Tuesday, May 2, 2017

     ශ්‍රී tv අධිපති තුෂාර කුරේරා ට ලියමි...

   ශ්‍රී tv, ඉන්දික තොටවත්ත ලා මිල දී ගත්තා ද? 


ඊයේ, එනම් 2017 මැයි 2 රාත්‍රියේ, ඔබ අධිපතිත්වය දරන ශ්‍රී tv ආයතනය මෙහෙයවන face to face සජීව වැඩසටහනට, ඉන්දික තොටවත්ත ට එදිරිව සහභාගී වුණු මම, මේ සටහන් කිරීමට සුදානම් වන්නේ ඉතාමත්ම බරපතළ සිද්ධියක් සම්බන්ධව යි.
අදාළ සිද්ධිය සැකවින් මෙසේය;
පසුගිය සතියේ අඟහරුවාදා හෝ ඊට අසන්න දවසක, උදේ ඔබ ආයතනය වෙනුවෙන් වැඩ කරන සුපුන් නම් වූ පුද්ගලයෙක් මට දුරකථනයෙන්  කතා කරමින්, එදින රාත්‍රී සජීව වැඩසටහනකට පැමිණිය හැකිදැයි විමසුවේය. හැකි සෑම මොහොතකම, ඕනෑම සංවාද අවස්ථාවක් ලබා ගැනීමට සුදානමින් සිටින මම ඊට කැමති වීමි. අදාළ වැඩසටහනට තවත් කිසිවෙක් පැමිණෙන්නේ දැයි මම පෙරළා විමසු අතර, ඉන්දික තොටවත්ත ද ඒ සඳහා පැමිණෙන බව එවිට ඔහු කියාසිටියේය. මම එක හෙළා ඊට කැමති වූ අතර, වැඩසටහන මෙහෙයවන කෙනා පිළිබඳ තීරණයක් ගත් පසු, වැඩසටහනට මගේ පැමිණීම confirm කරන බව හෙතෙම පැහැදිලි කළේය.
'' මම එන්නෙ, එක පොරොන්දුවක් පිට...මට අනිවාර්යයෙන්ම ඒ වැඩසටහන You Tube දාන්න ඕනෙමයි...නැත්තං මම එන්නෙ නැහැ, කාලය අපරාදෙ!''
අප ඉදිරිපත්කරන අදහස් සහ ගොඩනගන්න උත්සහ කරන සංවාද පිළිබඳ නිවැරදි කරුණු අනාගතය වෙනුවෙන් සටහන් කර තැබීම අත්‍යවශ්‍ය බව මම දැඩි ලෙස පිළි ගන්නෙමි, ඒ වෙනුවෙන් වැඩ කරන්නෙමි. 
ඔහු එකඟ විය.
එහෙත්, රාත්‍රිය වන තුරුත් ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු අතර, රාත්‍රී 10 - 10. 30 අතර වෙලාවක මගේ දුරකථනයට Ring cut දෙකක් ලැබුණු බැවින්, නිකමට ඒ කවුරුන්දැයි බැලීමට, අදාළ දුරකථන අංකයට කතා කළෙමි.
''ඔබ තුමා දැන් කොයි හරියෙද ?''
අර උදේ මට කතා කළ සුපුන් නමැත්තාගේ කටහඬ එවර මම හැඳින ගතිමි. ''ඒ කියන්නෙ?'' මම එකවර ඇසුවෙමි.
''වැඩසටහනට එන ගමන් නේද?''
''පිස්සුද? ඔයා කිව්වනෙ ආපහු call කරලා confirm කරනවා කියලා, කතා කරපු නැති නිසා මම හිතුවා වැඩසටහන නැහැ කියලා...''
''කතා කරන්න නං බැරි වුණා...ඒත් වැඩසටහන තියෙනවා, තොටවත්ත මහත්තයා නං ඇවිල්ලා...''
''විකාර නං කරන්න එපා! ඔයා මොකද්ද මේ කරන වැඩේ? හරි! එක්කෝ මට විනාඩි 40 ක් විතර දෙන්න, මම ඉක්මනට එන්නං... එහෙම නැත්තං වැඩසටහන කරගෙන යන්න, හැබැයි මගෙ නමක් වත් කියන්න නං එපා!''
''එහෙම නං ඔබ තුමාව ලබන සතියෙ ගෙන්නවා ගන්නං...''
''ඕන එකක්, හැබැයි අද මට එන්න කිව්වා, ආවෙ නැහැ කියලා එහෙම නං කියන්න එපා..මම ඉන්දික තොටවත්තට අභියෝගයක් කරලා තියෙන්නෙ...එයා කියයි මම බයේ ආවෙ නැහැ කියලා...''
මම නොසතුටින් ඔහුට පැහැදිලි කළෙමි.
ඒ අතර, මම, ඔබට ද මේ පිළිබඳ පැමිණිළි කළ බව මතක් කළ යුතුය.
ඊට පසුව, පෙරේදා, සුපුන් නමැති පුද්ගලයා යළි දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා සිටියේ, ඊයෙ, එනම්, 2017 මැයි 2 රාත්‍රි, ඉන්දික තොටවත්ත සහ මම සහභාගී කරවන වැඩසටහනක් සුදානම් කර ඇති බවය. මම ඊට එකඟ වී නියමිත වේලාවට එහි ගියෙමි. ටික වේලාවකට පසුව ඉන්දික තොටවත්ත ද පැමිණි අතර, නියමිත වේලාවට මදක් පමා වී හෝ අදාළ වැඩ සටහන ආරම්භ වූ අතර එය මෙහෙය වුයේ සුපුන් නමැති එම පුද්ගලයාමය. එම සජීව වැඩසටහන ඉතාමත්ම උණුසුම් වූ අතර, ඉන්දික තොටවත්තට අධි මානසික බලයක් නොමැති බවත්, ඔහු බොරු අනාවැකි ඉදිරිපත් කරමින් විවිධ දේශපාලන ව්‍යපෘති කරන දේශපාලන අපරාධ කාරයෙකු බවත් මම එහි දි කරුණු සහිතව පෙන්වා දුන්නෙමි. ඒ සම්බන්ධයෙන් යළි යළිත් ඔහුට අභියෝග කෙරුවෙමි. අවසානයේදී, ගුප්ත ශාස්ත්‍ර පර්යේෂකයෙකු වන විද්‍යා කුලපති ද සහභාගිකරවාගෙන, ඊ ළඟ අඟහරුවාදා,  ඒ සඳහාම තවත් වැඩසටහනක් කරන බවට එකිනෙකා පොරොන්දු කරවා ගෙන වැඩ සටහන හමාර කොට අපි විසිර ගියෙමු.
අද උදේ, මීට මොහොතකට පෙර, සුපුන් නමැත්තාට මම දුරකථන ඇමතුමක් ලබා ගත්තේ Peo tv තුළ  ශ්‍රී tv සුසර වන්නේ දැයි දන ගැනීමටය. එවිට ඔහු කියූ කතාවෙන් මම මොහොතකට හිස් වූ බව ඔබට කිව යුතුමය.
''ඊයෙ වැඩසටහන capture වෙලා නැහැ...''
එනම්, ඊයෙ වැඩසටහන පිළිබඳ දැන් කිසිදු සළකුණක් නැත!
ඊයේ නැවත වතාවක් ඉන්දික තොටවත්තගෙ භයානක දේශපාලන නිරුවත හෙළිදරව් වූ බව දැන් ඉතිං ඔප්පු කරන්නේ කෙසේද? ඔහු දේශපාලන තක්කඩියෙක් බව තහවුරුවීම ශ්‍රී tv තුළ මෙසේ මකා දැමෙන්නේ අහම්බයක් ලෙස යැයි මම පිළිගත යුතු ද?
නැත! එය අහම්බයක් නොවේ.
මීට පෙර ද,  මීට සමාන අවස්ථා දෙකක්, ඔබේ මාධ්‍ය ආයතනය තුළ මම අත්විඳ ඇත්තෙමි. ඒ, ජ්‍යෝතිෂවේදියෙකු ලෙස පෙනී සිටින සරත්චන්ද්‍ර නැමැත්තෙකු සහ අශෝක අබේගුණවර්ධන සමඟ වෙන් වෙන්ව සහභාගී වූ වැඩසටහන් දෙකක් සම්බන්ධවය. ඒ අවස්ථා දෙකෙහිදී ම ද අදාළ පාර්ශ්ව බරපතළ ප්‍රශ්න කිරීමකට ලක් වූ අතර, එම වැඩසටහන් ද කිසිදු සලකුණක් නොතබා එකවර ම අතුරුදහන් විය. මගේ අත්දැකීම්වලට සහ කියවීම්වලට අනුව නම් මේවා සැලසුම්සහගත ''දේශපාලන අපරාධ'' මිස වෙන අන් සිදුවීම් නොවේ.
ඒ අතර, මේ දැන් සිදුවූ විශේෂ සිදුවීමක් ද සටහන් කරන්න මට ඉඩ දෙන්න!
මෙම ලියැවිල්ල සකස් කරමින් ඉන්න අතර තුර, මේ දැන් Dr. ජයසුමන මට දුරකථනයෙන් කතා කළ අතර, ඊයෙ රෑ වැඩසටනහනක දී මහාචාර්ය නලින් සිල්වා සහ ඔහුට තක්කඩි! යැයි බැන වැදුණේ දැයි ඔහු විමසා සිටියේය.
''කවුද Dr. ට ඔය කතාව කිව්වෙ?''
''ඉන්දික තොටවත්ත...''
කතාව දැන් පැහැදිලිය. ඉන්දික තොටවත්ත, ඊයෙ වැඩසටහනට පෙර, මා සමඟ කළ සුහද කතා බහේ කොටස් විකෘති කරමින් සමාජය ගිනිතියන කැත! ඊයේ වැඩසටහනේ දී ද ඔහු මේ කැත උත්සාහයම ගත් අතර, මම එය පහසුවෙන් පරාජය කළෙමි. ඉන්දික මේ ''කළු මෙහෙයුම'' දියත් කර තිබෙන්නේ අදාළ වැඩසටහන පිළිබඳ කිසිදු සලකුණක් නැති බව තමා හොඳින් දන්නා නිසා නොවේද?
ඒත් මේ මොන සංවාදයක් ද?
අනෙක, ඉන්දික තොටවත්තට, අධි මානසික බලයක් නෙවෙයි, සාමාන්‍ය මිනිස් බලයක්වත් නැති හැටි!
ඉතිං අවසන් වශයෙන් ඔබට මෙසේ ලියමි.
මම, කිසිදු ප්‍රතිලාභයක් නොලබා, මේ සියළු මාධ්‍ය ආයතන වලට සහයෝගය දෙන සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටින මාධ්‍ය කරුවෙක්, සියළු පක්ෂ අභිබවා ක්‍රියාත්මක වන දේශපාලන ක්‍රියාකාරිකයෙක්. ඉතිං මේ ''ජඩ මාධ්‍යකරණය'' වෙනස් කරන්න මැදිහත් වෙන්න!
හෙට නං අනිවාර්යයෙන්ම පමා වැඩි වේවි!
මතක තියාගන්න!
මේ අවස්ථාව මග හැරියොත් ඉතිහාසය තුළ අපට සමාවක් නං ලැබෙන්නෙ නැහැ!
CHAPA
2017 මැයි 3    

No comments:

Post a Comment