Friday, May 4, 2018

​ජවිපෙ, රට ට එරෙහිව?!


ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ට අනුව, ඔවුන් දැනටමත් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සකස් කරමින් සිටින අතර එය ඉතා  නුදුරේදී ම පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කිරීම ට නියමිතය. 
මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් හි විවිධ අදහස් ඉදිරිපත් වෙමින් තිබෙන අතර විවිධ පක්ෂ ඒ සඳහා ප්‍රතිචාර දක්වන ආකාරය ද පැහැදිලි කිරීම ට පටන් ගෙන තිබේ. ඒ අතර, ඊට සහයෝගය දීමට එකඟතාව පළ කර තිබෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට ස්තුතිය පළ කිරීම ට ද ජවිපෙ නායකයා අමතක නොකළේය.
හිටපු ජනාධිපතිවරයා පුද්ගලිකව ඊට එකඟ වන්නේ, තමා ට යළිත් වතාවක් විධායක ජනාධිපති ධූරය ලබා ගැනීම ට නොහැකි බව දන්නා නිසා විය යුතුය. අනෙක් අතට, ඒකාබද්ධ විපක්ෂය තුළ ඊට වෙනස් මතයක් ද දැනට නැත. පොහොට්ටුව ට නායකත්වය දෙන බව කියන මහාචාර්ය GL පීරිස්, චන්ද්‍රිකා සහ වරෙක රනිල් සමඟ ප්‍රබල ලෙස පෙනී සිටියේ දෙමළ බෙදුම් වාදය වෙනුවෙන් ය. වාසුදේව නානායක්කාර ද වම දකුණ පටළවාගෙන ඊට සමාන තැනක සිටි බව රහසක් නොවේ. තම තමන් මතවාදීව වෙනස් වූ බව ඔවුන් කිසි විටෙකත් කියන්නේ ද නැත. ඒ අනුව රටේ ව්‍යවස්ථාව ට අදාළ යෝජිත විද්‍යාත්මක සංවාදය ඒකාබද්ධ විපක්ෂය තුළ කිසිදා ගොඩ නොනැඟෙන බව අවිවාදිතය. මේ ගැන ඔවුන් අනුගමනය කරන්නේ එදා වේල ට්‍රැවල්ස් ක්‍රමයකි.
රනිල් ප්‍රමුඛ එජාපය නං කොහොමත් මේ යෝජනාවට කැමතිය. ඒ හේතුව ද ඉතා සරල ය. රනිල් වික්‍රමසිංහ ට කිසිදා ඒ ධූරය ලබා ගැනීමට මහජනයා ඉඩ නොදෙන බව රනිල් මෙන්ම මුළු එජාපය ම දනී. වෙනත් ජනකාන්ත නායකයෙක් ද එහි දැනට නැත. හිටියත් රනිල් ඔහුට හෝ ඇයට ඉඩ දෙන්නේ ද නැත. ඔවුන්, රාජ්‍ය බලය ලබා ගැනීමට මරාගෙන මැරෙන්න වුවද සුදානම් ය. එහෙත්, ඒ රාජ්‍ය බලය කුමක් ද! යන්න ගැන කල්පනා කිරීමට උනන්දුවක් නැත. එය මුදල් හම්බ කරගත හැකි යමක් පමණක් බව ඔවුන් තේරුම් ගෙන සිටිනවා වැනිය. 
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දෙවැනි වතාවට ත් විධායක ජනාධිපති ධුරයේ තබා ගැනීම ට සැලසුම් කරන ශ්‍රීලනිප කණ්ඩායමක් සහ පුද්ගලිකව ම මෛත්‍රී ද ජවිපෙ යෝජනාව ට විරුද්ධවීම ට යම් ඉඩක් තිබේ. එය ද තවත් දේශපාලන තත්වයන් කීපයකට සම්බන්ධ බැවින් තවම නිශ්චිත නැත. වෙනම ජාතිවාදී පාලන සිහින දකින දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය කොහොමත් එක පයින් ජවිපෙ ට එකඟය. ලාංකේය රාජ්‍යයේ සියලු බිඳ වැටීම්, ඔවුන් ට කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව වාසි සහගත බව, අත්දැකීම් බහුල ඔවුන් හොඳාකාරව දනී.
මේ වට පිටාව තුළ, 1978 ව්‍යවස්ථාව සහ එහි පදනම ලෙස සැලකිය යුතු විධායක ජනාධිපති ධූරය මෙරට පැවැත්මට බලපාන ආකාරය පිළිබඳ සංවාදය තවදුරටත් තීරණාත්මකය. ඒ අනුව, මේ, ශ්‍රී ලාංකේය ඒකීය රාජ්‍ය දුර්වල කොට තම වෙළෙඳ ආධිපත්‍ය පතුරුවා ගැනීම ට සහ ස්වභාවික සම්පත් කොල්ල කෑමට රට වට කර සිටින ඊනියා ජාත්‍යන්තරයේ සහ එහි මෙරට තැරව් කරුවන්ගේ අවසන් ඉලක්කය සපුරා දෙන කූට දේශපාලන ක්‍රියාදාමයේ අතිශය තීරණාත්මක ඉදිරි පියවරක් බව පැහැදිලි කර ගත යුතුය. 
අපි මෙහෙම බලමු! දැනට වලංගු 1978 ව්‍යවස්ථාව සහ රට මුහුණ දෙමින් තිබෙන සමස්ත දේශපාලන අර්බුදය අතර තර්කානුකුල සම්බන්ධයක් ඇති බවට ජවිපෙ ඇතුළු විවිධ කණ්ඩායම් පුන පුනා විග්‍රහ කිරීමට උත්සහ කළද, එහි කිසිදු විද්‍යාත්මක පදනමක් නැත. හොඳම උදාහරණය, වර්තමාන යහපාලනය ට අනුග්‍රහය දක්වන ඔවුන්ටම අනුව 2015 ජනවාරි 8 දා සිට මෙරට විධායක ජනාධිපති බලය ක්‍රියාවට නැංවී නැත, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපත් මහින්ද රාජපක්ෂ මෙන් රජෙක් නොව ජනතා සේවකයෙකි. ඉතිං, රටේ අර්බුදය දැන් අවසන් වී තිබේද? ගෙවී ගිය තුන් වසරකට අධික යහ පාලන කාලය තුළ සිදු වූ යම් හෝ යහපත් දේශපාලන වෙනසක් දැකිය හැකිද?
ඇත්ත වශයෙන්ම, මේ ව්‍යවස්ථාව හොඳ හෝ නරක බව තක්සේරු කිරීම ට නම් අප එය යම් කාලයක් සම්පුර්ණ වශයෙන් ක්‍රියාවට නැංවිය යුතුය. 1978 සිට බලයට පැමිණි කිසිදු ආණ්ඩුවක් එය එසේ කර නැත, තම තමන් ට අවශ්‍ය පරිදි එය යොදා ගත්ත මිසක! උදාහරණයක් ලෙස, ව්‍යවස්ථාපිත මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුයේ හෝ අවශ්‍ය වන්නේ මොන පාලකයන්ටද?! එසේම, මේ බොහෝ දෙනා කතා කරන ජාතික හෝ ජාතී - ආගම් අතර ප්‍රශ්න සඳහා කිසිදු ආකාරයකින් මෙම ව්‍යවස්ථාව හේතු වී නැති බව ද මෙහි සඳහන් කළ යුතුය. භාෂා සහ ආගම් පිළිබඳ ව්‍යවස්ථාමය වශයෙන් නිර්මාණය වී තිබෙන වර්තමාන තත්වය පවතින්නේ ඉතා හොඳ ප්‍රශස්ත මට්ටමකය. 
ව්‍යවස්ථාව ට පසුව එකතු වූ 13 වැනි සංශෝධනය ද ඇතුළත් ව රට ට හානි ගෙන දෙන තවත් අනවශ්‍ය සංශෝධන කීපයක් ම යෝජිත ව්‍යවස්ථාමය ගමන බාල කර තිබෙන බව ද අනාගත සාකච්ඡාවක් සඳහා මෙහි සටහන් කර තැබිය යුතුය. විධායක ජනාධිපති ධූරය පිළිබඳ සංවාදය ත් ගොඩ නැගිය යුත්තේ මෙන්න මේ දේශපාලන සන්දර්භය තුළ ය. අවශ්‍ය නම්, ඒ සංවාදය ධනවාදය, වෙළෙඳපොළ බලවේග, ප්‍රජාතන්ත්‍රවාදය සහ විද්‍යාත්මක සමාජවාදය ආදී වශයෙන් පුළුල් තලයකයකට ඔසවා තබා මහා ඓතිහාසික කාර්යභාරයකට උර දීමට ද පුළුවන. එහෙත්, එවැනි විද්‍යාත්මක දේශපාලන සංවාදයක සේයාවක් හෝ මේ මොහොතේ නං රට තුළ නැත. මේ ඉදිරියට යමින් තිබෙන්නේ කුමන්ත්‍රණකාරී සිදුවීම් පෙළක් පමණි.
ඊළඟට, රට තුළ මේ වනවිට ත් කැකෑරෙමින් පවතින මාරාන්තික ආර්ථික අර්බුදය විසඳා ගැනීමට මේ කිසිදු පාර්ශවයක් සුදානම් නැත. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඒකාබද්ධව පනවා තිබෙන ණය කොන්දේසි සමඟ මළ ගම් යන දේශීය ආර්ථිකය බෙර ගැනීම වෙනුවට ජවිපෙ ඇතුළු මේ පාර්ශව කරමින් සිටින්නේ කුමක් ද? මේ ඓතිහාසික දේශපාලන ඛේදවාචකය තුළ පවා තම තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම පිලිබඳවය. 
කෙසේ වෙතත්, ජවිපෙ සැලසුම් කරන ආකාරයටම විධායක ජනාධිපති ධූරය අහෝසි වීමේ පැහැදිලි හැකියාවක් මේ අනුව පාර්ලිමේන්තුව තුළ නිර්මාණය වී තිබේ. සමස්තයක් ලෙස රට මුහුණ දෙමින් තිබෙන දේශපාලන තත්වයන් සමඟ සසඳන විට මෙය ඉතාමත් ම අනතුරුදායක තත්වයකි. 
මේ වනවිට, දෙමළ ඩයස්පෝරාව සහ ඊට සහය දෙන රාජ්‍ය නොවන සංවිධාන ජාලයක්, එක්සත් ජාතීන්ගේ සහ යුරෝපා සංගමයේ පුර්ණ ආශීර්වාදය සහිතව ශ්‍රී ලාංකේය රාජ්‍ය, බෙදුම්වාදී ආකෘතියකට මාරු කිරීම සඳහා ඉතා සංවිධානාත්මක ක්‍රියාන්විතයක් දියත් කරමින් සිටින බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. එහි මූලික වැඩ කටයුතු සැලකිය යුතු ප්‍රමාණයක් දැන් පවතින්නේ ක්‍රියාත්මක තලයේය. ලාල් විජේනායක වාර්තාව හරහා නිර්මාණය කර තිබෙන එකී බෙදුම්වාදී ගෝත්‍රික දේශපාලන දැක්ම, දීර්ඝකාලීනව, වික්ටර් අයිවන්ගේ ''පුනරුද ව්‍යාපාරය'' වැනි සමාජ ක්‍රියාකාරකම් හරහා සමාජගත කරමින් තිබේ. ඊට සමගාමීව රාජ්‍ය නොවන සංවිධාන රැසක් විවිධ වේශයන්ගෙන් ඊට සම්බන්ධ වී තිබෙනු පෙනේ. යෝජිත බෙදුම්වදී ව්‍යවස්ථාව සඳහා මුළු පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කොට තිබෙන අතර එහි ''අනු කමිටු'' විසින් සකස් කළ බව කියන වාර්තා හය සමඟ අදාළ  ක්‍රියාදාමය දැන් එහි අවසන් අදියර දක්වා රැගෙනවිත් තිබේ. 
පසු ගිය දා සම්මත කර ක්‍රියාවට නැංවූ, පළාත් පාලන මැතිවරණ සංශෝධනය මගින් භුමියේ පරිපාලන සීමාවන් තීරණය කොට, නව ව්‍යවස්ථාවෙන් යෝජිත ග්‍රාම රාජ්‍ය ආකෘතිය දක්වා පළාත් පාලන යාන්ත්‍රණ විහිදුවන ආකාරය, ඒ අතර ස්ථාපිත කර තිබේ.
ශ්‍රී ලංකාව ඒකීය රටක් නොවන බව ත්, 1978 ව්‍යවස්ථාවේ දැන් තිබෙන Unitary State යනු ''ඒකීය රාජ්‍ය'' නොවන බවත්, ඊට වඩා යෝග්‍ය ''නොබෙදුණු රාජ්‍ය'' යන යෙදුම බවත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ බොහෝ දෙනා දැන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටින පසු බිමක යෝජිත බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගැනීම තව දුරටත් අපහසු කටයුත්තක් නොවේ.
ඊළඟට තිබෙන එකම බාධාව වන්නේ විධායක ජනාධිපති ධූරයයි. ශ්‍රී ලංකේය ඒකීය රාජ්‍ය සහ විධායක ජනාධිපති ධූරය එකිනෙක ට බද්ධව තිබෙන ආකාරය, ව්‍යවස්ථාව පරිශීලනය කරන ඕනෑම කෙනෙකුට පැහැදිලි විය යුතුය. ජවිපෙ මේ සුදානම් වන්නේ අන්න ඒ බැඳීම ළිහා දැමීමට ය. කොටින්ම, ඉහත සඳහන් කළ පරිදි, තම තමන්ගේ පටු උවමනාවන් වෙනුවෙන්, මහින්ද, රනිල් ( මෛත්‍රී ඇතැම් විට ) ප්‍රමුඛ සිංහල නායකයන් සහ ජාතිවාදී අරමුණු වෙනුවෙන් දෙමළ මුස්ලිම් නායකයන් මේ ක්‍රියාන්විතයට සම්බන්ධ වෙද්දී, ඊනියා ජාත්‍යන්තරය ට සහ ඉන්දියානු - චීන කළාපීය දේශපාලනය ට අවශ්‍ය, ශ්‍රී ලංකේය රාජ්‍ය දුර්වල කොට යටත් කර ගැනීමේ ව්‍යාපෘතිය ඉතා සාර්ථකව සම්පුර්ණ වේ.
ඒ අනුව, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනාව කෙසේ හෝ පරාජය කළ යුතුය, ඒ සඳහා තම තමන්ගේ දේශපාලන නියෝජිතයන් තෙරපීමේ වගකීම ඇත්තේ මහජනතාවටය! 
ඔව්! ඒ සඳහා පෙළ ගැහෙන්න! 
CHAPA, April 25, 2018

No comments:

Post a Comment