Tuesday, August 6, 2019

හපොයි!

'තමුන් මේ රටේ අගමැති?'
අගමැති රනිල් තම දිවුරුම දීලා ඉඳගන්නකොටම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පැත්තෙන් සෘජු ප්‍රශ්නයක්.
'ඔව්!'
අගමැතිවරයා තැති ගැන්වීමකින් වගෙ උත්තර දුන්නා. ප්‍රශ්නය අහපු ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා එක එල්ලෙම බලාගෙන ඉන්නෙ අගැමැතිවරයගෙ ඇස් දෙක දිහා.
'අගමැතිවරයා හැටියට තමුන් දැනගෙන හිටියද අප්‍රේල් 21 පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන?'
ප්‍රශ්නය නියෝජ්‍ය කතා නායක ආනන්ද කුමාරසිරිගෙන්.
'නැහැ, මං දැනගෙන හිටියෙ නැහැ, සත්තයි!'
අගමැතිවරයගෙ බිඳුණු හඬ.
'තමුන්ගෙ ආරක්ෂක අංශය?'
ඒ පාම නලින්ද ජයතිස්සගෙ තේජාන්විත හඬ.
'ඒ ගැන නං...මට.... මොකුත් කියන්න බැහැ...ඕනි නං...මට අහල බලන්න පුළුවනි...'
අගමැති දෑස් යොමු වෙලා තිබුණෙ සීලිම දෙසට. මුළු පාර්ලිමේන්තු කාරක සභාවවෙම ඇස් ඔහුගෙ මුහුණෙ.
'මොකක්?'
ඒ පාම ආෂු මාරසිංහගෙ කෝපාන්විත හඬ. අගමැතිවරයා ගැස්සිලා වගෙ බිම බලා ගත්තා.
'මහනුවර දිගන සිංහල මුස්ලිම් ජාතිවාදී ගැටුම් හට ගන්න අවස්ථාවෙ ඔබ යටතෙ තමයි පොලිසිය තිබුණෙ...මං හරිද?'
ෆීල්ඩ් මාර්ෂල්වරයාගෙ තද කට හඬ බිල්ඩිම තුළ දෝංකාර දෙන්න ගත්තා.
'ඒ සිද්ධීන් එක්ක...මේ සිද්ධීන්...සම්බන්ධයි කියල...මට නං තවම කවුරුවත්...'
අගමැතිවරයා පහත් හඬින් කියන්න පටන් ගන්නකොටම...
'හරි! අපි ඒ අතීතය පැත්තකින් තියමුකො...පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිදුවීම් අතර, මුස්ලිම් ඇමතිවරු තම තනතුරුවලින් ඉවත්වීම....'
නලින්ද ජයතිස්සට කතාව ඉවර කරන්න හම්බ වුණේ නැහැ...
'ආ! ඒ සියළු දෙනා ආපහු ඇමති ධූර බාර ගත්තා...දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ...රතන ස්වාමීන් වහන්සේත් ප්‍රශ්නයක් නැතුව හොඳට වැඩ කරගෙන යනවා...ඒකයි මං හැම වෙලාවෙම කියන්නෙ...මේක...'
'මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර්! අහපු දේට විතරක් උත්තර දෙන්න!'
අගමැතිවරයා කඩ කඩා වගෙ වුණත් එක දිගට කියාගෙන ගියා. ඒත් සභාපතිවරයා එක පාරටම මැද්දට පැන්නා.
'අපිට එහෙම කරන්න උපදෙස් දුන්නෙ ඔබ තුමා! පිළි ගන්නවද?'
හකීම්, තම දකුණු පුටු ඇන්ඳ දකුණු අතින් මිරිකා ගනිමින් ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරුවා.
'ම්ම්ම්ම්...උපදෙස් දුන්න කියන එක මෙතන කියන්න උවමනා නෑ, එහෙම නං...මටත් කියන්න පුළුවනි...මටත් වෙන කාගෙන් හරි උපදෙස් අ...අ...අ...ලැබෙනවා කියල...ඒකයි මං හැම වෙලේම කියන්නෙ...මේක...' 
'මේක සෙල්ලමකට ගන්න එපා, තේරුණාද?'
ඒ ආෂු මාරසිංහගෙ හීනි, එහෙත් සැර හඬ. ආෂුගෙ දකුණු දබරැඟිල්ල අගමැති මූහුණට හරි කෙළින්.
'ඔබ මේ මුස්ලිම් නායකයන් එක්ක ඩීල් එකක් දාගෙන ඉන්නවා, විදේශ බලවේග වල උවමනාවන් ඉෂ්ට කරල දෙන්න කියල මං ඔබට යෝජනා කරනවා!'
ෆීල්ඩ් මාර්ෂල්ගෙ උච්ච ස්වරය!
අගමැති රනිල් නිහඬව වට පිට බලන්න ගත්තා.
'කෙටියෙන් උත්තරයක් දෙන්න, ඔබ අගමැතිවරයා හැටියට මේ ත්‍රස්ත ප්‍රහාරය සිද්ධ වුණාට පස්සෙ ඉල්ලා අස් වෙන්න තීරණය කෙරුවෙ නැත්තෙ ඇයි, ඈ!?'
නලින්ද ජයතිස්සගෙ තිර හඬ. අගමැතිවරයා එක වරම බිම බලාගත්තා.
'මේ ප්‍රහාරය ISIS එක්ක සම්බන්ධද?'
ජයම්පති වික්‍රමරත්න මැද්දෙන් ඇහුවා.
අගමැතිවරයා ඇහුනෙ නැහැ වගෙ ලිපි ගොනුවක් අදින්න පටන් ගත්තා.
'පිට රටවල ත්‍රස්ත ක්‍රියාවල යෙදුණු ත්‍රස්තවාදීන් මේ රටේදි අත් අඩංගුවට ගන්න මොකක් හරි නීතිමය බාධවක් තියෙනවද?'
ජයම්පති දෙවැනි ප්‍රශ්නයත් ඇහුවා.
අගමැති දැන් කොලයක් දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නවා.
'මිස්ටර් පීඑම්...'
‍රවී කරුණානායක රැල් බුරුල් අරිමින් කට හඬ අවදි කෙරුවා. අගමැති රනිල් දකුණු අතේ ඇඟිලි විහිදුවමින් නිකට අත ගෑවා.
'අර වනාතවිල්ලුව ප්‍රදේශයෙ අවි ගබඩාවක් වැනි තැනක් ආරක්ෂක අංශ විසින් අල්ලගත්තට පස්සෙ කුමක්ද එතැන සිද්ධ වුණේ කියල දැන ගන්න උවමනයි...'
රනිල් දිගටම නිකට පිරිමදිනවා, ඇස් දෙක එහෙ මෙහෙ කැරකෙනවා විතරයි, කතාවක් නැහැ.
'යූ මස්ට් ආන්සර් පීඑම්! මං නරක මිනිහා කියන්න එපා අන්තිමට, ප්ලීස්...කෝ! උත්තරයක් දෙන්න අවශ්‍යයයි...පීඑම්!!'
‍රවීගෙ හඬේ සැර වැඩි වුණා. රනිල් කට අරින පාටක් නැහැ.
'අපේ ඉවසීම උරගා බලන්න හදන්න එපා!තේරුනාද ප්‍රයිම් මිනිස්ටර්?'
ඒ ආෂු.
'ඔව්! අපිට තියෙන බලතල ගැන දන්නවා ඇතිනෙ?'
මේ ආනන්ද.
'අපි ඔබට විරුද්ධව නීතිමය පියවර ගන්නවා!'
නලින්ද එහෙම කියන කොට නං අගමැති රනිල් බිම බලාගෙන නිකං අමුතුවට වගෙ හිනා වුණා.
'මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර් ගෙටාආආආආවුට්ට්ට්ට්ට්ට්!
ආෂු මාරසිංහ යටි ගිරියෙන් කෑගැහුවා. පාර්ලිමේන්තු කාරක සභාවම ඒ හඬට හෙල්ලුම් කෑවා. 
මාවත් හෙල්ලුම් කෑවා, ගැස්සිලා වීසි වුණා.
හපොයි! පුටුව උඩම මට නින්ද ගිහිං, චිහ්! ප්‍රවෘත්ති බලන්නත් බැරි වුණා, අර පාස්කු කාරක සභාවෙ මොන ගිනි විච්චුම්බරයක් වුණාද මන්දා! 
CHAPA, August 6, 2019

No comments:

Post a Comment