Friday, September 13, 2019

අද මං මෙහෙ ආවෙ නෑ!

මේ කොළඹ කොටුව!
''ම්ම්ම්ම්....බලමු යාළුවා ඉන්නවද කියලා...''
මං ටෙලිකොම් එක පැත්තට හැරුණා. අවුරුදු හය හතකට කළින් නං මං නිතර යන එන හුරු පුරුදු තැන් මේවා. 'නිදහස්' අතීතය! මගෙ හිත ඔන්න ඇවිස්සෙන්න ගත්තා. මෙහෙමයි,
යාළුවා කිව්වට අපි අතර පුද්ගලික මට්ටමේ යාළු කමක් තිබුණෙත් නැහැ. ඔහු, ඒ දවස්වල, ඒ කියන්නෙ 'නිදහස්' පටන් ගත්තු 2001 දි තමයි මුලින් ම මුණ ගැහුණෙ, අහ්! ඊටත් කලින් 2000 දි වගෙ, රාවය ට වැඩ කරද්දි.
ඔහු ටෙලිකොම් ආයතනයෙ ඉහළම පුටුවක හිටපු, ඒත් බැලූ බැල්මට එහෙම පෙනුමක් නොතිබුණු කෙනෙක්. ඔහු නිතර කියන්නෙත් මට මවාගෙන ජීවත් වෙන්න ඕන නැහැ කියල. නොදන්න ඕන කෙනෙක් ඔහු පෙන්නලා, මේ අහවල් ආයතනයෙ අහවලා කිව්වහම බොරු කියල තමයි හිතන්නෙ. වතාවක් කෙනෙක් ඇහුවා ඔය මිනිහට කොහෙන්ද බං ඔච්චර වටිනා වාහනයක් කියල. මං ඊට පස්සෙ යාළුවාගෙ වත ගොත කිව්වහම තමයි, පුදුමයෙන් වුණත් ඔහු කතාව තේරුම් ගත්තෙ. 
ඒ මදිවට ඔහු ඒ ආයතනයෙ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක්. යම් යම් ක්‍රීඩා කටයුතු වලටත් සම්බන්ධයි, කොටින්ම ගැවසුණේ ටෙලිකොම් සාමාන්‍ය සේවකයෙක් වගෙ. ඒ නිසා තමයි ඔහු රාවය සහ නිදහස් ක්‍රියාකාරකම් එක්ක එක එක සටන් බිම්වලදි අපට මුණ ගැහුනෙ. 
ඔහු, මගෙ ''ඊ ළඟට...'' කියන මුල්ම පොත කොළඹ මහජන පුස්තකාලයෙදි සමාජ ගත කරපු සංවාදයටත් ආවා, එදා ඔහු අදහස් ප්‍රකාශ කරනවා දැකපු වෙන කෙනෙක් මගෙ කණට කරල ඇහුවා, ඔහු ජූලි වර්ජකයෙක්ද කියලත්. මං ඒ ගැන යාළුවට කිව්වහම, එහෙම හිතෙන එක හොඳයි කියල ඔහු සෙල්ලක්කාර හිනාවක් දැම්මා මතකයි. ඔහු කොහොමත් ඒ දවස්වල, මං නිතර වැඩ වලට කතා කරන ලැයිස්තුවෙ උඩම හිටියා.
''මෙහෙමයි චාපා...අපිට හැම වෙලාවෙම ලෝකය වෙනස් කරන්න බැහැ...සමහර තැන් වලදි අපට ඒ ඒ තත්ත්වයන්ට අනුගත් වෙන්න සිද්ධ වෙනවා...''
ඒ දවසක්, ඔහු.
''එහෙම කියන්න බැහැ! පොදු සමාජයට හානි කරන තත්ත්වයන් අනිවාර්‍යයෙන්ම අපි ප්‍රතික්ෂේප කරන්න ඕන...ඒවාට අනුගත වෙනවා කියන්නෙ ඒ හානි වර්ධනය කරනවා කියන එක...''
ඒ එදා මම.
''මෙහෙමයි, දැන් බලන්න...! අපි එරෙහිව සටන් කරන, ඔය දූෂණ වංචා...අක්‍රමිකතා කියන දේවල් අපට සම්පුර්ණයෙන්ම නවත්තන්න බැහැ...''
''ඒ වුණාට අපි හිට ගන්න ඕන පුළුවං කියන තැන...එතකොට තමයි ලෝකය වෙනස් වෙන්නෙ...අපි හිතන්න ඕන ඒවා වෙනස් කරන්න ඕන සහ පුළුවං කියල...බලන්න මේ පොදු දේපොළ අවභාවිතය නිසා පොදු ජනතාව කොච්චර දුක් විඳිනවද?''
අපි එහෙම අදහස් හුවමාරු කර ගත්තා.
''අල්ලස් කිව්වට...යම් යම් වැඩ වලදි කමිෂන් දෙන එක සහ ගන්න එක අල්ලස් දීමක් හෝ ගැනිල්ලක් ද කියන ප්‍රශ්නය තියෙනවා...''
ඔහු තවත් කතාවකට දවසක් මුල පිරුවා.
''කමිෂන් කියන්නෙ, දූෂණ වංචා සහ අක්‍රමිකතා සඳහා හදපු නීතිමය හිඩැසක්...ධනවාදය එහෙමයි! එතකොට රාජ්‍යයක් හැටියට සහ ආයතන හැටියට ඒ කමිෂන් ප්‍රතික්ෂේප කරලා අදාළ මිල ගණන් අඩු කරගන්න උත්සහ කර ගන්න ඕන...පොදු යහපත වෙනුවෙන්...''
මං යෝජනා කෙරුවා.
''මෙහෙමනෙ...ලෝකය පුරාම කමිෂන් වැඩේ කෙරෙනවා....ඒක හොර කමක් හැටියට කවුරුවත් ගන්නෙ නෑ....ඒවා පිළිගත් ගනු දෙනු!''
ඔහු තම අදහස දිගටම තහවුරු කරන්න උත්සහ කරනවා.
''මං නං ඒක පිළි ගන්නෙ නැහැ...ධනවාදයෙ ආරාවුලත් ඕකම තමයි...''
යාළුවාගෙයි මගෙයි අතීත සංවාදය තුළ මං තවම නැවතිලා. ඉස්සර මං ආවහම යාළුවා මාව පිළි ගන්න උණුසුම් විදිහ, සංග්‍රහ! අද නං මිනිහා පුදුම වෙයි, අවුරුදු කීයකට පස්සෙද? දන්වන්නෙත් නැතුවනෙ ආවෙ. 
මගෙ මුහුණෙ සිහින් සිනහ රැල්ලකුත් ඇඳිල කියල මට ඒ ඉස්සරහ ලොකු වීදුරුවෙන් පේන්න ගත්තා.
''ඒ මහත්තයා නං දැන් මෙහෙ නෑ!''
ඒ නං අතීත හඬක් නෙවෙයි, මේ දැන් ටෙලිකොම් ප්‍රධාන ගේට්ටුවෙ මැදි වියේ ආරක්ෂකයෙකුගෙ හඬ.
''ඒ කියන්නෙ?''
මං පුදුමයෙන් වගෙ ඇහුවා.
''ම්ම්ම්ම්...මහත්තයා ඇත්තට දන්නැද්ද?''
ආරක්ෂක නිලධාරියා මගේ හිස සිට දෙපතුළ දක්වා තියුණු බැල්මක් හෙළමින්ම ඇහුවා.
''මොකද්ද?''
''එයා මාර හොරකමකට අහු වෙලා ඉන්ටඩික් කෙරුවනෙ...තාම පරීක්ෂණ කෙරෙනවා මයෙ හිතේ...''
''මොකක්?''
මාව එක පාරටම හිස් වුණා.
''දන්නැද්ද ඔය ලොකු ලොකු මිනිස්සුන්ගෙ වැඩ...මුං ඔක්කොම හොරු මහත්තයා...''
මං ආපහු එන අතරෙ ඒ වචන මගෙ පස්සෙන් ගාට ගාට එනවා ඇහුණා.
''නෑ, නෑ, අද මං මෙහෙ ආවෙ නැහැ, ඉස්සර ආපු ගමන් තමයි, ඒ ගමන් කොච්චර සුන්දරද? බලාපොරොත්තු සහගතද?'' 
CHAPA, Sept 14, 2019


 

No comments:

Post a Comment