Saturday, May 27, 2017

   මාධ්‍ය 'සමාජ'මෙහෙයුම්!


මහා වැසි, රට පුරා ජනී ජනයා පීඩාවට පත් කරද්දි, රාජ්‍ය මැදිහත්වීමට සමගාමිව, විවිධ මාධ්‍ය ආයතන දියත්කර තිබෙන සහන සේවා මෙහෙයුම් අප අගය කළ යුතුමයි!
එක පැත්තකින්, රාජ්‍ය යාන්ත්‍රණයෙ අපොහොසත් බව නිසා ඇතිවන හිඩැස් පිරවෙන්නෙත් මේ මාධ්‍ය මෙහෙයුම් නිසා.
එනම්, ජනප්‍රිය මාධ්‍ය ආයතන, තම ජනප්‍රියත්වය හරහා පොදු ජනයාගෙන් එකතු කර ගන්නා අනෙක විධ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ විශේෂයෙන්ම පානිය ජලය, විපතට පත් වුවන් සොයා ගොස් බෙදා දෙන මාධ්‍ය ක්‍රියාන්විතය එක විදිහක නව සමාජ ප්‍රවණතාවක් ලෙස කියවා ගන්නත් පුළුවන්. මීට පෙර 'සුනාමි' ප්‍රමුඛ බලවත් ස්වභාවික ව්‍යසනයන් අතර තුර ත් මේ ''මාධ්‍ය සමාජ මැදිහත් වීම'' හොඳින් දැකගන්න පුළුවන් වුණා. අනෙක මාධ්‍ය මැදිහත්වීම නිසා, පවතින නියම තත්වය ලෝකයට නිරාවරණය වෙමින් අවශ්‍ය සහන කටයුතු විධිමත් වන ආකාරයත් අපි නිවැරදිව තක්සේරු කරන්න ඕනෙ.
මේ ක්‍රියාන්විත තුළ, මාධ්‍ය ආයතන අතර එක්තරා ආකාරයක තරඟකාරී තත්වයක් ඇති වී තිබෙනවා. ඒ ඒ ක්‍රියාකාරකම් හරහා ඒ ඒ මාධ්‍ය ආයතන වලට විශාල ප්‍රචාරණ වාසියකුත් ලැබෙනවා. ඒ නිසාම, ඇතැම් පුද්ගලයන් මේ ප්‍රවණතාව, යම් කුහක ආකාරයකට විග්‍රහ කරගන්න උත්සහ ගන්නා ආකාරයකුත් පේනවා. එය එසේ නොවිය යුතුයි. ඒ අතර, එවැනි කුහක විවේචකයන් කිසිදු ආකාරයකින් විපතට පත් වුවන්ට සහනයක් සැලසීමට උත්සහ නොගන්නා බවත් දැක ගන්න පුළුවන්.
තවද, මෙවැනි කටයුතු වලදි, අදාළ මාධ්‍ය ආයතන යම් යම් දුෂණ, වංචා සහ අක්‍රමිකතා සිදුකරනවා නං එය සොයා බැලීම වෙනම කටයුත්තක්. අනෙක් අතට, එවැනි තත්වයන් ඇති නොවන පරිදි, තම ක්‍රියාකාරකම් සඳහා වඩා පාරදෘශ්‍ය ක්‍රම යොදා ගැනීම, ඒ ඒ මාධ්‍ය ආයතනවල වගකීමක්. 
කොහොම ගත්තත්, ධනවාදය තුළ සොයාගත හැකි සහ සොයාගත යුතු මෙවැනි සමාජ හිතවාදී ප්‍රවණතා ධෛර්යමත් කිරීම පොදු සමාජ වගකීමක්.
ඒ වගේම, කිසිදු ප්‍රති ලාභයක් නැතුව, මේ වැඩ වලට සම්බන්ධ වන මාධ්‍ය ආයතන සාමාජික සාමාජිකාවන් අනිවාර්යයෙන්ම සමාජ ඇගයීමකට ලක් වෙන්න ඕනෙ. ( මගේ ) පුද්ගලික අත් දැකීම් අනුවත්, එවැනි අසාමාන්‍ය කැපවීම් කරන විශාල මිනිස් ජවයක් ඒ ඒ මාධ්‍ය ආයතන වටා සිටින බව නිශ්චිතයි. 
ඉතිං, මේ ස්වභාවික ව්‍යසන අතරින්, වෙනස් විදිහකට ලෝකය කියවා ගන්නත් අපි උත්සහ කරමු!
CHAPA 
2017 මැයි 28

No comments:

Post a Comment