Tuesday, September 19, 2017

ජනවාරි 8!

2015 ජනවාරි 8, ලංකාවෙ සිද්ධ වුණේ Regime Change එකක්. ඒ ගැන දැන් අපි ඕන තරං කතා කරලා තියෙනවා. වඩා පැහැදිලි ව කිව්වොත්, එය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්!
විශේෂයෙන්ම ඉන්දියානු සහ චීන 'කළාපීය බල අරගලය'' සහ එය ලෝක දේශපාලනය ට සම්බන්ධ වන ආකාරය තුළ තමයි ලංකාව ඔය තත්වය ට මුහුණ දෙන්නෙ. ඒ දේශපාලනයේ ම සජීව කොටසක් ලෙස තිස් වසරකට වැඩි කාලයක් පැවතුණු LTTE ත්‍රස්තවාදය, එකී දේශපාලනයේ වාසි සහගත තත්වයන් ද ප්‍රයෝජනය ට ගනිමින්, මිලිටරිමය ලෙස පරාජය කරන්න, ලාංකේය රාජ්‍ය ට හැකිවීම ඒ කළාපීය සහ ලෝක දේශපාලනය ට අදාළව තීරණාත්මක තත්වයක්.
මීට සමගාමීව චීනය, විවිධ ක්‍රම ඔස්සේ උපක්‍රමශීලි ව ලංකාව ට සම්බන්ධ වීම සහ ඒ හරහා කළාපය තුළ තම බලය ව්‍යාප්ත කරමින් ස්ථාවර කර ගැනීම, ඉන්දියාව ට සහ ඒ හරහා ඇමරිකාව ප්‍රමුඛ ලෝක දේශපාලනය ට වෙනස් මට්ටම් වලින් තදින් දැනෙන්න ගන්නවා. ඊට ත් සමගාමීව ඒ ඒ රටවල ප්‍රබල දේශපාලන සාධකයක් බවට පත්ව තිබෙන ''දෙමළ ඩයස්පෝරාව'' තව දුරටත් LTTE බෙදුම්වාදී ක්‍රියාදාමය බල ගන්වමින්, ඊනියා ජාත්‍යන්තරයේ කොටසක් ලෙස ම සංවිධානය වීම, ලංකාව තවත් දුෂ්කර පැත්තකට තල්ලු වෙන්න හේතු වෙනවා.
ඔය වෙනකොට, යුද ජයග්‍රහණයෙන් උද්දාමය ට පත්ව සිටි රාජපක්ෂ පාලනය, ඒ දේශපාලන චලනයන් කිසිවක් නිවැරදිව වටහා ගන්න සමත් වුණේ නැහැ. ඒ අතර දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිරුණු අත්තනෝමතික ආණ්ඩු පාලනයක් නිර්මාණය වෙමින්,  ලාංකේය රාජ්‍ය දුර්වල මට්ටමකට පත් වෙනවා.
ඔන්න එතකොට අර කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. ඊනියා ජාත්‍යන්තරය, එහි මෙරට NGOs නඩය, චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රී සාධක එකට එක්ව Regime Change කොන්ත්‍රාත්තුව සම්පුර්ණ කරනවා.
2015 ජනවාරි 8 කතාව ඕකයි!
ඊට පස්සෙ සිද්ධ වෙන්න පටන් ගත්නෙ මොනවා ද?
ප්‍රධාන වශයෙන් ම, ඉන්දියාව සහ චීනය සම සම ව ලංකාව තුළ බලය ස්ථාවර කරගන්න අවශ්‍ය සැලසුම් හදා ගන්නවා. LTTE ය ඝාතනය කරමින් ස්ථාවර වූ ''ලාංකේය රාජ්‍ය බලය'' තව දුරටත් එසේ පැවතීම ලෝක සහ කළාපීය තත්වයන් ට අභියෝගයක් වන නිසා, එය දුර්වල ආකෘතියකට මාරු කරන ව්‍යුහාත්මක වෙනස හෙවත් ව්‍යවස්ථාමය වෙනස සිදු කරන්න අවශ්‍ය පසුබිම හදනවා. ඒ සඳහා, අදාළ රාජ්‍ය බලය ට පදනම් වන 'ජාතිකත්වය' දියකර හරින සංස්කෘතික සංහාරයක් ක්‍රියාත්මක කරනවා. 70 දශකයේ සිට JR, ප්‍රේමදාස, චන්ද්‍රිකා, DB, මහින්ද හරහා මෛත්‍රී - රනිල් දක්වා රට තුළ සුක්‍ෂම ලෙස ක්‍රියාත්මක ආර්ථික ඝාතනය ඒ සියල්ල ට සමගාමීව කොහොමත් දිගටම එනවා.
මේ දේශපාලන යථාර්ථය, ආණ්ඩුව, විපක්ෂය, ඒකාබද්ධ විපක්ෂය, ජවිපෙ හෝ වෙනත් කිසිදු පක්ෂයක් නිවැරදිව තක්සේරු කරගැනීම ට අපොහොසත් ව ඇති නිසා ඒ සියළු සාධක ත්  දැන සහ නොදැන, ලංකාව මුහුණ දෙන මේ දේශපාලන අර්බුදයේ ම සක්‍රීය කොටස් බවට පත් වෙනවා.
දැන් අපට කරන්න පුළුවන් මොකද්ද?
2015 ජනවාරි 8 ට අදාළ සිද්ධීන් පෙළ ත් එක්ක, රට තුළ මතු වුණු දේශපාලන වට පිටාව, අවශ්‍ය නං වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා යොදා ගන්න ඉඩක් 'තවම' තියෙනවා. වෙන විදිහකට කිව්වොත් මේ ගෙවෙන්නෙ ලංකාවෙ දේශපාලන සංක්‍රාන්ති සමයක් නිසා එය තවත් ඉදිරි වෙනස්කම් සඳහා යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට, රාජපක්ෂ පාලන කාලය දක්වා වූ සියළු කාලයන් හිදී නොතිබුණු මාදිලියෙ ''පුළුල් සමාජ ඉඩක්'' දැන් අපට මතු කර ගන්න පුළුවන්. අර සංක්‍රාන්ති අවකාශය ට අමතර ව සන්නිවේදන තාක්ෂණයත් ඊට ප්‍රබල හේතුවක්. සමහරු, මහින්දගෙ කාලයට වැඩිය දැන් මාධ්‍ය නිදහසක් තියෙනවා! කියලා වැරදියට තේරුම් ගන්නෙ අන්න ඒ තත්වය තමයි.
එහෙම නං, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විධිමත් දේශපාලන සංවාදයක් අපි ගොඩ නගන්න ඕනෙ!
ධනවාදය, ධනවාදයෙ නුතන ගෝලීය හැසිරීම, එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, රාජ්‍ය නොවන සංවිධාන, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, බහු ජාතික සමාගම්, ඉන්දියාව, චීනය...සමඟ සහ ඒවාට එදිරිව ලංකාව රටක් හැටියට හිට ගන්න ඕනෙ කොහොමද? සංවාදය අන්න ඒකයි.
ධනවාදයේ ම පාලන ප්‍රකාශනය වන ප්‍රජාතන්ත්‍රවාදය, එහි න්‍යායික යෝජනාව වන, ''ජනයා ගෙ, ජනයා මගින් සහ ජනයා වෙනුවෙන්'' කියන දේශපාලන පදනම මතු කර ගන්න ඕන විදිහ අපි දැන් හොයා ගන්න ඕනෙ. සිංහල, දෙමළ සහ මුස්ලිම් සියළු ජාතීන් එකට එක්ව, එකම නුතන ජාතියක් හැටියට සහ මේ පොළොව ට අනන්‍ය විදිහ ට නිෂ්පාදන සබඳතා නිර්මාණය කර ගනිමින්, ලංකාව ගොඩ නගන්නෙ කොහොමද කියන එක ඉතා ම බරපතළ සහ මාරාන්තික අභියෝගයක්!
කොහොමද ඉතිං අපි ඊට මුහුණ දෙන්නෙ?!
අපි මේ සඳහා බුද්ධිමය මැදිහත්වීමක් නොකෙරුවොත් වෙන්නෙ, මේ ආණ්ඩුව ට ඉක්බිතිව, මේ කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමය ම ඉස්සරහට ගෙනියන ඊළඟ කණ්ඩායම අතට ආණ්ඩු බලය යන එක, කොටින්ම, ආයෙත්, ඒ, රාජපක්ෂ පාලනය ම - වෙන හැඩයකින් වෙන්න පුළුවන්!
හැබැයි මේ සංක්‍රාන්ති සමය අවසන් වෙන්නෙ නං රට ආයෙ ගොඩ ගන්න බැරි විදිහට ම ප්‍රතිව්‍යුහගත කරලා!
අපට තවත් ඉතිං පමා වෙන්න බැහැ!  
CHAPA
Sept 20, 2017 

   
    

No comments:

Post a Comment