Monday, March 20, 2017

   චේ වෙනුවට fb චේලා...

චේ වෙනුවට fb චේලා...

චේ ගුවාරා, අද ලෝකය පුරාමත් ඉතා ජනප්‍රිය රූපකයක්. ඔහු මෙහෙම ජනපිය වෙන්නෙ, ඔහුගෙ දේශපාලනය ට වඩා වෙනස් දේශපාලනයක් සඳහා. කොටින්ම, ඒ, ඔහු එරෙහි වූ ධනේශ්වරය(?) තුළ සහ තමනුත් එහි ගොදුරක් බව නොදන්නා පිරිස් අතර, විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් තුළ.
ආජෙන්ටිනාව, කියුබාව සහ බොලීවියාව අතර සමස්ත ලතින් ඇමරිකානු වාම දේශපාලන ස්ථාවරයක් වෙනුවෙන් සහ එතැනින් එහාට අනාගත වාම දේශපාලන ජාත්‍යන්තරයක් සඳහා සිහින මවන චේ, ඔහුගෙ සිහිනය මරා දාන දේශපාලනය විසින්, එසැණින් අයිතිකරගන්න හැටි ඉතා සියුම්. චේගෙ ආකර්ශනීය රුව සටහන් වූ ටී ෂර්ට්ස්, තොප්පි සහ වෙනත් බඩු භාණ්ඩ ජනප්‍රිය වෙළෙඳ පොළ ඉල්ලුමක් බවට පත්වෙන්නෙ එහෙමයි. ඔහු වෙනුවෙන් හැදෙන චිත්‍රපට, වාර්තා වැඩ සටහන්, වේදිකා නාට්‍ය, ගීත...මේ සියල්ලමත් අතර චේ දුක්බර විදිහට විකිණෙනවා.
ඒ අතර චේ කියන්නෙ නළුවෙක් වෙන්න ඇති කියලා හිතන අයත්, ලෝකයෙ තැන තැන ඉන්න බව පේනවා.
මේ වනවිට fb ඇතුළු සමාජ මාධ්‍ය ජාලා තුළ, තම තමන්ගෙ අනන්‍යතාව සඳහා චේ රුව යොදාගන්නා පුද්ගලයන් සහ කණ්ඩායම් සෑහෙන්න ඉන්නවා, මේ ලංකාවෙත්. ඔවුන් ලියන කියන දේවල් හරහා තහවුරු වෙන්නෙම, ඒ අති බහුතරය, චේ කියන දේශපාලන සාධකය ගැන කිසිදු පැහැදිලි කියවීමක නැහැ කියන එක.
'චේ' ට පෙර සහ පසු ලෝක දේශපාලන චලනයන් පිළිබඳ දේශපාලන හැදෑරීමක් නැති නිසාම, මේ චේ රුව සමඟ ඔවුන් කොහේදෝ තැනක අතරමං වෙනවා.
එයින්, ලෝක දේශපාලන ඉතිහාසය තුළ, සමාජවාදය, විද්‍යාත්මක සමාජවාදය, මාක්ස්වාදය, ප්‍රජාතන්ත්‍රවාදය සමඟ 'රාජ්‍ය' සහ රාජ්‍ය අභිබවා යන ධනේශ්වරයෙ නුතන තත්වයන් එකෙනෙක අභිමුඛ වෙන හැටි න්‍යායිකව විශ්ලේෂණය කරගන්න අවශ්‍ය දේශපාලන සංවාදය, ආපිට ගොඩනොනැගෙන්නම මගහැරෙනවා.
ලංකාවෙ, එන්එම් ලා ගෙ සිට වාසුලා - බාහුලා දක්වාත් වරෙක උමා මහේෂ්වරන් ලා - විජේවීර ලා දක්වාත්, මාක්ස් - එංගල්ස්, ලෙනින්, මාඕ...එකට පටලැවිලා, ලාංකේය දේශපාලන ඉතිහාසය විකෘතියක් වෙන්නෙත් අන්න එහෙම තමයි.
මේ සටහන මෙහෙම තිව්වට, මේ හරහා හෝ පුළුල් දේශපාලන සංවාදයක් ගොඩනගාගන්න පුළුවන් වෙන්නෙ නැහැ, මේ සටහන ඉතිං නිකමට ඉතිහාසය වෙනුවෙන්!
CHAPA
2017 මාර්තු 20      

No comments:

Post a Comment