Saturday, June 15, 2019

ඇමරිකානු ආක්‍රමණය පරාජය කරමු!

ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo ශ්‍රී ලංකාවට තකහනියෙ එන්නෙ නිකමට නෙවෙයි. SOFA හරහා ඉදිරියට ගෙන යෑමට නියමිත, මෙරට කේන්ද්‍ර කර ගත් ඇමරිකානු මෙහෙයුමේ ඉදිරි පියවර සඳහා.
 අපි මේ ඓතිහාසික අභියෝගය වටහා ගනිමු!

1. ඇමරිකානු මැදිහත්වීම සම්බන්ධයෙන් රට තුළ ගොඩ නැගී ඇති ජනප්‍රිය සංවාදය තුළ, රට ට මාරාන්තික හානි ගෙන දෙන යෝජිත ඇමරිකානු මැදිහත්වීම පිළිබඳ නියම තතු හෙළි නොවේ.
2. මේ අර්බුදය ට දිගු ඉතිහාසයක් ඇති අතර, අවම වශයෙන් 1995 පෙරවාරි 9 දා, එවකට පැවති චන්ද්‍රිකා ආණ්ඩුව Agreement of Forces නමින් ඇමරිකාව සමඟ එළැඹි ගිවිසුම වත් අප මේ මොහොතේ සැලකිල්ලට ගත යුතුය. ඒ, වර්තමාන ආරවුළේ දිග පළල වටහා ගැනීමටය, එදා ඒ ගිවිසුම, 1991 දී එජාප ආණ්ඩුව යටතේ ආරම්භ කළ ඇමරිකානු Voice of America මෙහෙයුම් ක්‍රියාවළියට සම්බන්ධ බව අවිවාදිතය.
3. 2002 මාර්තුවේදී ද විශේෂ ඇමරිකානු දූත කණ්ඩායමක් මෙරට ට පැමිණ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආරක්ෂක ලේකම් තිලක් මාරපන සමඟ මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
4. 2007 මාර්තු 5, එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇමරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් ( කණිෂ්ඨ )  අතර අත්සන් තැබුණු ACSA ( Acquisition and Cross - Servicing Agreement ) ගිවිසුම, ඒ ඇමරිකානු මැදිහත්වීම තව ඉදිරියට ගෙන ගිය අතර එහි අන්තර්ගත ප්‍රධාන කරුණු මෙසේය;
අ) එය අන්‍යෝන්‍ය (Reciprocal ) ගිවිසුමකි, එහෙත් පවතින තත්ත්වයන් තුළ එහි කිසිදු වාසියක් ලංකාව ට නොලැබෙන අතර සම්පූර්ණ වාසිය ඇමරිකානුවන්ටය.
ආ) වසර 10 කට සීමා වූ ගිවිසුම දීර්ඝ කළ හැක්කේ තවත් වසර 10 කට පමණක් බවට එහි සීමාවක් පනවා ඇත. පාර්ශයකට අවශ්‍ය නම් දින 180 ක කාලයක් අනෙක් පාර්ශවයට ලබා දී, අදාළ ගිවිසුමෙන් ඉවත් විය හැකිය. ගිවිසුම ආරම්භ වන සහ අවසාන වන නිශ්චිත කාල වකවානු සඳහන්ය.
ඇ) ගිවිසුමෙන් කළ හැකි දෑ සහ නොකළ හැකි දෑ පැහැදිලිව සඳහන් වේ.
        යුද්ධය පැවති සමයේ, යුද කටයුතු සාර්ථක කර ගැනීම සඳහා වුවද, රටේ පැවැත්මට අභියෝග කරන මෙම ACSA ගිවිසුම අත්සන් නොකළ යුතුව තිබිණි.
5. 2007 මාර්තු 5 අත්සන් කෙරුණු එම ගිවිසුම දීර්ඝ කිරීමට අවශ්‍ය වූයේ නම්, එය කළ යුතුව තිබුණේ 2017 මාර්තු 5 කාල සීමාවේදීය. එසේ නොවූයෙන් එය අවස්න් වූ බව පැහැදිලිය. ACSA නමින් ම එවර ඉදිරිපත් වූ ගිවිසුම් කෙටුම් පත කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගත්තේ 2017 ජූනි 20 දාය, ගිවිසුම අත්සන් කෙරුණේ 2017 අගෝස්තු 4 දිනය. ැඑ අනුව පිටු 8 ක් වූ 2007 ගිවිසුම සහ පිටු 83 ක් වූ 2017 ගිවිසුම, එකම ගිවිසුමක දිගුවක් නොව ගිවිසුම් දෙකක් බව අවිවදිතය.
6. මෙම නව ගිවිසුම පිළිබඳ කිසිදු අවබෝධයක් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට හෝ කැබින්ට් මණ්ඩලයට නොමැති බව තහවුරු වේ.
7. එකී ගිවිසුම සඳහා, නීතිපතිගෙන්, ආරක්ෂක හමුදා ප්‍රධානීන්ගෙන් සහ අනෙක් වගකිවයුතු පාර්ශ්ව කරුවන්ගෙන්, පිළිගත් ක්‍රම වේදය මත ඉල්ලා තිබූ නිරීක්ෂණ සහ නිර්දේශ ලැබෙන තුරු හෝ නොසිට ඉතා නොඉවසිලිමත් ලෙස ගිවිසුම අත්සන් කර තිබේ. එම නිරීක්ෂණ සහ නිර්දේශ ඉතා පැහැදිලිව එකී ගිවිසුමෙන් රට ට සිදුවන බරපතළ හානි පෙන්වා දී තිබේ.
8. ඇමරිකානු උවමනාවන් වෙනුවෙන් එසේ එම ගිවිසුම අත්සන් කිරීමට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එවකට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ ඔහුගේ ලේකම් ප්‍රසාද් කාරියවසම් දැඩි බලපෑම් එල්ල කොට තිබේ.
9. මෙම ගිවිසුමට අවසන් කාල සීමාවක් නැත. එය සදාකාලිකය.
10.  මෙම ගිවිසුම මහජනතාව ට අනාවරණය වී නැත. අදාළ වෙබ් අඩවිවල ද එය පළ කොට නැත. තොරතුරු දැනගැනීමේ පනතේ, තොරතුරු වලට ප්‍රවේශවීම වැළක්වීමේ ප්‍රතිපාදන හේතුවෙන් එහි පිටපතක් ලබා ගැනීමේ අවස්ථාවක් ද නැත.
10. කාල නිමාවක් නැති ACSA අත්සන් කොට තවම අවුරුදු දෙකක් ගත වී නැත. ඒ අතර මෙම ගිවිසුම අත්සන් කළහොත්, මෙතෙක් දෙරට අතර අත්සන් කළ අදාළ ගිවිසුම් සියල්ල අහෝසි වේ. එනම් මෙය කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියකි.
11. SOFA වලංගු වීමට දෙරට අත්සන් කළ යුතු නැත. ඇමරිකානු තානාපති කාර්‍යයාලය එවා ඇති අදාළ යෝජනාවලිය ට එකඟ වන බව ට 'අමාත්‍යංශයක්' ලිඛිතව දැන් වූ සැනින් යෝජිත ගිවිසුම බලාත්මක වේ. එකී අමාත්‍යංශය, 'විදේශ කටයුතු අමාත්‍යංශය' බවටද අදාළ SOFA ගිවිසුම් සටහන පැහැදිලි ලෙස ඉඟි කර තිබේ. එනම් මංගල සමරවීර යොදාගෙන ආරම්භ වූ කුමන්ත්‍රණකරී ව්‍යාපෘතිය එලෙසමය.

SOFA පරාජය කළ යුත්තේ ඇයි?

1. SOFA අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 12 වගන්ති උල්ලංඝණය කරයි. එනම් 3 වැනි වගන්තියෙන් සහතික කරන, 'ජනතා පරමාධිපත්‍ය' ඇමරිකාව විසින් උදුරා ගැනේ. එසේම 12 වගන්තියෙන් සහතික කරන, නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම, නීතියේ රැකවරණය සහ සර්ව සාධාරණ බව උල්ලංඝණය වේ.
2. SOFA මගින්, ශ්‍රී ලංකාව සතු අපරාධ පිළිබඳ අධිකරණ බලය ( Criminal jurisdiction) ඇමරිකාව අත් පත් කර ගනී.
3. SOFA මගින්, මෙරට ට පැමිණෙන ඇමරිකානු හමුදා, සිවිල් සහ තාක්ෂණික පිරිස් වලට සහ 'කොන්ත්‍රාත්කරුවන් ට ( Contractors )' තානාපති මුක්තිය ලැබේ. මේ ඊනියා අන්‍යෝන්‍ය ගිවිසුම මත, අදාළ ශ්‍ර්‍රී ලාංකික කණ්ඩායම්වලට එවැනි අවස්ථාවක්, ඇමරිකාව තුළ ලැබෙන්නේ නැත.
4. SOFA මගින්, මෙරට අධිකරණ බලය අත් පත් කර ගන්නා අදාළ ඇමරිකානුවන්ට, ශ්‍රී ලංකාව තුළ සන්නද්ධව සැරි සැරීමේ බලය ලැබේ. 
5. SOFA මගින්, කොන්ත්‍රාත්කරුවන් ප්‍රමුඛ අදාළ ඇමරිකානුවන් ට බදු නැත, රේගු බදු නැත.
6. SOFA මගින්, ශ්‍ර්‍රි ලංකාවේ අධි ආරක්ෂක කළාප ඇතුළු භූමිය තුළ, ගුවන් සහ සමුද්‍ර බල ප්‍රදේශ තුළ නිදහසේ සැරි සැරීමට ඇමරිකානු හමුදාවන් ට බලය ලැබේ (Free Movement ).
7 SOFA මගින්, ශ්‍රී ලංකා රාජ්‍යයට වග නොකියන, වෙනම ගුවන් විදුලි වර්ණාවලියක් සහ සංනිවේදන ජාලයක් ඇමරිකානුවන් ට හිමි වේ,
8. SOFA මගින්, ඇමරිකානුවන් අතින් සිදුවන හානියකට නියම වන වන්ඳි කපා හැරේ.
9. SOFA අත්සන් කිරීමෙන් පසු, එහි ක්‍රියාන්විතය සඳහා, ඒ ඒ ආයතන හෝ ඒජන්සීස් සමඟ ගිවිසුම් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකා රාජ්‍යයෙන්, වෙන වෙන ම අවසර ගත යුතු නොවේ.

SOFA මාරාන්තිකයි! SOFA පරාජය කළ යුතුමයි! ජාති, ආගම්, පක්ෂ, පාට පසෙක ලා එකතු වෙන්න! එරෙහි වෙන්න! SOFAඑපා!

CHAPA, June 16, 2019 



No comments:

Post a Comment