Thursday, April 6, 2017

විරුද්ධ මත?!

ඕනෑම කෙනෙකුට , ඕනෑම මතයක් දරන්න පුළුවන්!
ඕනෑම කෙනෙකුට, විරුද්ධ මතයක් දරන්න අයිතියක් තියෙනවා!
ඇත්ත!
ප්‍රජාතන්ත්‍රවාදය තුළ සහතික කෙරෙන එක මූලික කොන්දේසියක්නෙ ඒ.
පැරණි සෝවියට් දේශයේ සිට, පැරණි චීනයේ සිට...තවමත් පවතින කිවුබාව හරහා උතුරු කොරියාව දක්වා වූ, වමේ ( ? ) කඳවුර තුළ- රටවල භාවිතයට ගත්තෙ සහ ගනිමින් තියෙන්නෙ ඊට වෙනස් කොන්දේසියක්. ඒ ඒ රටවල පැවැත්මට හානිවන සහ පවතින පාලන යාන්ත්‍රණය විවේචනය කෙරෙන කිසිදු මතයක් ඒ ඒ රටවල කිසිදු වැසියෙකුට දරන්න හෝ ප්‍රකාශයට පත් කරන්න බැහැ. ඒ කොන්දේසිය පැනවෙන්නෙ, ඒ ඒ රටවල ආරක්ෂාවට සහ පැවැත්මට. ඒ ඒ රටවල, පක්ෂ පවත්වාගෙන ගිය සහ යන දේශපාලන විනය, ලංකාවෙ, ජවිපෙ වගෙ පක්ෂයක් තුළ පවත්වාගෙන යන දේශපාලන විනයට සමානයි.
ඔවුන් විශ්වාස කරන්නෙ, අපි, පොදු ජනතාවගෙ යහපත වෙනුවෙන් වැඩ කරනවා! ඒ නිසා අපි ඒ වෙනුවෙන් පවතිනවා! ඒ පැවැත්ම අන් කිසිවෙකුටත් බිඳින්න කිසිසේත්ම ඉඩ දෙන්නෙ නැහැ! කියන එක. ඒ ඒ පක්ෂ වෙනුවෙන් උපරිම කැපවීම් කරපු සාමාජිකයෙක් වුණත්, අදාළ විනය කඩන බවට තීරණය කෙරෙන මුල්ම තැන සිට 'ද්‍රෝහියෙක්' බවට පත්වෙනවා. එය එවැන්නෙකුගෙ මාරාන්තික අවසානයක්!
එක අතකට, ඔවුන්ට අනුව එය අවංක විශ්වාසයක් වෙන්නත් පුළුවන්.
එතකොට, ඒ වමේ පුරුද්ද, දැඩි ලෙස විවේචනය කරන දකුණේ කඳවුර කියා හිටින්නෙ, අපි භාෂණයේ නිදහස උපරිම මට්ටමෙන් සහතික කරනවා, ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දරන්න සහ විශේෂයෙන්ම විරුද්ධ මත දරන්න අයිතියක් තියෙනවා කියලා.
එතකොට, බැලූ බැල්මටම පේන්නෙ, දකුණේ කඳවුර වඩා නිදහස් කියලා!
ඒත්, මෙතැන මාර ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙකුට ඕන මතයක් දරන්න පුළුවන්, ඒක හරි! ඒත් ඒකෙන් මොකද්ද සිද්ධ වෙන්න පුළුවන්. අදාළ පුද්ගලයාට සතුටක් දැනෙනවා! ඊට පස්සෙ? එච්චරයි!
මේ ක්‍රමය, ඕනෑම තක්කඩි කමක් වහගන්න යොදාගන්නත් පුළුවන්. ''මේ මගෙ මතය, ඔය ඔබේ මතය!'' මාර ලිබරල් ගතියකුත් මතු වෙනවා! කෙනෙකුට ඕන දෙයක් විවේචනය කරන්න ඇරලා, ඕනෑම මතයක් ප්‍රකාශයට පත් කරන්න ඇරලා නිකං ඉන්නවා හෝ අනෙකා, තමන්ට ඕන දේ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය තුළ, මේ නිසාම් බරපතළ අයහපත් තත්වයන් මතු වෙනවා. ලෝකය පුරාම එහෙමයි. ඒ නිසාම ලංකාවෙත් එහෙමයි.
ඔය අස්සෙ, මොකුත්ම දන්නෙ නැති කෙනෙකුට, නොදන්නාකම වහගන්නත් මේ ක්‍රමයට පුළුවන්. ''ඔය ඔබ හිතන විදිහ, මේ මම හිතන විදිහ!'' කියලා නිකං ඉන්නවා. ''හරි හරි! ඔයා හරි, අපි වැරදියි, ඔයානෙ සේරම දන්නෙ!!' කියලා, ඕන නං පොඩි මඩ පාරකුත් ගහලම යනවා. මේ සමාජ මාධ්‍ය ජාලා අතර එහෙම ප්‍රජාතන්ත්‍රවාදී පොරවල් නං හරියට ඉන්නවා.
''මම ඔබ කියන දේ පිළිගන්නෙ නැහැ, ඒත් ඔබට ඕනෑම මතයක් දරන්න තියෙන අයිතිය පිළිගන්නවා!'' බලන්න! කොච්චර ලස්සන කතාවක් ද?
වමේ කඳවුර!
දකුණේ කඳවුර!
මේ හැම කඳවුරටම - මේ මත දැරීමේ සහ මත ප්‍රකාශ කිරීමේ ප්‍රශ්නය අදාළයි. ප්‍රශ්නයක් කිව්වාට, මේ, මානව ශිෂ්ටාචාරය මුහුණ දෙන බරපතළ අර්බුදයක්!  අර්බුදය, සංකීර්ණයක් වෙන්නෙ, 'මතය' ක් කියන්නෙ මොකද්ද? කියන සංවාදයත් එක්ක. කවුරු, කා වෙනුවෙන් ද? එහෙම මානයකුත් මතුවෙනවා, ඒ අස්සෙන්.
විසඳුමක් නැහැ! ඒත් මෙතැන, ප්‍රශ්නයක් තියෙනවා...
CHAPA
2017 අප්‍රේල් 6
   

No comments:

Post a Comment