Saturday, April 8, 2017

තීර්ථ යාත්‍රිකයා !

 
වසන්ත ඔබේසේකර!
නික්ම ගියා...
ඒත් ඔහු යමක් හොයමින් හිටියා!
වරින් වර, එසේ ඔහුට හමු වුණු දේ, ඔහු නිදහසේ ප්‍රති නිර්මාණය කෙරුවා.
පළගැටියෝ, වෙස්ගත්තෝ, වල්මත්වූවෝ, මාරුතය, කැඩපතක ඡායා, තීර්ත යාත්‍රා...
ඔව්! ඔහු දක්ෂ සිනමාකරුවෙක්!
ලාංකේය සිනමාව තුළ ඔහු, සම්ප්‍රදාය සහ නුතනත්වය එකට කැටි කළ යමක් හොයා ගත්තා. 'කැඩපතක ඡායා' තමයි ඒ හොයාගැනීම පරාවර්තනය කෙරුවෙ.
1940 දශකයෙන් ආරම්භ වන සිංහල සිනමාව, ලෙස්ටර් ගෙ 'රේඛාව' හරහා ලාංකේය නූතන හැඩ තල හොයාගන්න දරන දීර්ඝකාලීන - ඓතිහාසික වෑයම තුළ වසන්ත ඔබේසේකර කියන්නෙ වෙනම ලකුණක්.
මම පුද්ගලිකව ඔහු සමඟ ලබපු සුන්දර අත්දැකීමක් ගැනත් මෙතැනම සටහන් කරන්න ඕනෙ...
TNL සඳහා මම නිෂ්පාදනය කරමින් ඉදිරිපත්කරපු Search Light වැඩසටහන වෙනුවෙන්, 2001 දවසක මම ඔහු සම්මුඛ සාකච්ඡාවකට ගත්තා. එදා, ඔහුගෙ නිවසෙදී, වැඩසටහන රූ ගත කෙරුවාට පස්සෙත්, අපි සෑහෙන වෙලාවක් ලාංකේය සිනමාව ගැන කතා බහ කරමින් හිටියා.
ඔහු බලාපොරොත්තුසහගත සිනමාකරුවෙක්. අපේ රටේ සිනමාව නගාහිටුවන්න දිගටම වැඩ කළ යුතු බව ඔහු දැඩිව විශ්වාස කෙරුවා.
මේ වෙනකොට, ලංකාවෙ අපි, රටක් හැටියට, ඉන්දියානු කොලනියක් බවට පත්වෙමින්, ඉන්දීය සිනමාවම ප්‍රවර්ධනය කරමින් ඉන්නවා. වසන්ත ඔබේසේකරලා ඉහළ මට්ටමකින් ඉස්සරහට ගෙනාපු අපේ සිනමාව ඒ අනුව වඳ වෙමින් යන්න ඇරලා!
මේ වගෙ ''අපේ මිනිස්සු!'' නික්ම යනකොට තමයි දැනෙන්නෙ අපි කොච්චර පාර වරද්දාගෙන ද කියලා.
ඇත්තටම අපි මේ කොහෙද යන්න?
''මේවා ගැන ඉතිං කාත් එක්කද කතා කරන්නෙ? කාට ද අපේ සිනමාව ඕනෙ'' එදා, අපි කතා කරන වෙලාවෙ, ඔහු බිඳුණු හඬකින් කිව්වා මතකයි.
වසන්ත ඔබේසේකර!
ඔබ සිනමාවට ණය නැහැ! රටට ණය ත් නැහැ!
ඔබට, ඔබ නික්ම යන අතර, දවසක නික්ම යන තෙක් ජීවත්වන, අපේ උත්තමාචාරය!
CHAPA 
2017 අප්‍රේල් 8
 
 

No comments:

Post a Comment