Saturday, July 16, 2016

යාපනය විශ්ව විද්‍යාලයෙ සිසු ගැටුම, ඉතාමත්ම අනතුරුදායක සංඥාවක්! 

කුමන හේතුවක් මත පදනම් වුණත්, කුමන විදිහකට විග්‍රහ කරගත්තත් මේ සාමාන්‍ය සුළු සිද්ධියක් නෙවෙයි.
සිංහල - දෙමළ ජාතිවාදී කතාවක් හදාගෙන ත්‍රස්තවාදය වපුරපු සහ ඊට එදිරිව රාජ්‍ය හමුදා බලය රට පුරා විහිදුවන්න සිද්ධවෙච්ච, අවසානයේදී,  මුළු රටම මළ ගමක් බවට පත්වෙච්ච රටක් මේ! මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම් වගෙම ඔවුන්ගෙ ව්‍යප්තවාදය එදා මේද තුර සහ දිගටම ක්‍රියාත්මක රටක් මේ! ඊනියා ජාත්‍යන්තරය; මුල්‍ය සමාගම්, බහුජාතික සමාගම් සහ පරිවාර රාජ්‍ය නොවන සංවිධාන ජාලය වගේම, ඒ සෑහෙන රටවල් නටවන දෙමළ ඩයස්පෝරාව මේ වෙනකොට, මේ පුංචි ලංකාව වටකරගෙන ඉන්නෙ. මුස්ලිම් අන්තවාදයට රහසේ මෙහෙයුම් උපකාර කරන රටවල් තවත් පැත්තක.
යාපනය විශ්ව විද්‍යාලයෙ සිසු ගැටුම සිද්ධවෙන්නෙ මෙන්න මේ සන්දර්භය ඇතුළෙ, ඒ නිසාම එහි මුලයන් වගෙම ප්‍රතිඵලත් සංකීර්ණයි.
මේ ආණ්ඩුව, රාජ්‍ය බලය ගන්නෙ සහ පවත්වාගෙන යන්නෙ, ලංකාව වටකරගෙන ඉන්න අර කියන බලවේගවල පොදු න්‍යායපත්‍රයට එකඟව ( 1970 දශකයෙන් පස්සෙ රටකරවපු හැම ආණ්ඩුවකටම මේ විග්‍රහය වලංගුයි, දෙමළ ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කරපු සිද්ධිය හැර! )
මේ වෙලාවෙ රට ඇතුළෙ ප්‍රධාන වශයෙන් වෙන්නෙ වැඩ දෙකයි!
1. රාජ්‍ය, බෙදුම්වාදී ආකෘතියකට මාරුකරල දුර්වල කරන්න අවශ්‍ය කටයුතු.
2. රට, ණය උගුලෙ හිරකරල, ඔවුන්ගෙ රටවලට ලාභ ඇදගන්න අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු.
ලංකාවේ පොදු ජනයාට, දේශපාලන නියෝජිතයන්ට සහ උගතුන්, බුද්ධිමතුන් යැයි කියාගන්න අයට මේ මහා කතාව සමස්තයක් විදිහට අහුවෙන්නෙ  නැහැ. හුඟක් අය තම පැවැත්මට මොකක් හරි කෑල්ලක එල්ලිලා ඉන්නව.
ලංකාවෙ තාරුණ්‍ය නැවත නැවතත් මේ ඓතිහාසික වට පිටාව ඇතුළෙ වැරදි පාරවල් හොයාගන්නව. යාපනයෙ විශ්ව විද්‍යාලයෙ දෙමළ ශිෂ්‍යයන්ටත් දැන් වෙන්නෙ ඔය ටිකමයි. ප්‍රභාකරන් වෙනුවට ඉස්සරහට එන සම්බන්දන් ගෙන් පටන් ගන්න දෙමළ නයකයො කරන්නෙ අර මහා න්‍යායපත්‍රය ඇතුළෙ තම තමන්ගෙ පැවැත්ම හදාගන්න ජාතිවාදය වපුරන එක, දෙමළ තාරුණ්‍ය නොමග යවන එක. මේ තත්වය එන්න එන්නම වර්ධනය වෙනව, හේතුව සරලයි, මේ අර මහා න්‍යාය පත්‍රයෙ අත්‍යවශ්‍ය අංගයක්.
යාපනයෙ විශ්ව විද්‍යාලයට සම්බන්ධ මේ සිද්ධිය ගැන, මේ දැන් ඉතා විධිමත් පරීක්ෂණයක් කරන්න ඕනෙ, ආරක්ෂක අමාත්‍යංශය, හමුදා බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා එකට වැඩකරන්න ඕනෙ. ප්‍රචණ්ඩත්වයට ඉඩ දෙන්න බැහැ, වරදට අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕනෙ. ඊළඟට පාර්ලිමේන්තුව තුළ, මේ ගැන විධිමත් සංවාදයක් ඇතිවෙන්න ඕනෙ. නැවත මෙහෙම දෙයක් නොවෙන්න අවශ්‍ය තාක්ෂණික වටපිටාව සකස් කරන්න ඕනෙ.
ඔය ඊනියා සාමවාදීන්ගෙන් නං මොකුත්ම බලාපොරොත්තු වෙන්න බැහැ!ඔවුන්ට මේ තුවාලය ඕනෙ!!
ඒ අතරෙ, මේ භයානක උගුල් වලින් බේරිලා ශක්තිමත් රටක් විදිහට ගොඩ නැගෙන්නෙ කොහොමද කියන බරපතල දේශපාලන සංවාදය ගොඩනගන්න ඕනෙ, ජනමාධ්‍ය සහය ඊට අවශ්‍යමයි...
ඒත් ඒ කොහොමද?
CHAPA  
   

No comments:

Post a Comment