Tuesday, November 8, 2016

   මොකද්ද වැරැද්ද ?

මේ ලෝකයෙ කවුරුවත් සර්ව සම්පුර්ණ නැහැ!
දේශපාලනඥයන් ගත්තත් ලෝකය පුරාම අඩු වැඩි වශයෙන් තත්වය ඕකයි. පවතින ධනේශ්වර ලෝකය තුළ කොහොමත් මානව හැඩය ගැන බරපතළ ප්‍රශ්නයක් තියෙනව, ඒ නිසාම තමයි 'දේශපාලනය' කියන තව දුරටත් ශිෂ්ටාචාරගත වීමේ අවකාශය එන්න එන්නම  හැකිළෙමින් තියෙන්නෙ. කොහොම වුණත්, එදා මෙදා තුර කාලයෙ, රටක දේශපාලනය බොහෝ විට රඳා පවතින්නෙ පුද්ගල සාධක මත බව පැහැදිලි යි. ඒ ඒ 'පුද්ගල පෞර්ෂයන්' හරහා තමයි එතකොට 'බලවේග' තුළ අනෙක් දේවල් තීරණය වෙලා තියෙන්නෙ.
ලංකාවෙ දේශපාලනයට අදාළ, මහින්ද රාජපක්ෂ කියන දේශපාලන සාධකය පරීක්ෂාවට ලක් කරන්න වෙන්නෙත් මෙන්න මේ ඓතිහාසික සන්දර්භය තුළ තමයි.
පොදු තත්වය එසේම තිබියදි, 70 දශකයෙන් පස්සෙ ( සාකච්ඡාවෙ පහසුව සඳහා 1970 දශකයෙන් පටන් ගන්නව! ) එක පෙළට රටේ රාජ්‍ය නායකයන් බවට පත්වුණු JR ජයවර්ධන, R ප්‍රේමදාස, ( DB විජේතුංග), චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ කියන පුද්ගල පෞර්ෂයන් ඒ ඒ මොහොතට අදාළව ජනතා ආකර්ෂණය දිනාගත්ත. මෛත්‍රීපාල සිරිසේන කියන පුද්ගල සාධකයට අවසන් ජනාධිපතිවරණයෙදි සාපේක්ෂ ජන ආකර්ෂණයක් ඇත්තටම තිබුණෙ නැහැ. එය ලංකාවෙ Regime Change සඳහා වූ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් නිසා පුද්ගල සාධක වලට වඩා එතැනදි බලපෑවෙ වෙනත් තාක්ෂණික සාධක.

අපි දැන් යළි මහින්ද ට හැරෙමු!

චන්ද්‍රිකාගෙන් මහින්දට බලය මාරුවන අවස්ථාව වෙනකොට, චන්ද්‍රිකාගෙ ජනප්‍රියත්වය බිංදුවට ම බැහැල තිබුණෙ. මහින්දට විශාල ජනප්‍රසාදයක් ලැබෙමින් තිබුණ. ඒ ආරම්භය ම තමයි ලංකා රාජ්‍ය වෙනුවෙන් යුද්ධය ජයග්‍රහණය කරන්න හේතුවෙන්න. එහෙම නං ඇයි ඔහු, අකල් ජනාධිපතිවරණයක් තියල ඉල්ලගෙන පරාජය වෙන්නෙ? ඊළඟට ඒ 'වැරදීම' ට බලපාන පෙර සාධක කොහොමද රටට බලපෑවෙ - බලපාන්නෙ?

මේ නිරීක්ෂණ පෙළ ඔබේ අවධානය ට;

1. ඥාති සංග්‍රහය - දේශපාලන කටයුතු වලට ඍජුව සම්බන්ධවුණු තම සමීපතමයන්ගෙ සිට දුර ඥාතීන් දක්වා නොවිධිමත් ලෙස නිර්මාණය වන ඥාති කල්ලිය කළමනාකරණය කරගන්න ඔහුට බැරි වෙනව. නාමල් රාජපක්ෂ නායකත්වය දුන් 'නිල බලකාය' ගත්තත් එමගින් මහින්ද රාජපක්ෂ පාලනයට විශාල අගතියක් සිද්ධ වුණු බව පැහැදිලියි, ඒ අර Night Race උන්මාදයට අමතරව. ඒ හරහා දුෂණ, වංචා සහ අක්‍රමිකතා වර්ධනය වෙන්න ගන්නව වගෙම, එමඟින් යටිපෙළ දේශපාලන විකෘතියක් ඇතිවෙනව. එතකොට, මහින්ද රාජපක්ෂ ප්‍රතිරූපය ට ක්‍රමානුකුල හානියක් ඇතිවෙනව. ඔහුගෙ දේශපාලන පැවැත්ම අවුල් වෙනව.

2. මැති ඇමතිවරුන්ගෙ වැරදි ධෛර්යමත් කිරීම - දුෂණ, වංචා, අක්‍රමිකතා සහ මැරකම් වල ප්‍රසිද්ධියෙ නියැලුණු මැති ඇමතිවරුන් ධර්යමත් කිරීම මගින් ඔහු, රටට වගෙම තමන්ටත් විශාල වැරද්දක් කරගත්ත, මර්වින් සිල්වා එක උදාහරණයක්.

3. තනතුරු නුසුදුස්සන් ට - මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, තම ආණ්ඩුවෙ තීරණාත්මක තනතුරු පවා බොහෝ විට ලබා දුන්නෙ විවිධ චෝදනා ලැබූ පුද්ගලයන්ට. පිරමීඩ මුල්‍ය ජාවාරමට චෝදනා ලබා, පරීක්ෂණ වලට මුහුණ දෙමින් සිටි අජිත් නිවාඩ් කබ්රාල්, මහා බැංකු අධිපති කරවීම එක හොඳ උදාහරණයක්. විවිධ දුෂිත සිද්ධීන්වලට චෝදනා ලෑබූ ලක්ෂ්මන් හුළුගල්ලේ ආරක්ෂක අමාත්‍යංශයෙ මාධ්‍ය ප්‍රකාශකයා කරවීමත් තව උදාහරණයක්. මේ නිසාම රටට වැඩ කරන දක්ෂ නිලධාරීන් පිරිසක් නිර්මාණය කරගන්න ඔහුට තිබුණු අවස්ථාව ගිලිහෙනව.

4.  නුසුදුසු උපදේශකයන් - මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට විවිධ විෂයයන් සඳහා උපදෙස් දෙන්න හිටපු බොහෝ පුද්ගලයන් නුසුදුසු අය. 'අනාගත ඉරණම' ගැන උපදෙස් දීපු නක්ෂත්‍ර කරුවන් එකම උදාහරණය නෙවෙයි. ඔහු වටේ හොර උපදේශකවරු නඩයක් ම හිටිය. අමාත්‍යංශ - දෙපාර්තමේන්තු මට්ටමෙන් ගත්තත් උදාහරණ ඕන තරම්.

5.  නීතිය නොසලකා හැරීම - ඔහු, ඔය ඉහත වට පිටාව තුළ නීතියෙ ආධිපත්‍ය නොසලකා හරිනව, එතකොට සමාජ යුක්තිය ගිලිහෙනව. අන්න! සමාජ බලය ඔහුට අහිමි වෙන්න පටන් ගන්නව. අපරාධ වැඩිවෙන්නත්, අපරාධවල ස්වභාවය තව දරුණු වෙන්නත් මේ තත්වයන් අනිවාර්යයෙන්ම බලපෑව වගෙම නීතිය පිළිබඳ ජනතා විශ්වාසය තව අඩු වෙන්නත් ඔය වට පිටාව හේතු වුණා. නීතියෙ ආධිපත්‍ය සහ රාජ්‍ය පාලනය යන්නෙ එකට බව ඔහු අමතක කරනව. ශිරාණි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරිය සහ එවකට ජෙනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධ සිදුවීම් වලදි ඊට වඩා බුද්ධිමත් වෙන්න බැරිවුණෙ ඒ අනවබෝධය නිසයි.

6.  යුද ජයග්‍රහණය නිවැරදිව වටහා නොගැනීම - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හොඳ මට්ටමක සුසංයෝගයක් තිබුණත්, යුද ජයග්‍රහණය මානවවාදී ආකාරයෙන් කියවගන්න ඔවුන් දෙදෙනාම අපොහොසත් වෙනව. එහෙම නොවුණා නං අර විදිහට මහ පාරෙ  කිරිබත් උයල කනවා වෙනුවට එතැන් සිට ඉස්සරහට රට යන හැටි ගැන, රට තුළ බුද්ධිමත් සංවාදයක් ගොඩනගන්න නායකත්වය දෙන්න තිබුණ. මේ අසමත් භාවය තමයි දෙමළ ඩයස්පෝරාව ප්‍රයෝජනයට ගන්නෙ, එක්සත් ජාතීන්ගෙ සහ එහි රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත් වීමට ඉඩ හදන්නෙ.
           
7.  මිලිටරිකරණය - යුද්ධයත් එක්කම වගෙ ලාංකේය සමාජය මිලිටරිකරණය කරන්න ගත්ත. විදුහල්පතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට, විශ්වවිද්‍යාලයට ඇතුළු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හමුදා පුහුණුවක් දෙන්න පියවර ගැනීම ම ලොකු සමාජ අර්බුදයක් නිර්මාණය කෙරුව. ලංකාව මිලිටරි ආණ්ඩුවකට මාරුවෙන්න යන්නෙ! වගෙ අදහසක් පෙන්වීම ම ලංකාවට එරෙහි, ඊනියා ජාත්‍යන්තරයෙ  කුමන්ත්‍රණය බලගන්වන්න පටන් ගත්ත. එහෙම නොකර, සන්නද්ධ හමුදා, රටේ සංවර්ධනයට යොදාගන්න එදා පටන් ගත්ත පර්යේෂණාත්මක ක්‍රමය වැඩි දියුණු කරන්න මහින්ද අපොහොසත් වෙනව.

8.  ආර්ථික සැලැස්මක් නොමැති වීම - යුද්ධය අවසන් කරන්න සාර්ථක සැලසුම් හැදුවට, රටේ සංවර්ධනය ගැන කෙටිකාලීන සහ දිගු කාලීන සැලැස්මක් හදන්න ඔහුගෙ නායකත්වයට බැරිවෙනව. ඒ නිසාම, එතෙක් ක්‍රියාත්මක වෙමින් තිබුණු, ලෝක බැංකුවෙ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ සහ එක්සත් ජාතීන් ට සම්බන්ධ තවත් ඒජන්සි වල උපදෙස් වලට අනුකුල ආර්ථික න්‍යාය පත්‍රයම ඉස්සරහට ගෙනියන්න ඔහු පෙළඹෙනව. කොන්දේසිවලට යටත් වෙමින් තව තව ණය ලබාගන්නව. ඒ ණයත් දුෂණ, වංචා සහ අක්‍රමිකතා හරහා එකිනෙකාට කොල්ල කන්න සලස්වනව. ඔහුගෙ පාලන කාලය තුළ විකිණිල්ලෙ වේගය අඩු වුණත්, රාජ්‍ය ව්‍යවසායන් නොසලකා හැරෙනව. එමගින් සමාජ සුභ සාධනය හීන වෙන්න ගන්නව.
Mega ව්‍යපෘති කෙරෙහි අවධානය යොමු කරන අතරෙ, ඒවායෙ අන්තර්ගතය සහ ප්‍රතිඵල ගැන නිවැරදි තක්සේරුවක් නැති වෙනව. සුළු, මධ්‍යම සහ මහ - දේශීය ව්‍යාපාරික ප්‍රජාවක් ගොඩ නැගීම අත්‍යවශ්‍යව තියෙද්දි ත් ඒ සඳහා මැදිහත් වෙන්න බැරි වෙනව. කෘෂි කර්මාන්තය නොසලකා ම හැරෙනව. 'ගෙවතු වගා' වගෙ මාධ්‍ය සංදර්ශන වෙනුවට, රසායනික යෙදවුම් අවම, ජාතික මට්ටමේ කෘෂි ආර්ථික වැඩපිළිවෙළක් හදා ගන්න අසමත්වෙනව.
රටේ ආර්ථිකය ගොඩගන්න බැරිවුණු බරපතළම ප්‍රශ්නය වුණෙ, රාජ්‍ය වියදම් නාස්තිය. පාර්ලිමේන්තුව නඩත්තු කිරීමේ සිට දේශපාලන නියෝජිතයන්ගෙ විදේශ ගමන් දක්වා, දිගට හරහට ජනතා මුදල් වියදම් කිරීම පාලනය නොකිරීම මහින්ද ගෙ ලොකු දුර්වල කමක්.

9.  සංවර්ධනය කියන්නෙ මොකද්ද? - අවසාන වශයෙන්, රටේ සංවර්ධන දිශානතිය හොයාගන්න ඔහු අසමත් වෙනව.ස්වභාව ධර්මයට බරපතළ හානි ගෙන එන උමා ඔය සහ සාගර නගරය මහා ව්‍යපෘති අපට පෙන්වා දෙන්නෙ අන්න ඒ අසමත් භාවය. ඊළඟට, යළි පදිංචි කරවීමෙ වැඩසටහනක් ලෙස, විල්පත්තුව සහ කල් ආරු වනාන්තර විනාශ කිරීම කොච්චර අපරාධයක් ද? සංවර්ධනය කියන්නෙ මොකද්ද කියන ප්‍රබුද්ධ සංවාදය, ඔහුට ඕන නං සාර්ථක විදිහට ලංකාව ට ආදේශ කරන්න තිබුණ.
  
10. මැතිවරණ විකාරය - මහින්ද, මොකක් හරි තමන් පමණක් දන්න හේතුවක් මත අකල් ජනාධිපතිවරණය පවත්වනව විතරක් නෙවෙයි, අධි තක්සේරුවකින් එය විකාරයක් බවට පත් කරගන්නව. සලමන් ඛාන් ලා තම වේදිකාවට නංවා ගන්නෙ, අර මෛත්‍රී වගෙ පෙනුමක් හදා ගත්ත මෝඩ විහිළු කාරයගෙ කරට අත දා ගන්නෙ අන්න ඒ විකාරය ඇතුළෙ. ඔය ඉහත දක්වන කරුණු කෙසේ වෙතත්, ඒ මුල් මැතිවරණයට කිට්ටු, මේ අන්තිම දවස් ගතකරපු විදිහත් එක්ක නං මහින්ද සැහෙන්න ඡන්ද අඩු කර ගත්ත, අපරාදෙ!

කොහොම වුණත්, රාජපක්ෂ පාලනය බිඳ වැටෙන්නෙ, මේ අඩුපාඩුකම් නිසා හැදෙන 'දුර්වල මොහොත' තුළ ක්‍රියාත්මකවන ඉතා සංවිධානාත්මක කුමන්ත්‍රණයකින්!

CHAPA


No comments:

Post a Comment