑ...මං දන්නවා ඔයා මම ගියාම ඕක වහයි...ඔය හිනා වෙන්නෙ ඒක තමයි...''
''නැහැ ළමයො...ඔයා ගිහිං බලන්නකො...''
මම ගණනකට නොගෙන කිව්වා. ඔහු හෙමින් හෙමින් මගෙ ඉරියව් නිරීක්ෂණය කරමින් ම ගමන පටන් ගත්තා, ''ආ...ආ...ඒඒඒ...''ඔය වගෙ ඒවත් කිය කියා.
ටිකක් දුර යන ගමන් ඔහු ආයෙ විමසිල්ලෙන් මං දිහා බැලුවා, මම ඈත අහස දිහා බලාගෙන වගෙ හිටියා.
''වහනවද?''
ඔහු එහෙම ඇහුවත් මම ඇහුනෙ නැහැ වගෙ හිටියා.
ඊට පස්සෙ එයා විශ්වාසයෙන් වගෙ යන්න පටන් ගත්තා, ''හහ් හා...'' ඒ පාර හිනාව නං ජයග්‍රාහී එකක්. ඔහු ටික වෙලාවක්, ගේට්ටුවෙන් එහාට මෙහාට හිතේ හැටියට බයිසිකල් පැදලා, ''හෝ....''වගෙ එකක් කියල කෑගහමින් පොඩි අයියා ඉන්න කන්ද පැත්තට අමාරුවෙන් යන්න පටන් ගත්තා. ඒ අතර ඔහු ආයෙත් ටිකිරි සිනහ පාමින් මගෙ මුහුණට එබුණා.
''ඇත්ත තමයි! ඔයා කියපු දේ කෙරුවා...මාව රැවැට්ටුවෙ නැහැ එහෙනං...'' ඒ මුහුණෙ කතාව මම කියව ගත්තා.
පුංචි ළමයි මල් වගෙ! කතාව ඇත්ත.
හැබැයි, අපි, වැඩිහිටි සමාජය ඔවුන්ට එහෙම පවතින්න දෙනවද? අවිශ්වාසය, සැකය, බොරුව, වංචාව, නොනවතින තරඟය...මේ හැර මොනවද අපට තියෙන්නෙ? ඔව්! වැඩිහිටි අපටත් එහෙම මල් වගෙ සුන්දර ළමා කාලයක් තියෙන්න ඇති! ඇති නෙවෙයි, තිබුණා. එතකොට අපට කොහොමද මෙහෙම වුණේ? අපි කවදාවත් උනන්දු නැති, ඒත් බරපතළ ප්‍රශ්නයක්!
එකිනෙකා විශ්වාස කරන, එකිනෙකා ට ගරු කරන සුන්දර වැඩිහිටි සමාජයක් හදා ගන්න අපට බැරිද? මේ වෙළෙඳපොළ බලවේග තුළ එහෙම මිනිස් පැවැත්මක් අපට තියෙන්න පුළුවන් ද?
''බෑ...බෑ...මං දන්නවා...''
ඒ අර දරුවගෙ බැල්ම!
මගෙ හිත ඇතුළෙනුත් පුංචි එකෙක් ඇවිත් මං දිහා එහෙම බලන්න පටන් ගත්තා!''
CHAPA
Sept 25, 2017  

CHAPA with Bimal on Rathu Katta on Colombo tv, April 28, 2016, P 3 You...

CHAPA with Bimal on Rathu Katta on Colombo tv, April 28, 2016, P 2

Tuesday, September 19, 2017

ජනවාරි 8!

2015 ජනවාරි 8, ලංකාවෙ සිද්ධ වුණේ Regime Change එකක්. ඒ ගැන දැන් අපි ඕන තරං කතා කරලා තියෙනවා. වඩා පැහැදිලි ව කිව්වොත්, එය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්!
විශේෂයෙන්ම ඉන්දියානු සහ චීන 'කළාපීය බල අරගලය'' සහ එය ලෝක දේශපාලනය ට සම්බන්ධ වන ආකාරය තුළ තමයි ලංකාව ඔය තත්වය ට මුහුණ දෙන්නෙ. ඒ දේශපාලනයේ ම සජීව කොටසක් ලෙස තිස් වසරකට වැඩි කාලයක් පැවතුණු LTTE ත්‍රස්තවාදය, එකී දේශපාලනයේ වාසි සහගත තත්වයන් ද ප්‍රයෝජනය ට ගනිමින්, මිලිටරිමය ලෙස පරාජය කරන්න, ලාංකේය රාජ්‍ය ට හැකිවීම ඒ කළාපීය සහ ලෝක දේශපාලනය ට අදාළව තීරණාත්මක තත්වයක්.
මීට සමගාමීව චීනය, විවිධ ක්‍රම ඔස්සේ උපක්‍රමශීලි ව ලංකාව ට සම්බන්ධ වීම සහ ඒ හරහා කළාපය තුළ තම බලය ව්‍යාප්ත කරමින් ස්ථාවර කර ගැනීම, ඉන්දියාව ට සහ ඒ හරහා ඇමරිකාව ප්‍රමුඛ ලෝක දේශපාලනය ට වෙනස් මට්ටම් වලින් තදින් දැනෙන්න ගන්නවා. ඊට ත් සමගාමීව ඒ ඒ රටවල ප්‍රබල දේශපාලන සාධකයක් බවට පත්ව තිබෙන ''දෙමළ ඩයස්පෝරාව'' තව දුරටත් LTTE බෙදුම්වාදී ක්‍රියාදාමය බල ගන්වමින්, ඊනියා ජාත්‍යන්තරයේ කොටසක් ලෙස ම සංවිධානය වීම, ලංකාව තවත් දුෂ්කර පැත්තකට තල්ලු වෙන්න හේතු වෙනවා.
ඔය වෙනකොට, යුද ජයග්‍රහණයෙන් උද්දාමය ට පත්ව සිටි රාජපක්ෂ පාලනය, ඒ දේශපාලන චලනයන් කිසිවක් නිවැරදිව වටහා ගන්න සමත් වුණේ නැහැ. ඒ අතර දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිරුණු අත්තනෝමතික ආණ්ඩු පාලනයක් නිර්මාණය වෙමින්,  ලාංකේය රාජ්‍ය දුර්වල මට්ටමකට පත් වෙනවා.
ඔන්න එතකොට අර කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. ඊනියා ජාත්‍යන්තරය, එහි මෙරට NGOs නඩය, චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රී සාධක එකට එක්ව Regime Change කොන්ත්‍රාත්තුව සම්පුර්ණ කරනවා.
2015 ජනවාරි 8 කතාව ඕකයි!
ඊට පස්සෙ සිද්ධ වෙන්න පටන් ගත්නෙ මොනවා ද?
ප්‍රධාන වශයෙන් ම, ඉන්දියාව සහ චීනය සම සම ව ලංකාව තුළ බලය ස්ථාවර කරගන්න අවශ්‍ය සැලසුම් හදා ගන්නවා. LTTE ය ඝාතනය කරමින් ස්ථාවර වූ ''ලාංකේය රාජ්‍ය බලය'' තව දුරටත් එසේ පැවතීම ලෝක සහ කළාපීය තත්වයන් ට අභියෝගයක් වන නිසා, එය දුර්වල ආකෘතියකට මාරු කරන ව්‍යුහාත්මක වෙනස හෙවත් ව්‍යවස්ථාමය වෙනස සිදු කරන්න අවශ්‍ය පසුබිම හදනවා. ඒ සඳහා, අදාළ රාජ්‍ය බලය ට පදනම් වන 'ජාතිකත්වය' දියකර හරින සංස්කෘතික සංහාරයක් ක්‍රියාත්මක කරනවා. 70 දශකයේ සිට JR, ප්‍රේමදාස, චන්ද්‍රිකා, DB, මහින්ද හරහා මෛත්‍රී - රනිල් දක්වා රට තුළ සුක්‍ෂම ලෙස ක්‍රියාත්මක ආර්ථික ඝාතනය ඒ සියල්ල ට සමගාමීව කොහොමත් දිගටම එනවා.
මේ දේශපාලන යථාර්ථය, ආණ්ඩුව, විපක්ෂය, ඒකාබද්ධ විපක්ෂය, ජවිපෙ හෝ වෙනත් කිසිදු පක්ෂයක් නිවැරදිව තක්සේරු කරගැනීම ට අපොහොසත් ව ඇති නිසා ඒ සියළු සාධක ත්  දැන සහ නොදැන, ලංකාව මුහුණ දෙන මේ දේශපාලන අර්බුදයේ ම සක්‍රීය කොටස් බවට පත් වෙනවා.
දැන් අපට කරන්න පුළුවන් මොකද්ද?
2015 ජනවාරි 8 ට අදාළ සිද්ධීන් පෙළ ත් එක්ක, රට තුළ මතු වුණු දේශපාලන වට පිටාව, අවශ්‍ය නං වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා යොදා ගන්න ඉඩක් 'තවම' තියෙනවා. වෙන විදිහකට කිව්වොත් මේ ගෙවෙන්නෙ ලංකාවෙ දේශපාලන සංක්‍රාන්ති සමයක් නිසා එය තවත් ඉදිරි වෙනස්කම් සඳහා යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට, රාජපක්ෂ පාලන කාලය දක්වා වූ සියළු කාලයන් හිදී නොතිබුණු මාදිලියෙ ''පුළුල් සමාජ ඉඩක්'' දැන් අපට මතු කර ගන්න පුළුවන්. අර සංක්‍රාන්ති අවකාශය ට අමතර ව සන්නිවේදන තාක්ෂණයත් ඊට ප්‍රබල හේතුවක්. සමහරු, මහින්දගෙ කාලයට වැඩිය දැන් මාධ්‍ය නිදහසක් තියෙනවා! කියලා වැරදියට තේරුම් ගන්නෙ අන්න ඒ තත්වය තමයි.
එහෙම නං, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විධිමත් දේශපාලන සංවාදයක් අපි ගොඩ නගන්න ඕනෙ!
ධනවාදය, ධනවාදයෙ නුතන ගෝලීය හැසිරීම, එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, රාජ්‍ය නොවන සංවිධාන, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, බහු ජාතික සමාගම්, ඉන්දියාව, චීනය...සමඟ සහ ඒවාට එදිරිව ලංකාව රටක් හැටියට හිට ගන්න ඕනෙ කොහොමද? සංවාදය අන්න ඒකයි.
ධනවාදයේ ම පාලන ප්‍රකාශනය වන ප්‍රජාතන්ත්‍රවාදය, එහි න්‍යායික යෝජනාව වන, ''ජනයා ගෙ, ජනයා මගින් සහ ජනයා වෙනුවෙන්'' කියන දේශපාලන පදනම මතු කර ගන්න ඕන විදිහ අපි දැන් හොයා ගන්න ඕනෙ. සිංහල, දෙමළ සහ මුස්ලිම් සියළු ජාතීන් එකට එක්ව, එකම නුතන ජාතියක් හැටියට සහ මේ පොළොව ට අනන්‍ය විදිහ ට නිෂ්පාදන සබඳතා නිර්මාණය කර ගනිමින්, ලංකාව ගොඩ නගන්නෙ කොහොමද කියන එක ඉතා ම බරපතළ සහ මාරාන්තික අභියෝගයක්!
කොහොමද ඉතිං අපි ඊට මුහුණ දෙන්නෙ?!
අපි මේ සඳහා බුද්ධිමය මැදිහත්වීමක් නොකෙරුවොත් වෙන්නෙ, මේ ආණ්ඩුව ට ඉක්බිතිව, මේ කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමය ම ඉස්සරහට ගෙනියන ඊළඟ කණ්ඩායම අතට ආණ්ඩු බලය යන එක, කොටින්ම, ආයෙත්, ඒ, රාජපක්ෂ පාලනය ම - වෙන හැඩයකින් වෙන්න පුළුවන්!
හැබැයි මේ සංක්‍රාන්ති සමය අවසන් වෙන්නෙ නං රට ආයෙ ගොඩ ගන්න බැරි විදිහට ම ප්‍රතිව්‍යුහගත කරලා!
අපට තවත් ඉතිං පමා වෙන්න බැහැ!  
CHAPA
Sept 20, 2017 

   
    

Monday, September 18, 2017

   ආත්තම්මගෙ ත් කට වහන්න ඕනෙ...


අපේ ගෙදර නං මාරයි!
තාත්තා ගෙදර ආපු ගමන් fb, අම්මා නං ගෙදර එන්නෙ ත් fb එකෙන්. මල්ලි ට ඉතිං games වලින් තොර ලෝකයක් නැහැ. මහා රෑ ත් නැගිටගෙන වැඩ.
නංගියා ඉස්සර පොත් ගුල්ලි, මොනවා කියවනව ද මන්දා උදේ රෑ එයාට ගානක්වත් නැහැ. මේ ළඟකදි එයාටත් fb account එකක් හදල දුන්නට පස්සෙ, එයා මටත් එහා. දැන් මාර ලේසියි. ඉස්සර එයාට කෑ ගහල පණ යනවා. දැන් ඉතිං text කරන්න පුළුවන්, එයා නිතර on line නිසා කිසි ප්‍රශ්නයක් නැහැ.
මම පොඩි කාලෙ, අපේ ගෙදර එක එක ප්‍රශ්න. අපේ තාත්තට ඉතිං අම්මා මොනවා කෙරුවත් වැරදියි. 
call කෙරුවෙ කවුද?
ආවෙ කවුද? 
ගියේ කොහෙද? 
අරක මේක සේරම හොයනවා. අම්මත් එහෙමයි. තාත්තා ටිකක් රෑ වුණොත් ඉඳල ඉවරයි. කච කචේ ඉවරයක් නැහැ. 
අද තමුසෙ රෝන්දයක් ගැහුවද? දවල් ෆෝන් එකත් ඕෆ් කරලා තිබුණා! අද අරකි බලන්න ගියා ද? ඉන්නවකො හෙට මාත් ඔෆීස් එන්න! 
ඔන්න ඔහොම කතා ඉවරයක් නැහැ. දැන් ඒ මොකුත් නැහැ. මේ ළඟදි, තාත්තා එයාගෙ girl friend කෙනෙකුට යවන්න ඕන message එකක් වැරදිලා, අම්මට යවල. අම්මා angry මුණක් දාලා. තාත්තා එතකොට sad මුණක් එවලා. 
අම්මා! කෝ දෙන්නකෝ!
අම්මේ කෝ ඒක?
අනේ අම්මේ...
අපෝ මල්ලිගෙ කට! ඒ දවස්වල කන් පිරෙනවා.
දැන් නං මරේ මාරු. කවුරුවත් හ්ම්! නැහැ. අම්මා fb එකෙන් chat කර කර තනියෙන් හිනා වෙනවා. හෙමින් හෙමින් මොනවද කියන වෙලාවලුත් තියෙනවා. එයා ඉස්සර වගෙ නෙවෙයි දැන් සින්දුත් කියනවා. 
නංගිටයි, මල්ලිටයි, මටයි ඉස්සර මාර කරදරේ. home work කරන්න! පොත් ගන්න! සෙල්ලම නවත්තන්න! tv බැලුව ඇති!අපෝ!
දැන් නං අපි ඉන්නවද නැද්ද වගක් නැහැ...
''කෝ මේ ළමයි?... ළමයෝ!...දුව...චූටි පුතා....කෝ මේ ගෙදර මිනිස්සු නැද්ද? රෑට කවුරුවත් කන්නෙ නැද්ද හැබෑට? ළමයිනේ!''
අපොයි! ඔන්න ආත්තම්මා!
''දැන් රෑ දොළහත් පහුවෙලා! මොන ගෙදරක් ද මේ? හැමෝම එක එක මුළු වල...කෑමක් නෑ! බීමක් නෑ!..මේ ළමයි පොතක් අල්ලන්නෙ නැහැ! මොන විකාරයක් ද මේ?''
මේක නං හරියන්නෙ නැහැ. ආත්තම්මගෙ කට වහන්න එකම එක ක්‍රමයයි තියෙන්නෙ, එයාටත් account එකක් හදල දෙන්න ඕනෙ. ම්ම්ම්ම්...එයා ලුසී හාමි, Lucy Rox කියල හදනවා...අන්න වැඩේ...Lucy Rox! එතකොට ඒ කරදරෙත් ඉවරයි!
hi...
ඉන්න ටිකක්! මගෙ friend කෙනෙක් chat එකට එනවා, අපේ ගෙදර තව විස්තර තියෙනවා කියන්න, ඒත් ඉතිං වෙලාවක් නැහැනෙ!
( ආ! කියන්න බැරි වුණා, මම තමයි ගෙදර ලොකු අක්කා, වයස 16 යි )
CHAPA 
Sept 19, 2017    

CHAPA against Sarath Fonseka! Hiru News 6 55pm, Sept 18, 2017

Sarath Fonseka?! 


CHAPA against SAITM, Ganemulla, April 4, 2017

CHAPA against UN!

Sunday, September 17, 2017

නැතුවම බැරි මිනිස්සු!

රාජිත දිසානායකගෙ 'නැතුව බැරි මිනිහෙක්' වේදිකා කෘතිය හොඳ දේශපාලන සංවාදයක්!
යුද්ධය, යුද්ධය අවසාන වීම සහ ඒ අතර දේශපාලනය තුළ 'මිනිස්සුන්ගෙ දේශපාලන භාවිතය' රාජිත හරි අපූරුවට වේදිකාගත කරනවා.
එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය විදිහට අප හඳුන්වන දේශපාලන විධි ක්‍රමය, ඒ තුළ තොරොම්බල් කෙරෙන ජාති ආගම් සහ තවත් වාද! පිළිබඳ පැහැදිලි ඉඟි වේදිකාවට අරගෙන එන්න රාජිත සහ ඔහුගෙ රංගන ශිල්පීන් සමත් වෙනවා. ඒ සියල්ල තුළ මානව සම්බන්ධතා පිළිබඳ සියුම් කියවීමකට යන්නත් ඔවුන්ට පුළුවන් වෙනවා. මිනිස් නිදහස ගැනත් සංකීර්ණ සංවාදයක් එතැනදි ම මතු වෙනවා. 
'නැතුව බැරි මිනිහෙක්' වේදිකා ප්‍රකාශනය ට සම්බන්ධ වන හැම ශිල්පියෙක් සහ ශිල්පිනියක් ම ඉතාම දක්ෂයි. ඇයි අපට මේ වේදිකාව, පොදු ජන සමාජය බලගන්වන්න පුළුල්ව යොදාගන්න බැරි? අපේ මේ ශිල්පීන් කොයිතරම් දක්‍ෂ ද! ඔවුන් හැඩ ගන්වන වේදිකාව කොයි තරම් කලාත්මක ද?ප්‍රබල ද? 
දකුණු කොරියානු, ඉන්දියානු, තවත් දෙස් විදෙස් මෝඩ සහ ප්‍රාථමික නිර්මාණ (?) වලින් වේගයෙන් ඔද්දල් වන ලාංකේය ජන සමාජය, එයින් මුදවාගෙන ඉස්සරහට තල්ලු කරන දීර්ඝ ක්‍රියාවලියක කොටසක් විදිහට, රජිතලාගෙ මේ වේදිකාව අතිශය වැදගත්!
ඔව්! රාජිත, ඔබත් ඔබේ වේදිකා සගයනුත් මේ මොහොතෙ, නැතුවම බැරි මිනිස්සු තමයි! 
CHAPA 
Sept 18, 2017 


CHAPA against SAITM at Chillaw, Sept 17, 2017

CHAPA on Neth fm, Unlimited; GSP+ ! WHAT & WHY? Jan 10, 2017

Saturday, September 16, 2017

  ආදරණීය මොඩයිනේ!


බොනවා, අඩි ගහනවා, දෙකක් දා ගන්නවා, සෙට් වෙනවා, කරටිය කැඩෙන්න ගහනවා...
ඔය වගෙ කතා ඇහෙනකොට ම ඔබ දන්නවා මාතෘකාව මොකද්ද කියලා. ඒත් ඉතිං මත් පැන් පානය ගැන නං වෙනම විශේෂයෙන් කතා කරන්න දෙයකුත් දැන් නැහැ වගෙ.
බීමේ ආදීනව හැමෝම දන්නවා. අත්විදිනවා. ඒත් බොනවා!
මේ ඒ ගැන නෙවෙයි. 
මිනිස්සු ඉතාම ආදරය කරන, රටේ මහා සම්පත් විදිහට සලකන්න පුළුවන් ගායකයො සහ සංගීතඥයො ගැන. පොදුවෙ කලාකරුවො ගැන. ඇයි මේ මිනිස්සු බීලා බීලා විනාශ වෙන්නෙ? මාර ප්‍රශ්නයක්! එහෙම බීමෙන් පරිහානියට පත්වෙලා අපෙන් සමු ගත්තු කලාකරුවන් ගෙ ලයිස්තුවක් ම ඕන නං හදන්න පුළුවන්.
ඇයි මේ?
ඔන්න ඉතිං විවිධ හේතු ඉදිරිපත් වෙයි!
මගෙ යෝජනාව නං, ජීවිතය තේරුම් ගන්න බැරි වීම සහ ඒ නිසාම ජීවිතය කළමනාකරණ කර ගන්න බැරිවීම!!
හරි! අපි කෙළින්ම කතාවට බහිමු!
ඉතා ම දක්ෂ, රට ට අත්‍යවශ්‍ය සහ රටේ ම - හරියටම ගත්තොත් මානව සංහතියේ ම උරුමයක් ලෙස සලකන්න පුළුවන්, අපේ කලාකරුවො, විශේෂයෙන්ම සංගීතඥයො - ගායකයො, බීලා බීලා මැරෙන්න ඉඩ දෙන්න පුළුවන් ද? ඒ ඔවුන්ගෙ විඳීම සහ ජීවිතය කියල කෙනෙක් කියයි. ඒත් ඔවුන් නිසා ජීවිතය විඳින අපට ත් යුතුකමක් සහ අයිතියක් තියෙනවා ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්න, ඔවුන් ආරක්ෂා කරන්න.
මම පුද්ගලිකව කරන සොයා බැලීම් වලින් තේරුම් ගියේ, මේ සංගීතඥයන් මෙහෙම බොන්න පුරුදු වෙන්නෙ, ඔවුන් වටේ තියෙන නරුම මිත්‍ර සමගම් නිසා. ඒ වගේම සංගීත සංදර්ශන සංවිධානය කරන බිස්නස්කාරයො නිසා. විශේෂයෙන් ම විදේශ සංචාර වලදි. සමහර සංගීතඥයන් ට, ගායකයන් ට, ගේය පද රචකයන් ට බොන්න එපා කියල, තදින් වෛද්‍ය උපදෙස් ලැබී තිබියදී සහ ඒ බව දන්නා පසුබිමකත්, අදාළ ශිල්පීන් ට බොන්න දෙන එක - බීමට පොළඹවන එක මොන තරම් කාලකන්ණි වැඩක් ද? මම එහෙම සිද්ධි දන්නවා, ඔබත් දන්නවා ඇති.
''සිංදු කියන්න කලින් බෝතල් භාගයක් විතර බිව්වා, ඉවෙන්ට් එක ඉවර වෙලත් බොන්න පටන් ගත්තා! අනේ මන්ද ඔහොම බොන්නෙ ඇයි? මට නං එපා වුණා...''
අවුරුදු විසි ගණන්වල විශ්ව විද්‍යාල තරුණයෙක්, මේ ළඟ දි,  බිම බලාගෙන කියාගෙන ගිය හැටි මට හොඳට මතකයි. ඔහු මුළු හිතින්ම ආදරය කරන සහ ඒ නිසාම තමන්ගෙ විශ්ව විද්‍යාලය ට ගෙන්වා ගත්ත මහා සංගීතඥයා ගැන ඔහු ට මොනවද හිතෙන්න ඇත්තෙ? 
නිකං හිතල බලන්න!
කලාව සහ බීම එකට සම්බන්ධ කරල විකාර කතා කියල මේ සංවාදය ජෑම් කරන්න හදන්න නං එපා! ඒ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ, පෙරේතකම මිස! 
අපට ජීවිතය ගැන කියා දෙන මේ කලා කරුවන් ට, මොකක් හරි විදිහකට, අපට ජීවිතය ගැන කියා දෙන්න ත් ජීවත් වෙලා ඉන්න ඕන ආදරණීය මොඩයිනේ! කියල කියා දෙන්න වෙනවා! මයි...
පුළුවන් විදිහට ඔබත් උත්සහ කරන්න!
CHAPA
Sept 17, 2017 

CHAPA on Vfm, Siddhamulla, July 13, 2017

Monday, September 11, 2017

   සිල් රෙදි, සබීතා සහ නීතිය!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙ ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට මේ වනවිට ත්, බන්ධනාගාරගතව, තුන් වසරක සිර දඬුවම් ගෙවමින් ඉන්නවා. ඔවුන්, සිරගත වූ සැනින් අසනීප වී රෝහල්ගත වීම සහ මේ ප්‍රශ්නය 'සිල් රෙදි' බෙදාදීමකට විරුද්ධවීමක් ලෙස වැරදියට අර්ථ ගන්වමින් සිංහල බෞද්ධ ජනයා නොමග යැවීමට සමහරු ගන්නා උත්සාහය ගැන අපට වෙන වෙන ම කතා කරන්න තියෙනවා.
මේ සිද්ධිය ට 'සිල් රෙදි' සම්බන්ධ වුණාට, මහජන මුදල් අවභාවිතය රුපියල් මිලියන 620 ක්. ලලිත් ට සහ අනුෂ ට මහාධිකරණයෙන්, වෙන වෙන ම ගෙවන්න නියෝග කළ මිලියන 2 බැගින් වූ දඩ සහ රුපියල් මිලියන 50 බැගින් වූ වන්දි මුදල් සියල්ල එකට ගත්තත්, සිදුව ඇති මහජන මුදල් අවභාවිතය යළි පියවන්න බැහැ. 
ඒත් සමහරුන් ට අනුව මේ, නීතියෙ ඉදිරි සාධනීය පියවරක්.  එසේම, මේ දඬුවම නිසා මෙතැන් සිට රාජ්‍ය නිලධාරීන් ප්‍රවේශමෙන් සහ හොඳින් කටයුතු කරන්න පෙළඹෙනු ඇති බවට තර්ක කරන අයත් ඉන්නවා.
''මේ වැඩෙන්, මීට පස්සෙ කිසිම රාජ්‍ය නිලධාරියෙකුගෙන් වැඩක් කර ගන්න හම්බ වෙන්නෙ නැහැ!'' යනුවෙන් සමහර දේශපාලන නියෝජිතයන් කියන කතාවෙ නං කිසිම හරයක් නැහැ. කොටින්ම ඒ ගැන නං කතා කරලවත් වැඩක් නැහැ.
ප්‍රශ්නය ඒක නෙවෙයි.
මේ නඩු තීන්දුව හරහා, මේ රටේ නීතිය සාධාරණ බව සහ  නීතියේ ආධිපත්‍ය, සමාජ යුක්තිය වෙනුවෙන් පෙනී හිටින බව තහවුරු වෙනවා ද? කොටින්ම මේ 'යහ පාලනය' පිළිබඳ සාධනීය තත්වයක් ද?
අපි මෙහෙම බලමු!
මේ මහජන මුදල් අවභාවිතය සම්බන්ධ නියෝගය දෙන්නෙ, හිටපු ජනාධිපතිවරයා. ඔහු ඒ බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරනවා සහ එහෙම ප්‍රකාශ නොකළත් සිද්ධ වුණේ ඒකයි. එතකොට මේ නඩු තීන්දුව සාධාරණ ද? 
දැන් කෙනෙක් කියන්න පුළුවන්, ජනාධිපතිවරයා කරපු වැරැද්ද වෙනම එකක්, ඒක ගැන වෙනම විමර්ශනයක් කරන්න ඕනෙ! කියලා. ඔන්න එහෙම නං ප්‍රශ්නයක් එනවා. එකම සිදුවීමක කොටසක් විතරක් අරගෙන විනිශ්චයක් ලබා දීම මගින්, එක පාර්ශවයක ට බරපතළ අයුක්තියක්, අසාධාරණයක් වෙන්න බැරි ද? එය එක විදිහක න්‍යායික හෝ තාක්ෂණික ප්‍රශ්නයක්.
ඊළඟට මේ අතීත සිදුවීම සහ තවත් එවැනිම සිදුවීම් විමර්ශනය කෙරෙන අතර තුර, ඒ නීතයේ ආධිපත්‍ය තුළ ම, රට තුළ සිදුවෙමින් පවතින්නේ කුමක් ද?
අපි එක පැහැදිලි උදාහරණයක් ගනිමු!
තවමත් වැඩි ජනතා අවධානයකට ලක් නොවුණු, කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා, රාජගිරියෙ, අංක 288 ගොඩනැගිල්ල, මාසික කුලී පදනම මත කෘෂිකර්ම අමාත්‍යංශයට ලබා ගත් ආකාරය තුළ බරපතළ අක්‍රමිකතාවක් තියෙන බව පැහැදිලිව පේනවා. මේ උදාහරණය මෙතැනට අතිශය අදාළ වෙන්නෙ, මෙය ත් මහා පරිමාණ මහජන මුදල් අවභාවිතයක් නිසා - ගමැතිවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා සහ අමාත්‍යංශ ලේකම්වරයා එකට එක්ව මේ ආර්ථික අපරාධය සිදුකරන පසුබිම නිසා. 
අපි දැන් කෙටියෙන් ඒ සිදුවීම් පෙළ විමසා බලමු!
1. 2015 සැප්. 21, අංක 15/130 /702/007 යටතෙ අගමැති රනිල් වික්‍රමසිංහ, ''Reforming the Parliamentary Committee and Office Space'' තේමාවෙන් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවෙන්, එතෙක් ''ගොවි ජන මන්දිරයෙ'' තිබුණු, සෞඛ්‍ය අමාත්‍යංශය, ''සෙත්සිරි පාය'' ට මාරු කරනවා, ඒ ගොවිජන මන්දිර ගොඩනැගිල්ල පාර්ලිමේන්තුව ට පවර ගන්න.
2. සෙත්සිරි පාය, තම අමාත්‍යංශය සඳහා ඉඩ මදි බව කියන, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, නව ගොඩනැගිල්ලක් කුලියට ලබා ගන්න, කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා.
3. 2016 ජනවාරි 29, DP ජයසිංහ සමාගම ( DP Jayasinghe Tours & Transport ) රාජගිරියෙ අංක 288 දරන ගොඩනැගිල්ල, අදාළ අමාත්‍යංශය සඳහා ලබා දෙන්න ලිඛිතව ඉදිරිපත් වෙනවා. ඒ, අවුරුදු 5 ක් සඳහා සහ 3 වැනි වසරේ සිට මාසික කුලිය 15% කින් වැඩි කෙරෙන ආකාරයට.
මේ සමාගම අයිති සබීතා පෙරේරා ගෙ සැමියා වූ උපාලි ජයසිංහ ට.
4. උපාලි ජයසිංහ ට අනුව අදාළ ගොඩ නැගිල්ල ලබා දෙන්නෙ, හතරැස් අඩියක් 167.50 ට. ඒත් ඒ මොහොතෙ රජයේ තක්සේරුව හතරැස් අඩියක් 150/-, එනම් උපාලි ට, හතරැස් අඩියක ට වැඩිපුර 17.50 ක් ලැබෙන ආකාරයට ගනු දෙනුව සම්මත වෙනවා.
5. 2016 මාර්තු 2 ඉහත ගනු දෙනුව ට අදාළ කැබිනට් පත්‍රිකාව ත් සම්මත වෙනවා.
6. 2016 මාර්තු 14 දාතම, C/AG1/ 15/ AQ/21 වාර්තාව මගින් විගණකාධිපතිවරයා, යෝජිත ගනු දෙනුව පිළිබඳ ප්‍රශ්න කරනවා.
7. 2016 අප්‍රේල් 7 පැවති, මහජන ගිණුම් කමිටුව ( Public Accounts Committee ) අදාළ අධික මාසික කුලිය ගැන කතා බහ කෙරුවත්, ගනු දෙනුවට විරුද්ධ වෙන්නෙ නැහැ.
8. 2016 අප්‍රේල් 8 අදාළ ගිවිසුම අත්සන් කරනවා. ඒ අනුව මාසික කුලිය මිලියන 21 ක්. මාස 24 ක අත්තිකාරම් මුදලක්, එනම් මිලියන 504 ක්, වවුචර් අංක 139/4 මගින්, එදින ම ලබා දෙනවා. මෙම මුදල අමාත්‍යංශය තුළ සටහන් වෙන්නෙත් වියදමක් ලෙස මිස අත්තිකාරම් මුදලක් ලෙස ත් නෙවෙයි.
9. අමාත්‍යංශය,  අදාළ ගොඩනැගිල්ල ට මාරු කිරීමට පෙර, එය තාක්ෂණිකව පරීක්ෂා කිරීමේ වගකීම, මධ්‍යම ඉංජිනේරු උපදේශක මණ්ඩලය ( the Central Engineering Consultancy Bureau ) ට පැවරෙන අතර, ඔවුන්, CB/AGM/WP1/2016 දරන 2016. 05. 10 දිනැති තම වාර්තාව මගින්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා ට ඉදිරිපත්ප කරන නිරීක්ෂණ සහ නිර්දේශ අතර පහත සඳහන් කරුණු ත් අඩංගුයි;
a. විදුලි සෝපාන 2 න් එකක් අක්‍රීයයි. ගොඩ නැගිල්ල ට 1 ක් ප්‍රමාණවත් නැහැ.
b. එසේ, එක විදුලි සෝපානයක් අක්‍රීය වීමට හේතුව, අකුණු සැර වැදීමක් හෝ වෙනත් විදුලි කාන්දුවක් බව වාර්තා වන නිසා, ගොඩනැගිල්ලෙ සමස්ත විදුලි පද්ධතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.
d.ගිනි නිවන යාන්ත්‍රණය අක්‍රියයි.
e. විදුලි පද්ධතිය අධික ලෙස රත්වෙනවා ( overheating )
f. ආලෝකකරණය ප්‍රමාණවත් නැහැ.
g. පිටත වීදුරු ආවරණය කර නැහැ.
h. හදිසි ගිනි අනතුරු පිටවීමක් ( no emergency fire exit ) නැහැ.
i. කුණු බැහැර කරන ක්‍රම වේදයක් නැහැ.
j. අදාළ අළුත්වැඩියා සහ නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 500 ඉක්මවා යන අතර ගතවන කාලය වසරක් ඉක්මවා යනවා.  
මේ අනුව, කෘෂිකර්ම ඇමතිවරයා, අදාළ මුදල් ලබා ගැනීමට කැබ්නට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන අතර එය සම්මත වෙනවා. 
2016 මැයි 16, අග්‍රාමාත්‍යවරයාගෙ ප්‍රධානත්වයෙන්, ඔහුගෙ කාර්යාලයේදී මේ ගොඩනැගිල්ල පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත් වෙනවා. උපාලි ජයසිංහ ත් ඊට සහභාගී වෙනවා.
මේ අතර, අදාළ ගොඩනැගිල්ල භාර ගැනීමේදී, inventory ය පරීක්ෂා කර නැති බවත් එහි සඳහන් බොහෝ දෑ අස්ථාන ගතව තිබූ බවත් පසුව හෙළි වෙනවා. ඒ අනුව, මෙම ගොඩනැගිල්ල ආපසු භාර දෙන විට, හිමිකරු ට ඒවා සපයා දීමට රජයට සිද්ධ වෙනවා. 
මේ සියල්ල මෙහෙම වෙද්දී, මේ ලියන මොහොතෙ ත්, අදාළ ගොඩනැගිල්ලෙ අළුත්නවැඩියා කටයුතු සහ නවීකරණ කටයුතු සිද්ධවෙමින් තියෙනවා. ඊට ගතවන කාලය ත් තවම නිශ්චිත නැහැ. ඒ අනුව, මහජන මුදල් අති විශාල ප්‍රමාණයක්, අදාළ ගොඩනැගිලි මාසික කුලිය ඇතුළු තවත් වියදම් සඳහා නාස්තිකෙරෙමින් තියෙනවා. ඒ අතර, කාර්යාලයීය ගෘහ භාණ්ඩ සඳහා තවත් රුපියල් මිලියන 250 ක් වැයකරන බවත් මාධ්‍ය ඔස්සෙ වාර්තා වෙනවා. 
මේ මුදල් ප්‍රමාණ නිශ්චිතව සහ නිවැරදිව ම දැනගන්න වෙන්නෙ නං විධිමත් පරීක්ෂණයකින් විතරයි. ඒත්, මේ ගනු දෙනුව, මහජන මුදල් මහා පරිමාණයෙන් අවභාවිත කිරීමක් බව ඉතා පැහැදිලියි. අගමැති රනිල් වික්‍රමසිංහ, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සහ අදාළ අමාත්‍යංශ ලේකම් බී. විජේරත්න එකට එක්ව, DP ජයසිංහ සමාගම ( DP Jayasinghe Tours & Transport ) වෙනුවෙන්, විගණකාධිපතිවරයා පවා නොසලකා හැර සිදුකර තිබෙන මේ මහා ''ආර්ථික අපරාධය'' මේ දැනුත් දිගටම සිදුවෙමින් තියෙනවා. 
එනම්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙ ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට, රුපියල් මිලියන 620 ක මහජන මුදල් අවභාවිත කළ වරදට සිර දඬුවම් ලබන මේ මොහොතෙත්, මේ මහජන මුදල් අවභාවිතය ක්‍රියාත්මකයි.
මේ එක උදාහරණයක් විතරයි! 
එතකොට, මේ යහපාලනය නමින් ඔප්පු කරමින් තියෙන ''නීතියෙ ආධිපත්‍ය'' ව්කෘති තත්වයක් නෙවෙයි ද? ඊළඟට තවත් බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදය තුළ, නියෝග දීම සහ නියෝග පිළිපැදීම කියන රාජ්‍ය යාන්ත්‍රණය, වග කියන්න ඕන කාට ද? එම ක්‍රියාවලිය තුළ යම් වැරැද්දක් සිද්ධවෙනවා නං එය නියාමනය වෙන්න ඕන කොහොමද? එවැන්නක්, පශ්චාත් මරණ පරීක්ෂණයකින් පමණක් අවසන් කිරීමේ අරුත කුමක් ද? කොටින්ම, හානිය සිද්ධ වෙන්න හැර, පසුව පරීක්ෂණ පැවැත්වීමෙන් ඇති ඵලය කුමක්ද? වැදගත්ම දේ, නියෝග දෙන දේශපාලන අධිකාරියට, නීතියේ ආධිපත්‍ය අභිබවා සිටිය හැකිද?
ආසන්නත ම උදාහරණය, මහ බැංකු බැඳුම්කර වංචාව!
මේ පිටුපස සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ අඩුම වශයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම, අදාළ ජනාධිපති කොමිසම විසින් කැඳවන්නෙ සහ ප්‍රශ්න කරන්නෙ නැහැ. සිල් රෙදි බෙදා දීමේ සිද්ධියත් එහෙමයි. නියෝග දෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට කිසිම චෝදනාවක් නැහැ. නියෝගය පිළිපදින නිලධාරීන් ට සිර දඬුවම් ලැබෙනවා.
මේ, නීතියේ ආධිපත්‍ය බව, පොදු ජනයා වන අප පිළිගත යුතු ද?
දැන් මෙතැන, තවත් බරපතළ පැත්තක් තියෙනවා!
හොරු නඩයකට, තවත් හොරු නඩයක ගෙ වංචා, දුෂණ සහ අක්‍රමිකතා හොයන්න පුළුවන් ද? දැනට ජීවතුන් අතර ඉන්න සහ අවශ්‍ය නං අදාළ පරීක්ෂණ පටන් ගන්න අවස්ථාව තියෙන සිද්ධීන් තමයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට එරෙහි බටලන්ද වධකාගාරය ට සම්බන්ධ බරපතළ අපරාධ චෝදනා සහ හිටපු ජනාධිපතිවරිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක ට එරෙහිව ජනමාධ්‍ය හරහා විධිමත් ව ප්‍රසිද්ධ කෙරුණු බරපතළ අපරාධ චෝදනා. ඛේදවාචකය වෙන්නෙ, දැන් මේ වනවිට නීතියේ දේශපාලන බලය තියෙන්නෙ ත් ඔවුන් ළඟ.
එහෙම ගත්තොත්, මේ යහ පාලන විකෘතියක් නෙවෙයි ද?
කෙටියෙන්ම මෙච්චරයි!
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර දේශපාලන සංවාදයක්.  එය ඓතිහාසික සොයාගැනීමක් සහ තවම ත් පර්යේෂණ මට්ටමේ පවතින දේශපාලන ක්‍රම වේදයක්. ඒ වෙනුවට, මෙහෙම එක එකා set වෙලා එක එකාගෙන් පළි ගන්න හදන එක සහ ඊනියා ජාත්‍යන්තරය සතුටු කරන්න ම ඒ පළි ගැනීම් යොදා ගන්න එක, මාරාන්තික විදිහට භයානකයි!
හේතුව, නීතියේ ආධිපත්‍ය දේශපාලන විකෘතියක් වන කල, ඊළඟට එන්නෙ සිවිල් කැරළි, අන්තිමට ත්‍රස්තවාදය!
රට දැන් ගමන් කරමින් ඉන්නෙ අන්න ඒ අඳුරු දිශාවට!
CHAPA 
Sept 12, 2017     
  

CHAPA at Ruwanwalla Rajasinghe Central College, Sept 7, 2017, Part 1

තාත්තා ට 'සහෝදරයා' කියනවා නං ඔන්න බැහැ!

මේ භානු මුනිප්‍රිය!
නීතීඥවරයෙක්. සබරගමු පළාතෙ, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා.
මම ලියන්න යන කතාව මේ අද ඉන්න වැඩිහිටි භානු මුනිප්‍රිය ගැන නෙවෙයි. 80 දශකයෙ බලන්ගොඩ මධ්‍ය මහ විද්‍යාලයෙ ඉගෙන ගත්ත, ශිෂ්‍ය 'භානු' ගැන. 
කෙටියෙන්ම කිව්වොත්, අපි දෙන්නා එදවස සමකාලීන පාසල් ශිෂයයො.
භානු, ඒ දවස්වල ගින්දර වගෙ කොල්ලෙක්. ඒ කියන්නෙ කඩිසර, පෙරළිකාර, කටකාර...ඔය ඔක්කොම. මිනිහා ඒ දවස්වෙනකොටත් කරාතේ කළු පටි මට්ටමට ඇවිත් හිටියා. එක දවසක් මට මතකයි කාටද මන්දා කොල්ලෙකුට ඔක්කොම ඉස්සරහ ගහගෙන ගහගෙන යනවා. හැබැයි මම දන්න විදිහට භානු යහපත් ශිෂ්‍යයෙක්. 
මට ඔය ගහගත්ත සිද්ධිය හරියට මතක නැහැ, හැබැයි ගැහුවෙ, ඉතාම සාධාරණ හේතුවකට කියලා පොදු පිළිගැනීමක් නං අප අතර ඇතිවුණා. කොහොම වුණත් භානු ට ඒ සිද්ධිය නිසා පන්ති තහනමක් වගෙ මොකක් හරි දඬුවමක් ලැබුණා වගෙත් මතකයි.
මේ ඉතිං වෙන කතාවක්.
ඔන්න 1982, රටට හඳුන්වා දෙන්න හදපු, අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි විරෝධය පාසල් උඩිනුත් හමාගෙන හමාගෙන යන්න ගත්තා. අපේ ඉස්කෝලෙත් එක එක ක්‍රියාකාරකම්. කවුරු සංවිධානය කෙරුවද, කවුරු නායකත්වය දුන්න ද මට නං මතක නැහැ. හැබැයි ඉතිං අපිත් සටනට බැස්සා.
''රනිල් රනිල් ගොනා ගොනා 
ගොන් පනතක් ගෙනා ගෙනා''
ඒ සටන් පාඨය දැනුත් ඇහෙනවා ඇහෙනවා වගෙ.
''සහෝදරවරුනි! අපේ රටේ නිදහස් අධ්‍යාපනය විනාශ කරන මේ ඊනියා පනත වහාම හකුළා ගන්න කියල අපි ආණ්ඩුවට බල කරනවා!''
භානු පිට්ටනියෙ පැත්තක ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො ආමන්ත්‍රණය කරනවා. ඉස්කෝලෙ ම තවත් තැන් තැන් වල පොඩි පොඩි රැස්වීම් වගෙ ඒවා තිබුණා.
''ඔව්! අපි මේ සටනට සුදානම් වෙන්න ඕනෙ!''
ඒ මම.
භානු හරි වෙන කවුරු හරි එකෙක් මාවත් කතා කරන්න දාලා. මම ත් ඉතිං එක එක ඒවා කිව්වා. ලොකු තේරුමක් නං ඇත්තටම එදා තිබුණේ නැහැ. ඒත් මොකක් හරි ලොකු වැරද්දක් වෙන්න යනවා වගෙ හැඟීමක් හිතට ඇවිත් තිබුණා.
''අද අපි යනවා භානු සහෝදරයගෙ ගෙදර...ඔය සහෝදරයත් එන්න ඕනෙ''
කවුද එකෙක් මාවත් ඇදගෙන භානුලාගෙ ගෙදර යන්න පටන් ගත්තා. එකෙක් කිව්වට එතැන හිටියා, දහ පහළොස් දෙනෙක්. ඒ ගේ තිබුණෙ ඉස්කෝලෙට අල්ලපු වැටේ වගෙ. භානුලා යමක් කමක් තියෙන සහ යම් සමාජ පිළිගැනීමකුත් තියෙන කට්ටියක්. සමර පාටට පාර අද්දරම නිසොල්මනේ තිබුණු ඒ ගෙදර තට්ටු දෙකක් වෙන්න ඕනෙ, මොකක් හරි ගාම්භීර පෙනුමකුත් එහි තිබුණා මතකයි. 
ඔන්න ඉතිං අපි භානු පිටිපස්සෙන් පේළියට ඇවිදගෙන ගියා, ගිහිං ටිකක් ලොකු කාමරයකට ඇතුළු වුණා. කාමරයෙ අපට ඉඳගන්න පුටු තියලා තිබුණා. ඒ පුටුවලට මුහුණ දෙන විදිහට, ආඩම්බරකාර පෙනුමක් තියෙන මැද වයසෙ පුද්ගලයෙක් තැන්පත් ඉරියව්වෙන් ඉඳගෙන හිටියා.
''සහෝදරවරුනි!''
භානු කතාව පටන් ගත්තා.
''අර කවුද?''
මම ළඟ එකාගෙන් කොඳුරලා ඇහුවා.
''භානුගෙ තාත්තා...''
යාළුවත් කොඳුරලා ම කිව්වා. 
''...මේ සටන එච්චර ලේසි පහසු නැහැ, අපි තව බලවේග එක්ක එකතු වෙන්න ඕනෙ...''
භානු කතාවට දක්ෂයි. ඉස්කෝලෙ විවාද වලත් ඉස්සරහින්මයි ඉන්නෙ.
''මම දැන් ගෞරවයෙන් ආරාධනා කරනවා, අපේ විලියම් සහෝදරයා ට ඔබ ආමන්ත්‍රණය කරන්න කියලා...''
''විලියම් සහෝදරයා?''
භානු කතාව නවත්තන්නත් ඉස්සර මට කියවුණා.
''භානුගෙ තාත්තා බං...එයා වාමාංශික ව්‍යාපාරයෙ ක්‍රියාකාරී චරිතයක්, උඹ ඒකවත් දන්නැද්ද?''
අර ළඟ යාළුවාගෙ කොඳුරන හඬ. 
''ඒ වුණාට තාත්තා ට සහෝදරයා කියන්නෙ කොහොමද?''
මම ඒ ගැන හිතන අතරෙ...
''ඔය සහෝදරවරු තේරුම් ගන්න ඕනෙ, මේ ධනපති පන්තිය...'' 
භානුගෙ තාත්තා කතාකරගෙන යනවා. 
''තත්තා ට සහෝදරයා කියනවා නං ඔන්න බැහැ!''
මම පස්සෙ යාළුවන් ට කිව්වා. 
''හරි ඉතිං, ඒක රැස්වීමක්නෙ''
''සහෝදරයා කියන්නෙ වාමාංශික දේශපාලනය කරනකොට කතාකරන විදිහ''
''තාත්තා පුතා කතා මේ දේශපාලනයට ගේන්න බැහැ...ඒකයි''
එක එකා මට කරුණු පැහැදිලි කෙරුවා.
''තත්තා ට සහෝදරයා කියනවා නං ඔන්න බැහැ!''
මම මගෙ ස්ථාවරය වෙනස් කෙරුවෙ ම නැහැ. ඒ ස්ථාවරය නිසා නං නෙවෙයි, ඉතිං ඊට පස්සෙ අපි විවිධ ප්‍රයෝගික ප්‍රශ්න මත වෙන් වුණා, ඇත්තටම වුණේ මම වෙන ඉස්කෝලෙකට ගිය නිසා භානු මග හැරුණා. මේ කතාවෙ ලොකු දෙයක් නැහැ, සුන්දර මතක සටහනක් විතරයි! ඒකත් ඉතිං පුද්ගලිකයි!
CHAPA, Sept 11, 2017  
   

Saturday, September 9, 2017

ඒ ඉතිං කවදාහරි මම මැරුණොත්නෙ හලෝ!...


''මම නං කියන්නෙ...ඔය පාරවල් බ්ලොක් කරලා...සාමාන්‍ය මිනිස්සුන්ට අවහිර කරලා කරන උද්ඝෝෂණ නවත්තන්න ඕනෙ...මේක දැන් සෙල්ලමක් වෙලා!''
මැද වයසෙ ව්‍යාපාරික මිත්‍රයා කියන්න පටන් ගත්තා.
''අනෙක...මොකද්ද මේ සයිටම්  පිස්සුව? ලෝකෙ ප්‍රයිවට් මෙඩිකල් කොලේජස් ඔය ඕන තරං තියෙන්නෙ...''
ඔහුගෙ හඬ පැහැදිලියි.
''මෙහෙම ගියොත් රට අරාජික වෙනවා...ඇයි අනේ, අපට ගමනක් යන්න නෑ...වැඩක් කර ගන්න බෑ...හැමදාම උද්ඝෝෂණ, මොන පිස්සුවක් ද?''
ඔහු ප්‍රතිචාරයක් ලැබෙන තුරු මගෙ මුහුණ දිහා එබීගෙන බලාගෙන ත් ඉන්නවා. 
''උද්ඝෝෂණ සිද්ධ වෙන්නෙ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන නිසානෙ...''
මම කියන්න ගත්තා.
''මොන ප්‍රශ්න ද?''
''උදාහරණයක් විදිහට, ඔබ ඔය සුළුවට හිතන සයිටම් විරෝධය...සයිටම් කියන්නෙ පොදු සමාජයේ ම අර්බුදයක්''
''ප්‍රයිවට් මෙඩිකල් කොලේජස් වලට මොකටද විරුද්ධ වෙන්නෙ, ඔය ඕන තරං ප්‍රයිවට් යුනිවර්සිටීස් ලංකාවෙත් තියෙන්නෙ...?''
ඔහු දිගට ප්‍රශ්න කරනවා.
''ඒකම තමයි අර්බුදය...පුද්ගලික විශ්ව විද්‍යාල සහ වෙනත් අධ්‍යාපන ආයතන පටන් ගන්න එක එක ප්‍රශ්නයක්, හේතුව...ඒවායේ ප්‍රමිතිය! දැන් ඕන කෙනෙකුට සල්ලි දීලා සහතික ගන්න පුළුවන් තත්වයක් ඇතිවෙමින් තියෙනවා...ලෝකයෙ හැම තැනම මේ ව්‍යසනය පැතිරෙනවා...අධ්‍යාපනය කියන්නෙ මොකද්ද කියලා දැන් බරපතළ ප්‍රශ්නයක් ලෝකය පුරාම ත් තියෙනවා...උපරිම ලාභය වෙනුවෙන් අධ්‍යාපනය විකිණෙන එක භයානක තත්වයක්, ඒක වෛද්‍ය අධ්‍යාපනය ට අදාළව මාරාන්තික ප්‍රශ්නයක්...''
''ඒ කියන්නෙ ප්‍රමිතිය ගැන නෙ ප්‍රශ්නය...ජනාධිපති තුමා කියනවා...''
''නැහැ! ප්‍රමිතිය එක ප්‍රශ්නයක්...සල්ලි වලට ම අධ්‍යාපනය විකිණෙන එක තව ප්‍රශ්නයක්...විශේෂයෙන්ම වෛද්‍ය අධ්‍යාපනය! මොකද, ඊළඟට මෙතැන සෞඛ්‍ය සේවාව ට එල්ලවන විශාල අභියෝගයක් තියෙනවා!''
මම ටිකක් තදින් කතාකරන්න පටන් අරගෙන.
''ඒ කියන්නෙ? මට තේරෙන්නෙ නැහැ ඔබ තුමා කියන දේ!''
ඔහු අහනවා.
''ඔබ බෞද්ධ නේද?''
මම වෙනම ප්‍රවේශයක් ගන්න හිතුවා.
''ඔව්! ඔව්! අපි නියම සිංහල බෞධයො...ඇයි? මොකද්ද ඒකෙයි මේකෙයි සම්බන්ධය?''
''බුදු දහමට අනුව අපි මැරිලා නැවත උපදිනවා!''
''ඔව්! හරිනෙ..අපි මැරිලා නැවත උපදිනවා!''
ඔහු මගේ කතාවෙ අන්තිම කොටස බැරෑරුම් විදිහට පුනරුච්ඡාරණය කෙරුවා.
''ඔබ දැන් ව්‍යාපාරිකයෙක්...හොඳට සල්ලි තියෙන...සැප සම්පත් විඳින කෙනෙක්''
ඔහු ගෙ මුහුණෙ අමුතු සතුටක සේයාවක් ඇඳුණා.
''ඔබට රජයේ වෛද්‍ය විද්‍යාල...රජයේ රෝහල් දැන් අදාළ නැහැ...මම දන්නා විදිහට ඔබේ දරුවො දැනටමත් ඉගෙන ගන්නෙ පිට රට''
ඔහුගෙ, අර සතුට යටින් හීනි ආඩම්බරයකුත් මතුවෙලා එන්න පටන් ගත්තා.
''අපි හිතමු...ඔබත් පරම්පරා සල්ලි කාරයෙක් කියලා...එහෙම නං ඔබේ පුංචි කාලයෙදිත්, ඔබේ දරුවන් ට වගේම, ඔබට එහෙම අවශ්‍යතාවක් තියෙන්න නැතුව ඇති...''
ඔහුගෙ මුහුණට එකපාරටම වෙනස් අසරණ පෙනුමක් ආවා. ඒ, ඔහු ඉතාම දුප්පත් පවුලක ඉපදිලා පස්සෙ කාලයෙ එක එක වැඩ කරලා සල්ලි කාරයෙක් වෙච්ච බව මම ත් දන්නා බව ඔහු දන්න නිසා.
''ඒත් මෙහෙම හිතන්න! අපි ඔක්කොම මැරෙනවා...දවසක ඔබ මැරිලා, දුප්පත් තාත්තා කෙනෙකුට දාව දුප්පත් අම්ම කෙනෙකුගෙ බඩේ නැවත ඉපදුණොත්...මොකද වෙන්නෙ?''
මම නිතර නිතර හැමෝගෙන්ම අහන ප්‍රශ්නය ඔහුගෙනුත් ඇහුවා. එතකොට ඔහු අනිවාර්යයෙන්ම, ඔහුගේම අතීතය තුළ ගල් ගැහුණා. දුප්පත්කම දෝරෙ ගලන ගම, දුප්පත් අම්මා තාත්තා - සහෝදර සහෝදරියො, දුප්පත් නෑදෑයො! තමන් එදා දුව පැන දඟලපු පුංචි ඉස්කෝලෙ, තමාව කරේ තියාගෙන අම්මා නිතර නිතර ගාටපු ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ...අනිවාර්යයෙන්ම ඔහුට මැවෙන්න ඇති.
''ඔව්! මට මාව දැනෙනවා! මම පිළිගන්නවා, මේ ප්‍රශ්නය අපි හැමෝටම පොදුයි!''
ඔහු එහෙම නිහැඬියාව බිඳියි කියල මම කොහොමවත්ම හිතුවෙ නැහැ. 
''ඒ ඉතිං කවදාහරි මම මැරුණොත්නෙ හලෝ!''
ඔහු එහෙම කිව්වෙත් නැහැ. ඒ වුණාට, ඒ වෙලාවෙ, ඒ මුහුණෙ, එහෙම මොකක් හරි අමුතු කතාවක් තිබුණ ද කියල මම මේ දැනුත් කල්පනා කරනවා.
CHAPA 
Sept 10, 2017  




  


Sunday, September 3, 2017

  ඔව්! උඹලා ට ආයෙ ආයෙ පරදින්න දෙන්න බැහැ!?


SAITM විරෝධී අරගලය, මේ වන විට, ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය වෙනස් කිරීමේ හැකියාවක් තිබෙන මහා ජව සම්පන්න ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩ නගා තිබෙනවා. එය ඉතිහාසය තුළ, එක විදිහක තීරණාත්මක කඩ ඉමක්.
SAITM දැන් තව දුරටත්, මේ අරගලය තුළ එක ආයතනයක් නෙවෙයි, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් කෙටි කාලීනව සහ දිගු කාලීනව පෙනී හිටින වඩා පුළුල් දේශපාලන ක්‍රියාවලියක තේමාවක්! 
ප්‍රංශ ඉතිහාසයෙ, 1229 දක්වා වූ කාල තීරුව ට ආපස්සට විහිදෙන, විශ්ව විද්‍යාල ශිෂ්‍ය නැගිටීම් පිළිබද ඉතිහාස කතාවෙ ත්, මේ SAITM විරෝධී විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය, අතිශය වැදගත් පරිච්ඡේදයක් සටහන් කරනවා. පැහැදිලි අරමුණ, සංවිධානාත්මක බව, පොදු බව, අඛණ්ඩ බව සහ නිර්භීත බව; මේ ශිෂ්‍ය පෙරමුණ තුළ, මේ වනවිට, ඕනවාටත් වඩා ඔප්පුවෙලා ඉවරයි.
ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භය ක් තුළ නං, ආණ්ඩුව සහ සමස්ත රාජ්‍ය තන්ත්‍රය ත් - දැනටම ත් මේ ශිෂ්‍ය බලය ඉදිරියෙ දණ නවලා ඉවරයි. එහෙම ගත්තොත් ලංකාව තුළ මේ ගෙවෙන්නෙ, ඓතිහාසික දේශපාලන සංක්‍රාන්ති කාලයක්. නීතියෙ ආධිපත්‍ය ට එල්ලවන මේ ප්‍රජාතන්ත්‍රවාදී අභියෝගය භාරගන්න, ආණ්ඩුව සහ එහි ස්වාමියා වූ රාජ්‍ය අසමත් වෙනවා. ඒ නිසා ම, ඊළඟට ඔවුන් දැන්, ශිෂ්‍ය නායකයන් ට එරෙහිව, ඒකාබද්ධ ව ඉතාමත් ම ප්‍රාථමික සහ දුර්වල දඩයමක යෙදෙමින් ඉන්නවා. ඒ සඳහා නීතිය අවභාවිත (?) කරමින් ඉන්නවා. නීතියෙ ආධිපත්‍ය, ත්‍රස්තවාදයක් බවට පත් කරමින් ඉන්නවා.
මේ ඓතිහාසික දේශපාලන තත්වය අපි - පොදු ජනයා හැටියට වඩා නිවැරදිව කියව ගත්තෙ නැත්තං, එය සහාසික දේශපාලන වැරද්දක් - අපරාධයක් වෙනවා විතරක් නෙවෙයි යළි පහසුවෙන් නිවැරදි කළ නොහැකි දේශපාලන ඉරි තැලීමකට ත් අනිවාර්යයෙන් ම හේතු වෙනවා.
අනිත් පැත්තෙන්, මේ යෝධ ශිෂ්‍ය ව්‍යාපාරය පිටුපස වරෙක ජනතා විමුක්ති පෙරමුණ සහ ඊළඟට එහිම දිගුවක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ක්‍රියාකාරී සහභාගීත්වයක ඉන්න බව රහසක් නෙවෙයි. යම් යම් එකඟතා සමඟ ඒ පක්ෂ දෙකම - ඒ සඳහා එකට වැඩ කරන විදිහකුත් හැදිලා තියෙනවා. මේ සියල්ල, ඓතිහාසික සාධනීය තත්වයන්. 
ඊට අමතරව, විශ්ව විද්‍යාල ගුරු සංගම්, රජයේ වෛද්‍ය නිලධාරීන් සහ තවත් වෛද්‍ය කණ්ඩායම්, විවිධ වෘත්තීය සමිති සහ දෙමාපිය සංවිධාන වගෙ ජන සංවිධානගතවීම් වගේම විවිධ පුද්ගල මැදිහත්වීම් නිසාත්, මේ SAITM විරෝධී ශිෂ්‍ය ව්‍යාපාරය වඩා පුළුල් ව, වර්ණවත් වෙලා  තියෙනවා. 
මේ සියල්ල මෙහෙම වෙන්න අනිවාර්යයෙන් ම හේතු වෙන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂය. ජවිපෙ ට කවදාවත් බැරිවුණු ''පොදු අරගල වේදිකාවක්'' SAITM පාමුළ ඉදිකරන්න ඔවුන් ප්‍රශස්ත විදිහට සමත් වෙනවා. SAITM විරෝධී අරගලය ට සම්බන්ධ වෙන්න, පුද්ගලික ව මටත් අවස්ථාව ලැබෙන්නෙ අන්න ඒ විදිහට. 
දැන් මේ ඓතිහාසික දේශපාලන සන්දර්භය තුළ මතුවන, ඉතාමත් ම වැදගත් සහ බරපතළ ම ප්‍රශ්නය තමයි, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය තුළ, විශ්ව විද්‍යාල ශිෂ්‍යා ගෙ 'ඉරණම(?)' මොකද්ද? කියන එක. ලෝක ඉතිහාසය තුළ, ගෙවී ගිය සියවස් ගණනාව තුළ ම, මේ මාරාන්තික ප්‍රශ්නය, ''නොඅසන ප්‍රශ්නය!'' ක් සේ හිර වෙලා. මරා දැමීම්, වද හිංසාවන් ට ලක් කිරීම් සහ සිර ගත කිරීම් අතර දේශපාලන සැමරුමක් පමණක් බවට පත්වන, වයස විසි ගණන්වල ( හෝ අරගලය ට ගෙවුණු නිසාම ඊට මදක් වැඩි! ) අති බහුතරයක් වූ ප්‍රධාන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් ගෙ ''වරෙව්! සටන් කරමු! සටන හැර වෙන තෝරා ගැනීමක් නැහැ!'' යන නිර්භීත හෘද සාක්ෂියෙ දෝංකාරය! ඔව්! අපට එක දිගට ඇහෙනවා. ඒ හඬ ඊළඟ ශිෂ්‍ය පරම්පරාව ට ජවය සහ බලාපොරොත්තු ලබා දෙනවා. ගමන දිගටම, හැමදාම! එක වගේම!
මේ අතර, ඒ ඒ දේශපාලන පක්ෂවලට අනුගතව, පුර්ණ කාලීන ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් පිරිසකුත් හැදෙනවා. ''ධනවාදී ක්‍රමය තුළ, ඊට අදාළ වෘත්තිකයො වෙලා වැඩක් නැහැ! ඒ අධ්‍යාපනයෙන් ධනවාදය ශක්තිමත් වෙනවා විතරයි! ඒ නිසා අපි අධ්‍යාපනය වෙනුවට, පවතින අසාධාරණ ක්‍රමය ට විරුද්ධව පුර්ණ කාලීනව සටන් කරනවා!'' කියල ඔවුන් කල්පනා කරනවා. ඒ ඒ පක්ෂත් එහෙම හිතනවා වගෙ.
මේ තත්වය ඉතාම බරපතළයි සහ සංකීර්ණයි!
එක පැත්තකින්, මේ තත්වය තුළ ම යෝජිත අරගලය දුර්වල වෙනවා, ඒ ඒ පුද්ගලයන් ගෙ පෞර්ෂය සහ ඊටම අදාළ පුද්ගල මනෝ භාවය ඇතැම් විට නොදැනීම යෝජිත දේශපාලන ක්‍රියාවලිය හකුළුවා දාන්න හේතු වෙන්න පුළුවන්. ඊළඟට ඔවුන් වටා මෝදුවන සංකීර්ණ සමාජ ප්‍රශ්න! මේ මාරාන්තික අභියෝගය ජය ගන්න නං අපි - අපේ මේ අරගල මාදිලිය තව සංවර්ධනය කරන්න ඕනමයි.
මෙතැන, පොදු  සහ පුද්ගලික ප්‍රශ්න දෙකක් එකට බද්ධ වන අර්බුදයක් නිර්මාණය වෙනවා. උදාහරණයක් විදිහට, මේ පවතින ධනවාදී ක්‍රමය ට අදාළ, ලාංකේය දේශපාලන විකෘතිය ට එදිරිව හිට ගන්න හයිය තියෙන වෛද්‍යවරු, විශ්ව විද්‍යාල ආචාර්යවරු ප්‍රමුඛ වෘත්තිකයො පරපුරක් ඕන. ඒ විදිහෙ උගත්  - බුද්ධිමත් දේශපාලන  නියෝජිතයො ඕන. ඉතිං කෝ? 
මේ අරගල භුමිය අන්න ඒ මහා මෙහෙයුමට යොදාගන්න කියන එකයි මගෙ මේ යෝජනාව.
වසර 2000 ත් එක්කම, ඒ අසන්න කාලයෙදි, රුහුණ, සබරගමුව සහ රජ රට කියන විශ්ව විද්‍යාලවල විවිධ සංවාද වලට සහභාගී වෙන්න මට ත් අවස්ථාව ලැබුණා. එදා මට මුණ ගැහුණු අවුරුදු විසි ගණන් වල ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ටත් මම මේ කතාව කියමින් හිටියා. ඔවුන් ට දැන් වයස හතළිස් ගණන්. හිතන්න! එදා ඔවුන් මේ දේශපාලන සංවාදයට ඇතුළු වුණා නං, මේ වෙනකොට රටේ අර්බුදය මෙහෙම දුර දිග යන්නෙ නැහැ. හේතුව, ශක්තිමත් ජනතාවාදී වෘත්තිකයන්ගෙ පවුරක් රට වටේ හැදිලා. ඒ කාලය තුළ ජවිපෙ ඉතාම අදේශපාලනික විදිහට ඊට හරස් කැපුවා, මගෙ ඒ පුද්ගලික අතීත අත්දැකීම් හරිම තිත්තයි. 
කොහොම වුණත් දැන් කරන්න ඕනෙ මෙන්න මේකයි!
පන්ති වර්ජනය කරලා ඉන්න හය දහසකට වැඩි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වහාම පන්තිවලට සහභාගී වෙන්න ඕනෙ. ගුරුවරු වහාම උගන්වන්න පටන් ගන්න ඕනෙ. මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් වහාම ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ගුරු - ශිෂ්‍ය දෙගොල්ල එකතුවෙලා, අතිරේක පන්ති සහ විශේෂ වැඩමුළු හරහා මග හැරුණු අධ්‍යන කාලය වහාම ආවරණය කරන්න ඕනෙ. විශ්ව විද්‍යාල ප්‍රධානීන් සහ අදාළ කාර්ය මණ්ඩල,වඩා වේගවත් සහ කාර්යක්ෂම පරිපාලනයක් ආරම්භ කරන්න ඕනෙ. මේ සියල්ල හරියට සිද්ධ වෙන්න, අපි හැමෝම ආණ්ඩුවට බල කරන්න ඕනෙ, ඒ සඳහා ත් විවිධ ක්‍රියාකාරකම් අවශ්‍ය වෙයි. 
ඔන්න දැන් මේ අතරෙ, මෙතෙක් කරගෙන ආපු සියළු විරෝධතා, වඩා සංවිධානාත්මකව ඉස්සරහට ම යනවා. උදාහරණයක් විදිහට පන්තිවලට යන අතර පෙළපාලි යනවා, කණ්ඩායම් විදිහට උපවාසත් කරනවා, මාරුවෙන් මාරුවට අට්ටාල උඩත් ඉන්නවා, තවත් අලුත් ක්‍රියාකාරකම් හොයා ගන්නවා. එක හොඳ වැඩක් තමයි විරෝධය පෙන්වන්න 'කළු' පාට විතරක් අඳිනවා, කළු පටි පළඳිනවා. 
ඊට සමගාමීව, රට පුරා සම්මන්ත්‍රණ, වැඩ මුළු සහ සංවාද තියමින්, අරගලය වඩා විද්‍යාත්මකව සමාජ ගත කරනවා.
වඩාම අවශ්‍ය දේ තමයි, මේ අපේ මෝඩ ඊනියා පාලක රැළ මෙහෙයවන ඊනියා ජාත්‍යන්තර මහමොළකාරයො එක්ක, කරට කර හැප්පෙන එක. උන්ගෙ ආර්ථික සංහාරය ගැන ලෝකයට කියන එක. උන්ට එදිරි විදේශ රටවල තවත් දේශපාලන කණ්ඩායම් එක්ක සම්බන්ධ වෙන එක. කොටින්ම, මේ අරගලය 'ජාත්‍යන්තරකරණය' කරන එක. 
ඒක කරන්න නං උන්ට වඩා 'දැනුම' අපට ඕනෙ!
මතක තියා ගනිල්ලා! රටේ කොල්ලො කෙල්ලො ඉගෙන ගන්නෙ නැති එකට අපේ වනචාරී පාලකයො සහ උන්ගෙ විදේශ ආර්ථික ඝාතක හාම්පුත්තු මාර ආසයි! වැදගත්ම දේ, අන්න ඒ, උන් ලබන කාලකන්ණි සතුට නැතිකරමු! දැනුමෙන් සන්නද්ධව උන් එක්ක හැප්පෙමු! 
'උන්' පරාජය කරන 'අපේ' ඓතිහාසික අරගලය තීරණාත්මකව ජයග්‍රහණය කරන්න නං, කොල්ලනේ - කෙල්ලනේ වෙන කෙටි පාරක් නැහැ! ඔව්! උඹලා ට ආයෙ ආයෙ පරදින්න දෙන්න බැහැ!
මම දකින සිහිනය නං අන්න ඒකයි!
CHAPA
Sept 4, 2017   
 
   

Wednesday, August 30, 2017

මේ, රංචි...

 'රංචි' කියන්නෙ මේ අහළ පහළ ගෙදරක ආදරය ට ඇති කරන, සැපට හැදෙන බැළලියක්.  
මහා ආඩම්බරකාරී, පිට කාටවත් එහෙම වැඩිය ළඟ ට එන්න දෙන්නෙ නැහැ, අත පත ගානවට වැඩිය කැමති ත් නැහැ. අපේ වත්තෙ තියෙන වදුළ නිසා ද මන්දා එයා නිතර නිතර මෙහෙ ඇවිත් ඔහේ කාලය ගත කරනවා, ඔය තැන් තැන් වල ඉඳගෙන, වැතිරිලා, අවට සිරි නරඹමින් ඉන්න තමයි එයා කැමති.
අපි ඉතිං ඒ වුණාට දැන් ටිකක් යාළුයි.
මේ බැළලි ටිකක් අමුතුයි. හැඟීම් ප්‍රකාශනය වෙනස්. තේරුමක් නැතුව බය වෙලා වගෙ ඉන්නවා. වෙලාවකට ලොකු වැඩකට යනවා වගෙ අපේ ගේ මැද්දෙන් බරට අඩිය තියල එහා මෙහා යනවා, හිටපු ගමන් තරප්පුව ගිගේ උඩට ගිහිං ආපිට එනවා. ගහ කොළ දිහා බලාගෙන කල්පනා කර කර වගෙ ඉන්නවා. එක දවසක්, ඌ ගේ ළඟම තියෙන උස කරපිංචා ගහ යට තියෙන ගබඩා පෙට්ටිය උඩ ඉඳගෙන ඉන්නකොට, මම උඩ බැල්කනියෙන් අර කරපිංචා ගහට වතුර ටික ටික වැක්කෙරුවා. රංචි හොඳටම බය වෙලා වතුර වැටෙන ගහ පාමුළ බලාගෙන හිටියා. ඌ නිකමටවත් වතුර එන උඩ බැලුවෙ නැහැ. ඇයි එහෙම වෙන්නෙ?
ඔබ හිතයි මේ මොන කතා ද, බළල්ලු ඔහොම තමයි කියල. මම එහෙම හිතන්නෙ නැතුව පොඩි පොඩි වැඩ කරලා රංචි ගෙ බළල් ගතිගුණ නිරීක්ෂණය කෙරුවා. ඇත්තටම ඌ සාමාන්‍ය තත්වයන් තේරුම් ගන්නෙ අමුතු විදිහට. 
දන්නවා ද? දවසක් ඌ ඉන්න හරියට පුංචි කුරුළු පැටවෙක් වැටිලා, වැඩි හිටි කුරුල්ලො කීප දෙනෙක් බෙරිහන් දෙමින් ඒ අවට කැරකෙන කොට තමයි මම දැක්කෙ. රංචි පිස්සියෙක් වගෙ පැනලා, වැටිච්ච කුරුළු පැටියා කටින් අල්ලාගෙන ගේ අනිත් පැත්තට දිව්වා. මම ත් පස්සෙන් දිව්වා. ඌ කුරුළු පැටියා බිම දාලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා, දඩයමක හැඟීමක්වත් ඒ බළල් මුහුණෙ තිබුණේ නැහැ, කොහොම හරි ඒ කුරුළු පැටියා ට ජීවිතය ලැබුණා, දවසක් දෙකක් ගහක් උඩ පරිස්සමට තියලා දරුවා ව අම්මලා ට බාර දෙන්න පුළුවන් වුණා, ඒ වෙන කතාවක්. 
තව දවසක් මම දැක්කා, කොහෙන්ද ගුලක් හාරගෙන මේ ගෙවත්තට පැන ගත්ත මීයො කණ්ඩායමක් එක්ක හරි හරියට වාඩි වෙලා රංචි ත් උන් දිහා කුතුහලයෙන් බලා ඉන්නවා.
හරි! ඒ ඔක්කොම පැත්තක තියමු! මම ඌට, බළල්ලු කන්න කැමතියි කියල සාමාන්‍යයෙන් අපි දන්න එක එක දේවල් දීලා බැලුවා. කිරි, බිස්කට්, පොල්...ම්හු! බලන්නෙවත් නැහැ. හාල් මැස්සෙක් ළඟට කරනකොට පැනල දුවන බළලෙක් ගැන ඔබ දන්නවා ද? රංචි අන්න ඒ ජාතියෙ.
මම නිකමට ඉන්න ගමන් හොයල බැලුවා රංචිගෙ ගෙදර ජීවිතේ. මාර වැඩේ කියන්නෙ, පුංචි ම කාලයෙ ඉඳලා එයා ට දීලා තියෙන්නෙ කෘතීම බළල් කෑම ලු! 
ඒ කියන්නෙ, මේ කෘතීම බළල් කෑම නිසා රංචි ට සාමාන්‍ය බළල් ජීවිතය අහිමි වෙලාවත්ද ? ඒක එහෙම ගත්තොත්, ස්වභාවික ආහාර රටාවෙන් ඈත් වෙලා, වස විස සහිත ආහාර, කෘතීම ආහාර සහ විශේෂයෙන් ම ජාන වෙනස් කරපු ආහාර පාන වලට හුරු කරවන ළමා පරපුර ට ත් රංචිගෙ ප්‍රශ්නය ම එන එක වළක්වන්න බැරි වෙයි! 
එතකොට ළමයා ට ළමයා අහිමි වෙයි, වෙන එකෙක් හැදෙයි. එහෙම නං මේ දැන් මිනිස්සු නොවන මිනිස්සු හැදෙමින් තියෙන්නෙ මෙහෙමවත් ද? 
මාර ම ප්‍රශ්නයක් නෙ මේ රංචි ත් මගෙ ඔළුවට ගෙනත් දැම්මෙ!
'රංචී...!
ඉස්සරහ දොර අද්දර විහිදී පැතිරෙන ඇට්ටේරියා ගහේ හෙවන යට දිගා වෙලා ඉන්න රංචි ට මම ආදරයෙන් කතා කෙරුවා. ම්හු! බර කල්පනාවක...
CHAPA
August 30, 2017 

Monday, August 28, 2017

උඹත් බල්ලෙක් හොඳේ! නිකං නෑ වගේ හිටියට...


ඒ ගිය සතියෙ දවසක්. මම හිටියෙ බත්තරමුල්ලෙ කඩ සාප්පු අද්දරක. 
එක චීන කාන්තාවක්, පොඩි සුදු බල්ලෙක් ඉස්සර කරගෙන පදික වේදිකාව දිගේ කඩිසර ගමනින් ඇවිදගෙන යනවා. ඒ පදික වේදිකාව අයිනෙ කුණු තැවරුණු වල් බල්ලෙක් කටත් ඇරගෙන කොයි පැත්තට ද යන්නෙ කියල බල බලා ඉන්නවා. ඌ අර පිළිවෙළකට ඇවිදගෙන යන බල්ලා දිහා විමසිල්ලෙන් බැලුවා. ''උඹලට නං ඉතිං මොකෝ!'' අන්න එහෙම බැල්මක්. අර බල්ලාගෙ ප්‍රතිචාර බැල්මෙ තිබුණෙ නං ''ඔය උඹලගෙ කරුමෙ!'' වගෙ එකක්. 
එතකොට ම අර කාන්තාව ළඟ සාප්පුවකට ඇතුළුවෙන්න ඕනකම ට ඇයගෙ සුරතලාව අත්දෙකෙන්ම උස්සලා කිහිල්ලෙ ගහ ගත්තා, හරියට අම්මා කෙනෙක් බබාව වඩා ගන්නවා වගෙ. එතකොට ම වල් බල්ලාගෙ හති අරින කට පැත්තකට හැරවිලා  'බුහ්! කියවුණා. 
''ඉරිසියා කරන්න එපා හලෝ! උඹලට ඔහොම වෙලා තියෙන්නෙ ඔන්න ඔය ගතිය නිසා!'' චීන කාන්තාව ගෙ කිහිල්ල අස්සෙන් පාරට දාගෙන තිබුණු බල්ලගෙ බැල්ම එහෙම එකක්.
''අපි යයි චීන්නුත් එක්ක! උඹලාට ජාතියක් ජන්මයක් නැහැ!''
වල් බල්ලගෙ බැල්ම.
''අනේ පව්! උඹලට මෙහම  අවස්ථාවක් ලැබුණොත් නිකං ඉඳියි!''
වල් නැති බල්ලගෙ බැල්ම.
''අනික මම උඹලගෙ එකෙක් නෙවෙයි, මමත් චීනෙක්..අපේ කට්ටිය උඹලව වඩා ගන්නෙ නෑ, උඹලට ඕන නං අපේ කට්ටිය වඩා ගනිල්ලා!''
''වැඩේමයි! බුහුහ්! උඹ කොහේ වුණත් මොනවා හිතාගෙන හිටියත් උඹත් මං වගේම බල්ලෙක්, නිකං නෑ වගෙ හිටියට! බලාපං උඹේ පස්සත් එළියෙ, මගෙ පස්සත් එළියෙ... අන්න ඒ වග දැනගෙන හිටපං!'' 
තම ගමන් දිශාව හදිසියෙ තීරණය කරන වල් බල්ලා, අනිත් බල්ලා දිහා තම අන්තිම බැල්ම හෙළුවා, ඒත් ඒ වුණාට එතකොටත් ඌ අර  සාප්පු දොරෙන් නොපෙනී ගිහිං. 
වල් බල්ලත් ඉතිං ගියා, කොහේ ගියාද මන්දා!
CHAPA, August 29, 2017    


අශ්ව, බූරු, ඔටු, මී - ගොන් මැද, පෙරහැරේ යන අලි!

දිගු කාලයක පටන්, ලංකාවෙ පැවැත්වෙන මහනුවර දළඳා පෙරහැර දක්වා වූ විවිධ පෙරහැර පැවැත්වීමට, අවශ්‍ය අලි ඇතුන් නොමැති වීමේ බරපතළ ගැටළුවක් මතුව තියෙන බව දැන් ප්‍රසිද්ධ ප්‍රවෘත්තියක්! 
මෙහෙම අලි හිඟ වෙන්න බලපාන හේතු අතර, පෙරහැරේ යන අලි හිංසාවට ලක් වෙනවා! කියන චෝදනාව ට පසුබිම් වන සිදුවීම් පෙළකුත් දකින්න ලැබෙනවා. අලි ලියාපදිංචි කිරීම, අලි business, අලි හොරකම් සහ අලි හොරු! වගෙ කෙටි කතා අහන්න දකින්න ලැබෙන්නෙ අන්න ඒ සිදුවීම් අතරෙ තමයි.
මේ සියල්ල මැද අලි ඇතුන් හිංසනය ට ලක්වීම! කියන මාතෘකාව වැදගත්. 
හරියට බැලුවොත් මිනිස්සු බවට පත් වෙමින් 'අපි' වනාන්තරයෙන් එළිය ට ආවාට, අනිත් හැම සතෙක් ම වගෙ අයිති ඒ ස්වාභවික පද්ධතිය ට, ඇත්තටම සිද්ධ වෙන්නෙ අනිත් හැම සතෙක්ම සහ අවසාන වශයෙන් මුළු මිහිතලයම, මිනිස්සු - අපි, අපේ  අණසකට ගන්න ඉතා බරපතළ සහ මෝඩ උත්සාහයක, මේ මොහොතෙ පවා යෙදී ඉන්න එක. ඒ ඓතිහාසික මහා සංවාදය තුළ, අපේ විවිධ උවමනාවන් සඳහා අනිත් සත්තු මරන එක, මරාගෙන කන එක, උන් අපේ වැඩ වලට යොදා ගන්න එක යළි යළිත් අභියෝගය ට ලක් වෙනවා. විවිධ ආගමික කතා සහ හිත හදා ගන්න තවත්බො රු කතා කිව්වාට අපි ඔක්කොම ඒ බරපතළ අපරාධයෙ කොටස් කරුවන්.
ඒ අර්ථයෙන් ලංකාවෙ පෙරහැර සඳහා අලි ඇතුන් යොදා ගැනීම ත් සම්පුර්ණ වරදක්!
ඒත් මේ චෝදනාව එල්ල වෙන්නෙ ඒ අර්ථයෙන් නෙවෙයි, අන්න එතැනයි ප්‍රශ්නය! බලන්න! ලෝකයෙ විවිධ රටවල් වල විශේෂ සතුන් වර්ග කීපයක් ම ප්‍රසිද්ධ මිනිස් උවමනාවන් සඳහා යොදා ගන්නවා. ඒවා සංස්කෘතික ලක්ෂණ විදිහට පවතින සහ පෙනෙන නිසාම අවසන් විග්‍රහයෙදි ආර්ථික කටයුතු වලට ඍජුව ම සම්බන්ධයි. ලංකාවෙ පෙරහැරටත් මේ න්‍යාය අදාළයි. දැන් එතකොට, එංගලන්තයෙ අශ්ව කතා, ස්පාංඥයෙ ගොන් කතා, අරාබියෙ ඔටු කතා, ඉන්දියාවෙ ගොන් කතා, අප්‍රිකාවෙ අලි කතා...මේ සියල්ල ලෝක සංස්කෘතික උරුම බවට පත් කරන්න යෝජනා කරමින් ලංකාවෙ පෙරහැරේ යන අලි ඇත්තු ගැන මෙහෙම ''හදිසි ලෝක අනුකම්පාව'' ක් ඇති වෙන්නෙ ඇයි? 
මේ ප්‍රශ්නය ඉතාමත්ම දේශපාලනිකයි!
ලංකාවෙ ආර්ථිකය, ප්‍රධාන වශයෙන් ම පදනම් වෙන්නෙ කෘෂිකර්මාන්තයට. ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි කියන සංස්කෘතික - ආර්ථික සුත්‍රය හරියට ම හරි! මහින්දාගමනය ත් එක්ක, එතෙක් පැවති හෙළ ගොවිකම ට විශාල බුද්ධිමය ආලෝකයක් ලැබෙනවා. එය හරියටම ගත්තොත්, මේ රටේ දේශපාලන පුනරුදයක්. අද වෙනකොට වේගයෙන් දියවෙමින් තියෙන්නෙ රටේ අන්න ඒ ඓතිහාසික අනන්‍යතාව. දකුණු ඉන්දියානු ආක්‍රමණ, පසුව පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ ඉදිරියෙ සම්පුර්ණයෙන් පාහේ දුර්වල වන ඒ ස්වදේශීය ශක්තිය, 1930 ගණන්මේ වන විට සිංහල, දෙමළ, මුස්ලිම් සහ තවත් ජාතීන් විදිහට ත් බෙදිලා මේ වනවිට, ඊනියා ජාත්‍යන්තර මර උගුලක ට අහුවෙලා තියෙනවා. 
දළඳා පෙරහැර ප්‍රමුඛ පෙරහැර සංස්කෘතිය ප්‍රතික්ෂේපිත තැනකට තල්ලු කෙරෙන්නෙ මේ සන්දර්භය තුළ. ඒ කියන්නෙ ලාංකේය සංස්කෘතිය තව දුරටත් මරා දමමින් ම අදාළ ආර්ථික ඝාතන ක්‍රියාවලිය දිගටම ඉස්සරහට යනවා කියන එක. 
ඒ ගෝලීය පරිමාණ ප්‍රබල දේශපාලන මෙහෙයුමක්!
මේ දේශපාලන සංවාදය ගොඩ නගාගන්න අපට බැරි වෙලා තියෙනවා විතරක් නෙවෙයි, දැන සහ නොදැන, සිංහල බෞද්ධ ලේ ගැන කියමින් සහ මෙය හුදු ජාතික - ආගමික ප්‍රශ්නයක් කරමින් අපේ සමහර කණ්ඩායම් හැසිරෙන මෝඩ ආකාරයෙන් ම, ඒ මහා දේශපාලන - වෙළෙඳ මෙහෙයුම ශක්තිමත් වෙමින් තියෙනවා!
අශ්ව, බූරු, ඔටු, මී - ගොන් මැද, පෙරහැරේ යන අලි! සමඟ අපි ඉතිං දැන් මොකද කරන්නෙ?
CHAPA 
August 28, 2017  


Monday, August 21, 2017

                                                මම මේ රටේ බදු ගෙවන අභිමානවත් පුරවැසියෙක්?

''මමත් හොය හොයා හිටියෙ ඔබ වගෙ කෙනෙක් තමයි...''
මැදි වයසෙ ව්‍යාපාරිකයා කතාව පටන් ගත්තා.
''ඔබ තුමා කරන්නෙ සමාජය බල ගන්වන එකනෙ...ඒක තමයි අපි කරන්න ඕනෙ...මට මෙයා කිව්වා ඔබ තුමා කරගෙන යන වැඩ ගැන, ඇත්තටම මම පැහැදුනා...''
ඔහු ඔය 'මෙයා' කියන්නෙ මෑතක දි මම දැන හැඳින ගත්ත තවත් පුද්ගලයෙකු ට.
''අපි මේ රටේ ජනතාවට කියල දෙන්න ඕනෙ..බදු ගැන...''
''ඒක හොඳ අදහසක්...''
මම ඔහුට ප්‍රතිචාර දක්වනවා.
''ඔන්න හොඳ ව්‍යාපෘතියක් තියෙනවා...මට ඒක ටක් ගාලා ගන්න පුළුවන්...''
ඔහුගෙ හඬ ප්‍රේමනීයයි, මුහුණට ආලෝකයක් එන්නත් පටන් අරන්.
''අපි ජනතාව දැනුවත් කරන්න ඕනෙ...බදු ගෙවනවා කියන්නෙ අභිමානයක් කියලා...''
''ඒ කියන්නෙ?''
ප්‍රශ්නය මගෙන්!
''මම මේ රටේ බදු ගෙවන අභිමානවත් පුරවැසියෙක්! කියල හැමෝටම හිතෙන්න ඕනෙ...දැන් ඒක නිකං වදයක් හැටියටනෙ පේන්නෙ...''
''මට තේරෙන්නෙ නැහැ...''
''ආණ්ඩුව දැන් ඔය ප්‍රොජෙක්ට් එකට සල්ලි වෙන් කරලා තියෙන්නෙ...මට ඒක ගන්න පුළුවන්..ප්‍රොපොසල් එක දාන්න විතරයි තියෙන්නෙ...අපිට තියෙන්නෙ...ජනතාවට ඒ හැඟීම දෙන්න...''
ඔහු උනන්දුවෙන් කියාගෙන යනවා.
''මේ දේශපාලකයන්ට සුර සැප විඳින්න...උන්ගෙ ගෝල බාලයන්ට හොරකං කරන්න...තව තව බදු ගෙවල අභිමානයෙන් ඉන්න මහජනතාවට උගන්වනවා!''
මම පෙරළා ඇහුවා. ඇහුව කිව්වට කිව්වා.
''ඒ කියන්නෙ...ඒක උගන්වන්නෙත් උන්ගේම බදු සල්ලි වලින් ව්‍යාපෘති හදලා..?''
තවත් ප්‍රශ්නයක්, ප්‍රශ්නයක් කිව්වට මම නිකං කියනවා.ඔහු කට ඇරගෙන බලාගෙන ඉන්නවා.
''ජනතාවට උගන්වන්න ඕනෙ...බදු සල්ලි වලින් පිස්සු කෙළින...ඒවා නාස්තිකරන...හොරකං කරන ආණ්ඩුවට ගල් ගහන්න..මේ රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහි වෙන්න!''
මම උස් හඬින් කියාගෙන යනවා.
''ඔව්! හරි!..අපිට අන්න එකත් අපේ ප්‍රොපොසල් එකට ඉන්ක්ලුඩ් කරන්න පුළුවන්...''
ඔහු එක පාරටම පණ ගහලා ආවා.
''අපි අපේ ප්‍රොජෙක්ට් රිපෝර්ට් එකේ කියනවා...ජනතාව අන්න එහෙම හිතනවා කියලා...අපි දාන්නෙ ඒක අපි සමීක්ෂණයකින් හොයා ගන්නවා වගෙ එකක්!''
''ජනතා මතය!''
''අන්න හරි!''
''තෝ මගෙන් මැරුං නොකා පල මෙතනින්!''
ඔය අන්තිම වාක්‍ය මට කියන්න ඕන වුණත්, ඔය වගෙ කතා කියන්න එපා කියල fb මිත්‍රයන්ටත් නිතර කියන එකේ, මම නිකං බිම බලාගෙන ආපහු ආවා!
CHAPA
August 22, 2017