Tuesday, June 21, 2016


ඊ ළඟ පුරවැසි උගුල...

ඊනියා පුරවැසි බලකාය දැන්, තමන් හැදුව කියන යහපාලන ආණ්ඩුවෙ, ඒ කියන යහපාලනය නැහැ කියල, ඊට විරුද්ධව වීදි බහින්න හදනව වගෙ එකක් පෙන්නනව.

රැවටෙන්න එපා!

ඔය ප්‍රජාතන්ත්‍රවාදය බල ගැන්වීම, බදු අඩු කිරීම, මැති ඇමති වාහන ගෙන්වන එකට එරෙහි වීම, මහා බැංකු අධිපති පන්න දැමීම...වගෙ පුරවැසි කතා විහිළු කතා!
අගමැති රනිල්, ෆීල්ඩ් මාර්ෂල් ඇමති ෆොන්සේකා ප්‍රමුඛ නඩය, පාර්ලිමේන්තුව ඇතුළෙ ඔය පෙන්නන්නෙ යහපාලනය කරන හැටි! ජනාධිපති මෛත්‍රී නිහඬව ඉඩ දෙමින් ඒ යහපාලනය සහතික කරන හැටි!  

ඒ, නියම උපක්‍රමයක්...

ඊනියා ජාත්‍යන්තරය වෙනුවෙන් එහි බළල් අඬු ලෙස ක්‍රියාත්මක මේ කල්ලිය දැන් මේ   ක්‍රියාත්මකවෙමින් ඉන්නෙ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන ඊ ළඟ අත්‍යවශ්‍ය උප ව්‍යාපෘතිය සඳහා. සෝබිත හාමුදුරුවො ගැනත් කිය කියා ඔවුන් මෙහෙම ආණ්ඩුවට බල කරන්නෙ, වෙන මොකක්වත් කරන්න කියල නෙවෙයි - පොරොන්දු වෙච්ච විදිහට විධායක ජනාධිපති ධුරය අහෝසි කරපල්ලා! කියල. හරියටම ගත්තොත් මේ ආණ්ඩුවෙම ව්‍යාපෘතියක්.
මේ වෙනකොට, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජාතික ආණ්ඩුවකට (?) පාර කපාගත්ත චන්ද්‍රිකා - මෛත්‍රී - රනිල් - NGO  පෙරමුණ, ඊළඟට පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කරගත්ත. ලාල් විජේනායකලා ඒ අතරෙ ව්‍යවස්ථා වෙනසකට අවශ්‍ය  ජනතා (?) හැඩය අරගෙන දෙනව. දැන් තියෙන තීරණාත්මකම බාධාව විධායක ජනාධිපති ධූරය. උදාහරණයක් විදිහට ජනාධිපති මෛත්‍රී මේ අතරතුර කාලයෙදි යම් හෙයකින් අනිත් පැත්ත හැරුණොත්, ලංකාව ඉවර කරන ඔය මුළු UN ව්‍යාපෘතියම අසාර්ථක වෙනව. ඒ නිසා හැකි ඉක්මනට ඒ ගනුදෙනුවත් ඉවර කරල දාන්න කට්ටියම දඟලනව.
මේ සමස්ත දේශපාලන ක්‍රියාවලියෙ ප්‍රධාන කොටසක් වන, වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන ජයම්පති වික්‍රමරත්න, 2014 ජුලි 12, ලන්ඩන් හි අමිර්තලිංගම් අනුස්මරණ දේශනයෙදි Constitutional Reform In Sri Lanka: Issues And Prospects මාතෘකාව යටතෙ මෙන්න මෙහෙම කියනව;
උපුටා දැක්වීම;
'A win for the common candidate necessarily means the end of the present government. After a defeat, those who go into opposition are most likely to support abolition rather than continue to suffer under the executive presidency. They would have a much better chance of coming back to power under a parliamentary form of government and therefore it is reasonable to expect them to vote for the amendment if brought before Parliament soon'
(උපුටා දැක්වීම අවසන්)
ජනාධිපති පොදු අපේක්ෂකයෙක්‌ හරහා රාජපක්ෂ පාලනය පරාජය කෙරුවම, ඒ පරදින නියෝජිතයන් විපක්ෂයට වැටෙනකොට, තවදුරටත් විධායක ජනාධිපති ක්‍රමයෙ පීඩනය ඉවසගන්න බැරිවෙනකොට, ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අනිවාර්යයෙන්ම සහය දෙනව සහ ඒ හරහා තම තමන්ගෙ පැවැත්ම හදාගන්න කැමති වෙනව කියල තමයි මේ ජයම්පති වික්‍රමරත්න කල්පනා කරන්නෙ.
බලන්න! දැන් එය නේද වෙමින් තියෙන්නෙ?
ඊට සමගාමීව FCID ය හරහා විරුද්ධ පැත්තෙ දඩයමත්‍ දිගටම යනව, ඒ දඩයමට අහුවෙන්නෙ ඒ ඒ අය කරල තියෙන වැරදි නිසා තමයි වුණත් මේ දඩයමක්මයි, බරපතළ වැරදි කාරයො එකට එකතු වෙලා බරපතළ වැරදිකාරයො ආරක්ෂාකරන මේ ආණ්ඩුවට අපරාධ මර්දනයට උවමනාවක් තියෙනව කියන එකම විකාරයක්. කොහොම වුණත් ඔය දඩයමේ අරමුණ, අදාළ පුද්ගලයන්ට හානිකරන එක නෙවෙයි, රට ඉවර කරන එක!
අපි මෙහෙම බලමු!
1978 ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙ නං එය කරන්න ඕනෙ, ව්‍යවස්ථාවක් කියන්නෙ අවසාන - පරම මොකක්හරි නෙවෙයි. එත් මේ සුදානම ව්‍යවස්තා සංශෝධනයකින් ලංකාවෙ ප්‍රශ්න විසඳන එක නෙවෙයි. දෙමළ, මුස්ලිම් බෙදුම්වාදයට ඉඩ හදල ලංකා රාජ්‍ය දුර්වල කරන එක.

මේ සිද්ධවෙන්න යන මහා දේශපාලන ඛේදවාචකයට හරස් කපන්න තියෙන එකම බලය මේ මොහොතට අදාළව නං විධායක ජනාධිපති ධූරයමයි, ඒ වගෙම රටට මේ තීරණාත්මක මොහොත පහුකරගන්න තියෙන අවසාන ආරක්ෂාව 1978 ව්‍යවස්ථාවමයි, ඕන ගනුදෙනුවක් පස්සෙ බේර ගනිමු! දැනට මේ ව්‍යවස්ථා සංශෝධන මර උගුලෙන් ගැලවෙමු! ඒ වෙනුවෙන් මේ බොරු පුරවැසියන්ට විරුද්ධ වෙමු!

CHAPA   
         


No comments:

Post a Comment