Sunday, June 17, 2018


ඝෝඨාභය, කුමාර් ගුණරත්නම් සහ දෙරණ! 

කණිෂ්ක ජයලත් නම් වූ පුද්ගලයෙක් පළ කොට තිබෙන post එකකින් දැක් වෙන්නෙ, ''දෙරණට අභියෝගයක්, 360' ට ඝෝඨාභය ගෙනැල්ලා ඩිල්කාටයි චාපාටයි පුළුවන් ද කොන්ද කෙළින් තියන් පහත comments වල තියෙන ප්‍රශ්න අහන්න'' කියල.
මම මේ සටහන තියන්න හිතුවෙ ඔය post එක ගැනවත්, එය දාපු කෙනා ගැනවත්, ඊට comment කරන කීප දෙනා ගැනවත් උනන්දුවකින් නෙවෙයි, මෙතැනින් ඉතාමත් ම වැදගත් දේශපාලන සංවාදයකට දොරක් ඇරෙන නිසා. ඔය post එකේ යටි පෙළ අරුත තමයි, හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ සමඟ දෙරණ ට තියෙන සම්බන්ධතාව හෝ වෙනත් හේතු මත ඔහු දෙරණ 360' තුළ ප්‍රශ්න කිරීමකට ලක් වෙන්නෙ නැහැ කියන එක. හැබැයි, '' කොන්ද කෙළින් තියන්...'' කියන කොටසෙන් කියවෙන්නෙ, 360' කොන්ද කෙළින් ප්‍රශ්න කරන වැඩ සටහනක් කියන එක. ඒකනෙ, ඝෝඨාභයවත් 'එහෙම' ප්‍රශ්න කරන්න අදාළ post කරුවා අභියෝග කරන්නෙ.
ඒත් ඔහු හෝ ඔහු අනුව හිතන කිසිවෙක් ඒ වැඩ සටහන අගය කරමින් හෝ එය නිවැරදිව තක්සේරු කරමින් මෙතෙක් අදහස් පළ කර නැහැ, ඒ අස්සෙ, උදාහරණයක් විදිහට, විමල් වීරවංශ ට කැමති අය වෙනම, විමල් වීරවංශ එක්ක තරහ අය වෙනම ආදී වශයෙන් තමයි තම තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්නෙ. 
මෙයින් කියවෙන්නෙ යම් මට්ටමක දේශපාලන දැනුමක් තියෙන බව සහ තම තමන් වෙන ම දේශපාලනයක නිරතව ඉන්න බව පෙන්වන මේ post කරුවා වගේ අය අන්තිම බංකොලොත්. ඔවුන් සම්ප්‍රදායික UNP හෝ SLFP ඡන්ද දායකයන් ට වඩා අනතුරු දායකයි. හේතුව පුළුල් දේශපාලන සංවාදයකට අවශ්‍ය ඉඩ ඔවුන් නොදැන ම අහුරලා දානවා. ඔවුන් වමේ කතාවකුත් කියන නිසා තත්වය තවත් අවුල් වෙනවා.
ඒ අස්සෙ 'කාන්ට්' කියවනවා වගෙ එකක් කරන තරුණ කණ්ඩායම් X හොල්මං එක්ක තැන තැන ඒ විදිහට ම හැසිරෙනවා. 
දැන් මේ අනුව දේශපාලන නපුංසක තත්වයක් රට තුළ නිර්මාණය වෙනවා! ඒ කියන්නෙ දකුණත් නෙවෙයි, වමත් නෙවෙයි, ඒ මැද ත් නෙවෙයි, කොටින්ම අවතැන් දේශපාලනයක්! 
ඒ අස්සෙ සංස්කෘතික කුහකකම් සහ ලිංගික ඊර්ෂ්‍යාව වගෙ සියුම් සාධකත් වැඩ කරන්න ගන්නවා!
ඊළඟට, මම පුද්ගලිකව දෙරණ සමඟ ගනු දෙනු කරන්න ගන්නෙ 2015 මැද පහුවෙන හරියෙදි. ඒ දෙරණ අලුත් පාර්ලිමේන්තුව ත් එක්ක. 2000 වගෙ ජනප්‍රිය මාධ්‍යයත් එක්ක වැඩ කරන්න අරන්, 2001 'නිදහස්' පටන් අරං මම මහපොළොවෙ මාධ්‍ය දේශපාලනයක් ආරම්භ කෙරුවා, මාව දන්න හුඟාක් අය හිතුවෙ මට කෙළවෙලා පාරට බැහැල කියල, මිනිස්සු අපිව මග හැරියා. වැඩියෙන් ම අපේ දේශපාලන ක්‍රියාකාරකම් වලට හරස් වුණේ ඊනියා සිංහල බෞද්ධ කණ්ඩායම් සහ ජවිපෙ. ඒ ගමන අපි 2011 දක්වා අඛණ්ඩව කොහොමත් ආවා.
2015 තමයි මම නැවත පුර්ණ මාධ්‍ය ක්‍රියාකාරකම් පටන් ගන්නෙ. මම මෙවර, ජනප්‍රිය මාධ්‍ය එක්ක වැඩ කරමින් යෝජිත දේශපාලන අරගලය කරනවා කියන තැනට එන්නෙ අන්න අර ඉතිහාස මග පෙන්වීම නිසා. කොහොමත් ජනප්‍රිය මාධ්‍ය, ලෝකය පුරාම ඒ ඒ දේශපාලන තත්වයන් ට සහ ආර්ථික ව්‍යුහයන් ට අනුකූලයි. ලංකාවෙත් එහෙමයි. මම මේ අවුරුදු තුන තුළ කරක් ගහපු හැම මාධ්‍යයකම තත්වය අඩු වැඩි වශයෙන් සමානයි. ඒවා වාණිජ අරමුණු සහිත ව්‍යාපාර. 
ඒ අතර දෙරණ විවිධ දේශපාල අත්හදා බැලීම් කරන්න පුළුවන් සාපේක්ෂ ''හොඳ වැඩ බිමක්'', උදාහරණයක් විදිහට ආරම්භක වැඩ සටහනේ සිට මම දෙරණ අලුත් පාර්ලිමේන්තුව ට ආරාධිතයෙක් විදිහට සහභාගී වුණා. මට කවදාවත් කවුරුවත් කිසිම බලපෑමක් කරලා නැහැ. එය ඉතාම ප්‍රශස්ත මට්ටමක්. ඊළඟට තවත් වැඩසටහන් කීපයකට ත් දෙරණ ආරාධනා ලැබුණා, ඒ විදිහටම කොන්දේසි විරහිතව.
දැන් මම වෘත්තීය මට්ටමෙන් Insight සහ 360' මෙහෙය වන්න දෙරණ ට සම්බන්ධ වෙලා ඉන්නවා. අදාළ නිෂ්පාදකවරු ඉතාම විවෘත මනසකින් සහ වෘත්තීය මට්ටමකින් එකට වැඩ කරනවා, වෘත්තීය සීමාවන් මිස කිසිම පුර්ව කොන්දේසි අප අතර නැහැ. මෙය, දැනට, ඉතාමත් ම සාධනීය සහ පර්යේෂණාත්මක තත්වයක්.
මම ත් සම්බන්ධ වුණු 360' වැඩ සටහන් කීපය ඒ ඒ ආරාධිතයන් ට අනුව වෙනස් වුණා, එය සාපේක්ෂ තත්වයක් මිස පුර්ව සැලැස්මකට අනුව සිදු වුණේ නැහැ. අහවලා මෙහෙම ප්‍රශ්න කරමු, අහවලා හිර කරමු, අහවලා ට මෙහෙම ගහමු! වගේ ප්‍රාථමික මට්ටමකට අපි කවුරුවත් කවදාවත් වැටෙන්නේ නැහැ!! අපි කණ්ඩායමක් විදිහට ඉහළ සංවාදයක් ගොඩ නගා ගන්න උත්සහ කරමින් ඉන්නෙ!!!
ඔය post කරුවා ට කියන්නෙ! දැන් ඝෝඨාභය 360' ට ගෙන්වුවොත් මේ 
ටිකමයි වෙන්නෙ. එකම දේ දෙරණ ට, පිළිගත් මාධ්‍ය ආයතනයක් හැටියට ඒ ඒ ආරාධිතයන් සමඟ හොඳ අවබෝධයකින් කටයුතු කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට, ඔය post කරුවා ත් මත වාදීව සම්බන්ධ බව පෙනෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් දෙරණ Insight වැඩ සටහනට ගෙන්නුවා, 2018 මාර්තු අන්තිම හරියෙදි. ඒ සාකච්ඡාවෙ අන්තිම කොටසේදී මම ඔහු ප්‍රශ්න කෙරුවෙ, වමට එරෙහි එක්සත් ජාතීන් වෙනුවෙන් පෙනී හිටින්නෙ ඇයි කියල, දෙමළ අතුරුදන් වුවන් පිළිබඳ ප්‍රශ්නයට සම්බන්ධ පෙරටුගාමි ස්ථාවරය තමයි එහෙම අභියෝගයට ලක් වුණේ. ඔහු වැඩ සටහන විකාශ වෙන්න පෙර ( එය දැනට පටිගත කරන වැඩ සටහනක් ) ඒ කොටස විශේෂ ඉල්ලීමක් කරලා ඉවත් කර ගත්තා. 
මේ ඝෝඨාභය නෙවෙයි, කුමාර් ගුණරත්නම්!
මම මේ උදාහරණය ගෙනාවෙ ඒ ඒ තත්වයන් එච්චර සරල නැහැ කියන එක පෙන්වන්න. නිකං හතර අතට ගල් ගහන්නෙ නැතුව, අපි ප්‍රබුද්ධ දේශපාලන සංවාදයක් ගොඩ නගමු! ඉතිහාස බල කිරීම ඒකයි!
CHAPA, June 17, 2018

No comments:

Post a Comment