Saturday, January 5, 2019

JB & DF


90 දශකයේ දවසක්!
මට ඒ මද්දහන හොඳ ට මතකයි!
''ඔව්! ඔබ ජන මාධ්‍ය ගැන උනන්දු කෙනෙක්, දැන් ඔබ ට හිතෙනවා අපේ විශ්ව විද්‍යාලයෙන් ඒ ගැන වැඩි දුර යමක් ඉගෙන ගන්න ඕන කියලා...මට තේරුම් ගන්න පුලුවන්...''
මහාචාර්‍ය ජේ බී දිසානායක, තම උපැස් යුවළ දකුණතින් සකස් කරගන්න අතරෙ මගෙ මුහුණට එබෙමින් කියාගෙන යනවා. මේ, තාරුණ්‍ය පුපුරු ගහමින් වැඩෙන කොළඹ විශ්ව විද්‍යාලයෙ, ඉතා කඩිසර - ඔහු ගෙ නිල මැදිරිය. 
ඒ අපේ මුල් ම හමු වීම, ඔහු ඉතා ප්‍රසන්න සහ නිහතමානි පුද්ගලයෙක්! 
මට දැනුණා.
''මම හිතාගෙන ඉන්නෙ...දවසක මේ හමුදා සේවයෙන් ඉවත් වෙලා වෙනස් සමාජ මැදිහත්වීමක් කරන්න...ඒ සඳහා ජනමාධ්‍ය තමයි මෙවලම හැටියට තෝර ගන්නෙ...''
මං කතාව කියාගෙන යනවා. මට දැන් ඕන වෙලා තියෙන්නෙ, ජනමාධ්‍ය විෂයයක් හැටියට ප්‍රගුණ කරන්න. පුවත් පතක ඉඳ හිට පළ වන මගේ කවියක් දෙකක්, ලිපියක් දෙකක් ඒ සඳහා මාව උනන්දු කරවනවා. පළාලි යාපා පටුන ගුවන් විදුලිය තමයි ඒ දවස්වල මං ආස ම කරපු සොඳුරු පුංචි රාජධානිය. ඒ වෙනකොට, හමුදාව තුළ ගැටුම පටන් අරගෙන, මං විවිධ මං හොයමින් හිටියෙ.
''ඔබේ අදහස පැහැදිලියි! එකම ප්‍රශ්නය අපි, කොළඹ විශ්ව විද්‍යාලය හැටියට මේ ජනමාධ්‍ය පාඨමාලාව ට තෝර ගන්නෙ, දැනට ජනමාධ්‍යවල වැඩ කරන, යම් පළ පුරුද්දක් තියෙන අය...ම්ම්ම්, ඒ වුණත් මට පේනවා, ඔබ දැනටමත් පත්තර වලට ලියනවා...යාපා පටුන ගුවන් විදුලියටත් වැඩ සටහන් වලටත් සහභාගි වෙනවා, එතකොට ඔබ මේ වැඩේට සුදුස්සෙක් තමයි,  ඔබේ අරමුණත් ඉතා යහපත් එකක්, අපි කොහොමද ඒක කරන්නෙ....''
ඔහු උපැස් යුවල අතරින් මා දෙස තියුණු බැල්මක් හෙළමින් කල්පනා කරන්න ගත්තා.
''ඔබ ට බැරිද ජනමාධ්‍ය සංගමයක සාමජිකත්වයක් ලබා ගන්න?''
ඔහු එක වරම ඇහුවා.
''ඒත්...''
මං කල්පනා කරනවා.
''ඔබ දන්නවද ඩීඑෆ් කාරියකරවන කියන මහත්මයාව?''
ඔහු අහනවා.
''නමින් දන්නවා තමයි, ඒත් සම්බන්ධයක් නං නෑ!''
''දැන් ම යන්න ලේක් හවුස් එකට...එතුමා ඉන්නවා, ගිහිං කෙළින් ම කියන්න ඔබේ කතාව, ඔය මට කිව්ව වගේ, එයා මොකක් හරි දෙයක් කරයි...''
දහවලේ තද බදය සහ විඩාව මැද, කොළඹ විශ්ව විද්‍යාලය ඉස්සරහින් බසයකට පැන ගත් මං තව පැයකින් විතර ඔන්න ඩීඑෆ් කාරියකරවන කියන කාරුණික මුහුණක් තියෙන මැද වයසෙ පුද්ගලයා ඉස්සරහ පුටුවෙ, ලේක් හවුස් ගොඩ නැගිල්ලෙ ඔහු ගෙ කාර්‍යයාලයෙ. හමුදාවෙන් ලබා ගත්ත කෙටි නිවාඩුවත් දැන් ඉවර වේගන එන්නෙ, හිතට ටිකක් කරදරයි.
''ඔබ වගේ අය තමයි අප ට ඕන...සමහර අය ජනමාධ්‍ය කරන්න එන්නෙ රැකියාවක් කරන්න ඕන නිසා, මේක වෘත්තියක් වගේම ජීවිතයක්...නිකං රැකියාවක් නෙවෙයි...''
ඔහු මගේ ලිපි ගොනුවෙ රඳවා තිබුණු, මවිසින් ලියා විවිධ පුවත් පත්වල පළ වූ ලිපි එකින් එක පෙරළමින් කියාගෙන යනවා. හරියට ඔහු මාව කියවනවා වගෙ.
''මට විශේෂ අරමුණක් තියෙනවා...''
''මම පිළිගන්නවා! ඔබ හමුදා සේවයේ ඉන්න ගමන් මෙහෙම හිතන එක ඉතාම විශේෂ තමයි...''
ඔහුගෙ හඬ හරියට කාරුණික තාත්තා කෙනෙකුගෙ වගෙ.
''හරි! මං ඔබ ව අපේ සංගමයට බඳවා ගන්නං...එතකොට අනිවාර්‍යයෙන් ම කොළඹ විශ්ව විද්‍යාලයට ඔබ ව ගන්න වෙනවා, ඔව්! අපි එහෙම කරමු!''
ඔහු අදාළ අයදුම්පත මට දෙන ගමන්, තිර හඬින් කිව්ව හැටි තවම මතකයි.
මම ඒ අතරෙ ඔහුට අත ට අත දී ආචාර කෙරුවා. 
ඔන්න එහෙනං මං, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලා වේදීන්ගෙ සංගමයෙ සාමාජිකයෙක්! 
මං මට ම කියා ගන්නවා!
''සුභ පතනවා, මං!''
ඩීඑෆ් කාරියකරවන ගෙ සෙනෙහෙවන්ත හඬ සෑහෙන දුරක් මගෙ පසු පසින් ආව වගෙ.
ආපහු හැරිල බලන කොට තමයි තේරෙන්නෙ, කාලය ට අවනත නොවන වෙනම මානව අවකාශයක අපි සැරිසරන වග!
ඔබ ට කියන්න!  ඒ, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලා වේදීන්ගෙ සංගමයෙ හැඳුනුම් පත තාම මං ළඟ තියෙනවා, ඔබ කවුද? ඒ හැඳුනුම් පතේ ඉන්න මං, 'දැන් මගෙන්' අහනවා.
කොළඹ විශ්ව විද්‍යාලයෙ ඒ ජනමාධ්‍ය අධ්‍යාපන අත් දැකීම, මගේ ගමනට යම් වෘත්තීයමය හැඩයක් ලබා දුන්නත්, මං වඩාම කැමති, මහාචාර්‍ය ජේබී දිසානායක ගෙ සිංහල පන්තියට.
''මේ තියෙන්නෙ සිංහල යස අගේට, ආයෙ මොනවද? ව්‍යාකරණ ගැන අවබෝධයෙන් නිදහසේ ලියාගෙන යන්න''
ඔහු එදා, මං ලියපු ඡේදයක එහා මෙහා යමින් කියපු ඒ කතාව මට මගේ සංනිවේදන අවකාශය හොයා ගන්න සෑහෙන විශ්වාසයක් හිත තුළ ඇති කෙරුවා. ඔහු, මගේ ලිවීමේ ශෛලිය හොඳයි කියනකොට ඒ දවස්වල නං හීනි ආඩම්බරකාර සතුටක් වගෙ හැඟීමකුත් හිත ට ආවා මතකයි. 
ඒ අස්සෙ අමාරු හමුදා දවස්! 
පළි ගැනීම් උත්සන්න වෙලා හුමුදා සේවය තුළ අහිමි වෙමින් තිබුණු ජීවිතය, මේ අළුත් ලෝකය තුළ වේගයෙන් වැඩෙන්න ගත්තා. කොහොම වුණත් මට එක දිගට දේශනවලට එන්න ඉඩක් ලැබුණෙ නැහැ, හමුදා බලධාරීන් ට ඕන වුණේ මාව අවතැන් කරවන්න. ඔවුන් මාව එහාට මෙහාට අනුයුක්ත කරන්න පටන් අරගෙන තිබුණෙ. අන්තිමට, අවසන් විභාගය පවත්වන්න දින වැටෙනකොට මට මගේ පැමිණීමේ ප්‍රතිශතය සම්පූර්ණ කර ගන්න බැරි වෙලා තිබුණා. මං එතකොට පළාලි!
''අපි ඔබ ට විශේෂ අවසරයක් දෙනවා, විභාගය කරමු,,,හමුදා ජීවිතය ඉතිං සාමන්‍ය නැහැනෙ...''
ජේබී දිසානායක මහාචාර්‍යවරයා ඉතා කුළුපග ලෙස කියපු හැටි! 
ඉතිං මං ලොකු සටනක් දීලා අන්තිම මොහොතෙ කොහොම හරි ඇවිත් විභාගය ට සාර්ථකව ලිව්වා. මට තාම මතකයි 'මිත්‍යාව' නමින් - එදවස පැවති යුද්ධය ගැන තමයි මගෙ නිබන්ධනය ලියැවුණෙත්.
ඒ පුංචි පුංචි සිදුවීම් අද ට වලංගු නෑ වගෙ පෙනුණා ට එදා ට අතිශය වලංගුයි.
මේ සටහන සමහර විට ඔබ ට නිකං පල්හෑල්ලක් වගෙ දැනෙයි. ඒත් මට කියා ගන්න ඕන, මහාචාර්‍ය ජේබී වගේම ඩීඑෆ් කාරියකරවන කියන වෘත්තිකයන් දෙන්නාම තම තමන්ගෙ යුතුකම් ඉතාම නිර්මාණශීලී විදිහට ඉටු කෙරුවා. අපට, මේ රටේ මුණ ගැහෙන හුඟාක් බලධාරීන් ඉන්නෙ, ඉස්සරහට එන්න හදන අයගෙ කකුල් වලින් අදින්න, කතා කරන්නෙම වැඩ නොකෙරෙන පැත්තට. 
ඒ අතර ජේබී සහ ඩීඑෆ් හොඳ අතීත මතකයක්!
රට ට මේ මොහොතෙ ත් අතිශය අවශ්‍ය අන්න එහෙම යහපත් ගොඩ නැගීම් වලට නොමසුරුව දායක වන ''අපේ මිනිස්සු!''
පුළුවන් හැම වෙලාවකම ඔබත් අන්න ඒ වගෙ අපේ මිනිහෙක්! වෙන්න, මොකද, ඕනම වෙලාවක එදා මං වගෙ කෙනෙක් ඔබ ඉස්සරහ හිට ගන්න හොඳටම ඉඩ තියෙනවා. ඔබ ත් කරන්න පුළුවන් මොකක් හරි දෙයක් කරලා ඒ පුද්ගලයා ට ශක්තියක් වුණොත්, දන්නෙම නැතුව රට ඉස්සරහට යාවි! තේරුණාද?
CHAPA
Jan 6, 2019







No comments:

Post a Comment