Tuesday, September 27, 2016


එන්න! අපි හොයමු!!

දේශපාලනය කියන්නෙ දැනුම, දැනුම යළි සංවාදයක්! සංවාදය කියන්නෙ එතකොට දැනුම නිසා, දැනුම වර්ධනය කරගන්නෙ නැතුව සංවාදය වර්ධනය වෙන්නෙ නැහැ! ඊළඟට දේශපාලනය කියන්නෙ දැනුම පදනම් කරගත්ත අඛණ්ඩ ක්‍රියාවලියක්!!
දශකයකට වැඩි කාලයක් 'මම' පුද්ගලිකත්වය ක්‍රියාවලියක් විදිහට හඳුනගෙන දේශපාලන සංවාදයක් ගොඩනගන්න උත්සහ ගනිමින් ඉන්නව. විවිධ මාධ්‍ය අත්දැකීම් සමග අන්තිමට 2001දි 'නිදහස්' මාධ්‍ය ක්‍රියාකාරකම් පටන් ගන්නෙත් අන්න ඒ අරුතින්. දශකයකට වැඩි කාලයක් 'නිදහස්' අපි කණ්ඩායමක් විදිහට රට වටේ විවිධ ක්‍රියාකාරකම් කෙරුව, විවිධ තැන්වලට සම්බන්ධ වුණා, විවිධ සිදුවීම්වලට මැදිහත් වුණා ( යොමුව ' කුඹි' කෘතිය ). දැනටමත් අපි අත්විඳිමින් ඉන්න ජනප්‍රිය වෙළෙඳපොළ මාධ්‍ය භාවිතය වෙනස් අත්දැකීමක් බවට පත් කරන්නයි අපිට ඕන වුණෙ. ප්‍රග්ධනයෙන් නිදහස් වුණු එය, පර්යේෂණාත්මක ක්‍රියාවලියක්. 'නිදහස්' වැඩබිම්වල සටන් බිම්වල ප්‍රකාශන මාධ්‍යයක්!
ඒත් 2010 - 2011 වෙනකොට, ඉතිං තවත් එතනින් එහාට යන්න බැරි බව අකමැත්තෙන් වුණත් අපිට තේරුම් ගන්න සිද්ධ වුණා, එකම සහ මුලික ප්‍රශ්නය වුණෙ ආර්ථික අභියෝගය. ඒ වෙනකොට අපි, අපේ දේශපාලන ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්න අවශ්‍ය මුලික අදායම හොයාගත්තෙ පත්තර සහ වෙනත් 'නිදහස්' ප්‍රකාශන විකිණීමෙන්, වරින් වර තෝරාගත් සීමාවන් ඇතුළෙ, වාර්තා වැඩසටහන් සහ වාණිජ කලාව සමග වෙළඳ ප්‍රචාරණ නිර්මාණකරණයට ත් සම්බන්ධ වෙන්න උත්සහ කෙරුව. ප්‍රචාරණ දැන්වීමක් දෙකක් හොයාගත්ත වෙලාවලුත් ඔය අතර ඉඳ හිට තිබුණ.
ජනප්‍රිය මාධ්‍ය වෙළෙඳ පොළ ට එරෙහිව ගොඩ නගන්න උත්සාහ කෙරුණු, 'විකුණන්නෙ ත් නැති - විකිණෙන්නෙ ත් නැති! 'නිදහස්' වටා සීමිත පිරිසක් එකතු වුණත්, ලොකු ජන බලයක් නං ඒ දශකයටම ගොඩ නැගුණෙ නැහැ. හේතුව අපි 'නිදහස්' වීම. අපිට ඔය එළියෙ දකින්න ලැබෙන විවිධ දේශපාලන ක්‍රියාකාරකම්, එක්කො දේශපාලන පක්ෂයකට සම්බන්ධයි, නැත්තං NGO එකකට සම්බන්ධයි. එහෙමත් නැත්තං ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් දියත්වන ව්‍යපෘති. X කණ්ඩායම වගෙ අධ්‍යන කව එදවස ඒ අතර වෙනම හැදුණත් ඒවා දිගට පැවතුණෙ නැහැ.
එදා මෙදා තුර කාලයෙදී, මට ( අපිට!) විවිධ ප්‍රකට සහ අප්‍රකට පුද්ගලයන්, දේශපාලන ක්‍රියාකාරිකයන් - උගතුන් - බුද්ධිමතුන් - කලා කරුවන් - පුජක වරුන් ලෙස පෙනී සිටින්නන්...මුණ ගැහුණ, සිය දහස් ගණනින්! අදාළ ක්‍රියාකාරකම් ගත්තත් සිය දහස් ගණනක්!
මිනිස්සු! ඔව්! හැමතැනම මිනිස්සු!!!
මිනිස්සු ( අපි?)  වෙන වෙනම ආකෘතිගත වෙලා ඉන්නෙ, අපි කවුද? අපිට මොනවද ඕනෙ? ඒ ප්‍රශ්න තවමත් විවෘත සංවාදය ක් !
fb සහ තවත් සමාජ මාධ්‍ය අහු මුළු අතරෙ සැරිසරන මම මේ සටහන තියන්නෙ, මේ අවකාශය පරිහරණය කරන මිලියන ගණනක 'මිනිස්සු' ඇත්තටම මොනවද හොයන්නෙ (?!) කියල හිතෙන නිසා. සමහරු business වැඩ, සමහරු business මුවාවෙන් කරන ජාවාරම් - රැවටීම්, සමහරු පක්ෂවලට බෙදිල  එකිනෙකාට බැණ ගන්නව, සමහරු සමහරුන්ට මඩගහනව - චරිත ඝාතනය කරනව, සමහරු කුණුහරුප ලියල ලියල විනෝද වෙනව...ඔය අතරෙ යහපත් දේ හොයන සහ යහපත් දේ වෙනුවෙන් පෙනී හිටින යහපත් පිරිසකුත් මුණ ගැහෙනව, ඒත් අඩුම අඩු ප්‍රතිශතයක්.
මේ තමයි ලාංකේය සමාජයෙ වර්තමාන පොදු හැඩය. තව විදිහකට ගත්තොත්, මේ සමාජ මාධ්‍ය අවකාශයෙ හැසිරීම, එය නියෝජනය කරන පොදු සමාජයෙ නිදර්ශකයක් වගෙ, මම දිගටම කල්පනා කරනව, තව දුරටත් හොයනවා, ඔබත් පටන් ගන්න!
එන්න! අපි හොයමු!!
CHAPA           

No comments:

Post a Comment