Saturday, October 7, 2017

සොඳුරු මිනිසෙක්!

පහු ගිය ඔක්තෝබර් 4 රාත්‍රියෙ දි, බෝගල පතළ ට යාබද, අරුග්ගම්මන මහා විද්‍යාලයෙ දි ගත කළ පැය දෙකකට අසන්න කාලයෙ දි මට ඔහු ත් මුණ ගැහුණා!
'' මම ඔබ තුමා සහභාගීවෙන හැම වැඩ සටහනක් ම කොහොම හරි බලනවා...ඔබ තුමා අපේ ගමට එනවා කියල ආරංචි වෙලා මම මේ ආවෙ...''
වයස අවුරුදු 76 ක වැඩිහිටියෙකුගෙ අව්‍යාජ වචන!
ඔහු නමින් කේ. ඒ. ගුණසේකර, දිවයිනටම සාමවිනිසුරු පදවියකුත් දරන ගමේ පොදු පිළිගැනීමකට ලක්වුණු පෞරුෂයක්.
''මම මේ ගමේ හුඟ දෙනෙකුට ම වගෙ චරිත සහතික දීලා තියෙනවා...''
ඔහු ආඩම්බරයෙන් කිව්වා.
''ගමේ හැමදේකටම ඉදිරිපත් වෙනවා...මස් මාළු කන්නෙ නැහැ...සිගරැට් අරක්කු කටේ තියන්නෙ නැහැ...මුළු ගම ම ආදරෙයි මෙතුමා ට...''
ගමේ තරුණයෙක් විස්තර කෙරුවා.
''මම පස් පව් කරන්නෙ නැහැ...හැමදාම භාවනා කරනවා...''
වැඩිහිටි මිත්‍රයා සිනහමුසු මුහුණෙන් කිව්වා.
''කණ්ණාඩි පාවිච්චියක් නැහැ වගෙ...''
මම ඔහුගෙ මුහුණට එබුණා.
''අපෝ නැහැ! මට හොඳට පේනවා...ඒ විතරක් නෙවෙයි...මට පුළුවන් ඕන බරක් කරේ තියාගෙන ඕන දුරක් පයින් යන්නත්..''
ඔහුගෙ හඬ තරුණයි, විශ්වාසවන්තයි!
''මම ඔබ තුමාගෙ අදහස් වලට හුඟාක් ගරු කරනවා...විශේෂයෙන්ම දෙරණ අලුත් පාර්ලිමේන්තුවෙ ඔබ තුමා ඉන්නවා නං මම නොවැරදීම බලනවා...මේ රට විනාශ වෙන්න දෙන්න බැහැ, ඔබ තුමා මේ මිනිස්සු දැනුවත් කරන එක මහා පිනක්...''
ඔහුගෙ වචන හරිම උණුසුම්.
''ඔබ තුමා ගමටම ඇවිත්මේ, අපේ දරුවන් ට ලෝකය ගැන කියල දෙන එක නං විශාල සේවයක්...ඔව්! මහා පිනක්...''
ඔහු තව හුඟාක් දේවල් කිව්වා. මට ඒ වචන තවමත් ඇහෙනවා ඇහෙනවා වගෙ. මගෙ හිතට අමුතු ශක්තියකුත් දැනෙන්න ගන්නවා, ඒ නිසාම.
කේ. ඒ. ගුණසේකර, දිවයිනටම සාමවිනිසුරු!
ඔව්! ඔබ නං අපුරු මිනිසෙක්! අරුග්ගම්මන කඳු මුදුන ට එදා එළැඹි සුන්දර රාත්‍රිය වගේමයි!
ඉතිං ආයෙමත් දවසක හමු වෙමු! ඔබ ට දීර්ඝායුෂ!
Oct 7, 2017 





 


No comments:

Post a Comment