Saturday, February 17, 2018

                  මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන්ට ලියමි!


ඔබ වහන්සේ, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට, 2018 පෙබරවාරි 15 කරන ලද විශේෂ
දැන්වීමක් බොහෝ ජනමාධ්‍යවල විශේෂ අවධානය ලබාගෙන තිබුණා, ඒ පළාත් පාලන මැතිවරණයෙන් රට තුළ ඇති වී ඇති තත්වය හේතුවෙන් රාජ්‍ය පාලනය බිඳ වැටිය හැකි බව පැහැදිලිකරමින් සහ ඒ සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස දන්වමින්.
එය බැලූ බැල්මට ම අත්‍යවශ්‍ය මැදිහත්වීමක් වගේම, එක විදිහක ව්‍යවස්ථාමය රාජ්‍ය අවකාශය තුළ ඔබ වහන්සේ ඇතුළු මහා නායක හිමිවරු ඉටු කළ යුතු යුතුකමක්.
එහෙත් ඔබ වහන්සේගෙ ලියැවිල්ලට පදනම්වන ''දේශපාලන ප්‍රවාදය'' නම් යළි ප්‍රවේශමෙන් සංවාදයට ගන්න, පවතින දේශපාලන වට පිටාව අපට බල කරනවා. 
ඔබ වහන්සේ කියන්නෙ, 2015 ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට රජයේ සියලු පාර්ශවයන් දැන් වත් කටයුතු කළ යුතු බවයි. එහි ආපිට අරුත වන්නේ, පැවැත් වූ පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව දෙකම, ජනතාව ප්‍රතික්ෂේප කිරීමට හේතුව, ''2015 ඔවුන් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම'' කියන එකයි. ඔබ වහන්සේ එහෙම නිගමනයකට එළඹෙන්න යොදා ගත්තු විද්‍යාව මොකද්ද කියන ප්‍රශ්නය දැන් මෙතැනදි මතු වෙනවා. ඉතාම සරලව, එදා යහපාලන ප්‍රධන පොරොන්දුව වුණේ රාජපක්ෂ පාලනය තුළ මහා පරිමාණයෙන් කළ සොරකම් පිළිබඳ සොයා අදාළ හොරුන් ට දඬුවම් ලබා දීම. ඒ පොරොන්දුව හරියාකාරව ඉටු නොකිරීම නිසා කිපෙන මහා ජනයා යළි හොරු වෙනුවෙන් තම ඡන්දය ලබා දුන්නා කියල, ගාමිණි වියන්ගොඩ වගේම ඔබ වහන්සේත් කල්පනා කරනවද? 
අපට ඕන නම් තව තව උදාහරණ අරගෙන මේ ඡන්ද ප්‍රතිඵල විග්‍රහ කරගන්න පුළුවන්, ඒත් ඔබ වහන්සේට හිතෙන්නෙ නැද්ද, මහ ජනතාව මොන අදහසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කෙරුවත්, ඇත්තටම මේ ආණ්ඩුවේ ගමන් මාර්ගය රටට විශාල හානි ගෙන දෙන බව?! 
ඊනියා ජාත්‍යන්තරයට අනුව දෙමළ මුස්ලිම් අන්තවාදීන්ට ලැබෙන ශක්තිය, ලාංකේය රාජ්‍ය දුර්වල බෙදුම්වදී ආකෘතියකට මාරු කරන්න නියමිත ව්‍යවස්ථා කුමන්ත්‍රණය, රටේ පැවැත්ම විනාශ කරන ලෝක බැංකු - ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව ප්‍රමුඛ සමාජ සුභ සාධනය පියවරෙන් පියවර කප්පාදු කිරීම වැනි රටට මරු කැඳවන ''රට වටලෑම'' ඔබ වහන්සේ ප්‍රමුඛ මහ නාහිමිවරු සලිත නොකරන්නෙ ඇයි? රටේ කොඳු නාරටිය ලෙස සැලකිය යුතු කෘෂි කර්මාන්තයට අත්වන භයානක ඉරණම දැක්කත් ඔබ වහන්සේලාට දරාගන්න බැරි වෙන්න ඕන, ඒත් එහෙම වෙන්නෙ නැහැ! ඒ ඇයි? ඔබ වහන්සේලාට ඒ පිළිබඳ නිවැරදි තොරතුරු ලැබෙන්නෙ නැද්ද? එහෙම නැත්නම් වෙන මොකක් හරි හේතුවක් ද?
මේ ප්‍රතිචාරය මගින් ඔබ වහන්සේ ඇතුළු සියලු මහ නාහිමි වරුන්ට යෝජනා කරන්නෙ, මේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සමඟ විවෘතවන නව දේශපාලන අවකාශය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන රට ඉදිරියට ගමන් කළ යුතු දිශාව තීරණය කරන්න අවශ්‍ය 'දැනුම' සම්පාදනය කරගන්න, පක්ෂ පාට අභිබවා යන  ''දේශපාලන සංගායනාවක්'' පවත්වන්න, ඉතාම කඩිනමින්. 
අපි දැනටමත් පමා වැඩියි! ඔබ වහන්සේ ත් දැන හෝ නොදැන ඇතැම් අවස්ථාවල සාධාරණීකරණය කරන්න හදන යෝජිත ව්‍යවස්ථා වෙනස සිද්ධ වුණොත්, ලාංකේය රාජ්‍යට පදනම් වන ''බුද්ධාගම'' ට ප්‍රමුඛස්ථානය ලබා දියයුතු ව්‍යවස්ථාමය බන්ධනය කැඩෙනවා, ඊට පස්සෙ ඔබ වහන්සේලා බැහැ දකින්න ජනාධිපතිවරු, අගමැතිවරු සහ මැති ඇමතිවරු මෙහෙම එන්නෙ නැහැ!
ඒ නිසා මේ අතිශය තීරණාත්මක ඓතිහාසික මොහොත, හුදු සරල ප්‍රකාශ වලින් මග හරින්නෙ නැතුව, ඔබ වහන්සේලාගේ ප්‍රබල මැදිහත්වීමකින් ශක්තිමත් කරන මෙන් ඉතා ඕනෑකමින් ඉලා සිටිනවා!

CHAPA
Feb 18, 2018   
     


No comments:

Post a Comment