Thursday, July 13, 2017

   ආදරණීය දෙරණ!

ඒ, 2015 මැද එක දවසක කලබලකාරී උදෑසනක්!
මරදාන මායිමේ විපුලසේන මාවත දිගේ රිය පදවාගෙන යන අතරෙ මට අහම්බෙන් වගෙ, ඒ පාර අයිනෙ නිවහනක වාසය කරන නිහාල් ශ්‍රී අමරසේකර, පරණ වැඩිහිටි හිතවතෙක්! මතක් වුණා. ඔහු, යම් නමක් හදා ගත්ත, වරලත් ගණකාධිකාරිවරයෙක්. අවුරුදු ගණනකට පස්සෙ ඉතිං කිසිම විශේෂ හේතුවක් නැතුව, ඔන්න මම ඔහු බලන්න ගියා. ඒත් ඔහු ඒ දවස්වල විදේශගත වෙලා. එතකොට මට නිකමට වගෙ ඔහුගෙ පුත්‍රයා මතක් වුණා. වරක් හෝ දෙවරක් ඒ ගෙදරදීම අපි අහම්බෙන් වගෙ හම්බවෙලා තියෙනවා. ඔහු, සර්වජන. ඔහුත් ඒ මොහොතෙ එහෙ හිටියෙ නැහැ. මට නිකමට හිතුණා ඔහු මුණ ගැහෙන්න.
ඒ වෙනකොට ඔහු Triad නම් වූ වෙළෙඳ ප්‍රචාරණ ආයතනයට සම්බන්ධව සිටින බවත් එතැන දි දැන ගත්තා. ඉතිං අපි මුණ ගැහුණා. එදා තමයි මට ඒ ව්‍යාපාර ජාලයෙ ප්‍රධානියා, දිලිත් ජයවීර මුණ ගැහෙන්නෙත්.
අන්තිමට ඒ මුණ ගැහීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම, ඒ ව්‍යාපාර ජාලයටම අයත් දෙරණ නාලිකාව ට ගොඩ වදින්නෙ.
මේ සටහන ඉතිං, ආදරණීය දෙරණ ගැන!
දෙරණ, නුගේගොඩ - දෙල්කඳ හන්දිය ට යාබද ව පවත්වාගෙන යන කාලයෙ, 'අවකාශය' නමින් එහි විකාශය වූ වැඩ සටහනකට දවසක් මටත් ආරාධනාවක් ලැබුණා. වැඩසටහන කෙරුවෙ නාරද බක්මීවැව. එය සොඳුරු අත් දැකීමක්!
ඊට අවුරුදු ගණනාවකට පස්සෙ යළිත් දෙරණ හරහා ජනතාගත වෙන්න මට අවස්ථාවක් හැදෙන්නෙ, ඔවුන් සංවිධානය කරපු, ''අලුත් පාර්ලිමේන්තුව'' හරහා. ඒ වන විට ඔවුන්, දැනටත් පදිංචි කොළඹ, ඩාර්ලි පාරෙ අලුත් තැනට ඇවිත් තිබුණා. මම ත් සහභාගී වුණු මුල්ම ''අලුත් පාර්ලිමේන්තුව'' වැඩසටහන, නාරාහේන්පිට ට  ආසන්න චිත්‍රාගාරයක දි ඔවුන් කලින් රූ ගත කෙරුවා. ඒ දවස මට තවම හොඳට මතකයි. ඒක දැවැන්ත වැඩක්! වැඩසටහන පටන් ගන්න කලින් දිලීත් සහ දෙරණ සභාපති ලක්සිරි ත් එහෙ ඇවිත් හිටියා. මාධ්‍ය ක්‍රියාන්විතය භාරව ඉන්න මාධව ත් හිටියා වගෙ මතකයි. විවිධ ශිල්පීන් සමඟ 30 - 40 ක විශාල පිරිසක්, කඩි  ගුලක් ඇවිස්සිලා වගෙ. නුතන තාක්ෂණික උපකරණ, උණුසුම් පිළිගැනීම්. මිත්‍රශීලී සංග්‍රහ.
ඒ සෙසු සියල්ල අමතක වුණු 'අමුතු ම' මොහොතක්!
අලුත් පාර්ලිමේන්තුව නිෂ්පාදක කණ්ඩායමේ ප්‍රධානියා, ප්‍රසාද්, වැඩසටහන ඉදිරපත් කරන ඩිල්කා සහ තවත් හුඟාක් මිත්‍රයො එදා තමයි මට මුළින් ම මුණ ගැහෙන්නෙ. නිෂ්පාදනය ට සහය වුණු කුමාර ලියනගේ ත් අවුරුදු ගණනාවකට පස්සෙ මුණ ගැහුණා. ඔවුන් ගෙ ඒ බලපොරොත්තු සහගත සුන්දර මුහුණු කවදාවත් අමතක නොවන විදිහට එදා මගෙ හිතේ ඇඳුණා.  ඔය අතරින් ප්‍රසාද් විශේෂයි. අපි, එදා මෙදා තුර දිගටම - ඉතාම හොඳ සංවාදයක ඉන්නවා. සුහද සාකච්ඡා, උණුසුම් වාද විවාද මැද අපි, ජනප්‍රිය මාධ්‍ය භාවිතය තුළ යමක් කරන්න උත්සහ ගන්නවා.
කොහොම වුණත් එදා ඒ අරම්භයත් එක්ක අද මේ වෙනකොට මම ත් නොදැනීම ඔවුන් සමඟ, අද දෙරණ Insight දක්වා සෑහෙන දිග ගමනක් ඇවිත් තියෙනවා.
මේ සටහන ලියන්න ඉතිං මා තුළ ඇතිවන විශේෂ පෙළඹවීම කුමක් ද?
ඔබ කල්පනා කරනවා, මම දන්නවා.
දෙරණ, මාධ්‍ය ආයතනයක් විදිහට, මේ ගෙවන 'මොහොත' අතිශය තීරණාත්මකයි, අන්න ඒ මොහොත තුළ ජීවත්වීමට උත්සහ කිරීම තමයි මා තුළ මේ පෙළඹවීම ඇතිකරන්නෙ.
ටිකක් ඉන්න! මම මෙහෙම කියන්නං!
'දෙරණ' කියන්නෙ, මට අනුව මහා මිනිස් ජවයක් සාමුහිකව පණ දෙන, සමාජ අවකාශයක් - දේශපාලන අවකාශයක්. මරදානෙ, ඩාර්ලි පාරෙන් හැරිලා, දෙරණ පිහිටුවා තියෙන ඉපැරණි ගොඩනැගිල්ලට ඇතුළු වෙලා, 4 වැනි මහළ ට යන්න විදුලි සෝපානයට ගොඩ වෙනකොට ම මට නං වෙනස් අමුතු හැඟීමක් ඇති වෙන්න පටන් අරන්. නිදහස, විවෘත බව, සාමුහිකත්වය, පිළිගැනීම, සුහදත්වය, සංවාදශීලීබව...ඔය ඔක්කොම එකට මුහු වුණු චමත්කාරජනක සිතුවිල්ලක්! ඒ වෙනස් වර්ණය, ඉඳ හිට ගොඩවෙන, නවම් මාවතේ පැත්තක පිහිටා තියෙන ඔවුන්ගෙම Triad ආයතනය පුරාමත් මට දැනෙනවා. එහෙම බලනකොට මේ සියල්ල වෙනස් සහ අපුරු ගොඩ නැගීම්. ඇත්තටම, අපි රටක් හැටියට මේ නවමු 'බිහිවීම්' අධ්‍යනය කරන්න ඕනෙ. ඒ අතර, දෙරණ ඉදිරිපත් කරන සමහර ජනප්‍රිය වැඩ සටහන් ගැන මගේ දැඩි විවේචන තියෙනවා. ඒත් එක්කම, ජනප්‍රිය වෙළෙඳපොළ ඉල්ලුම සමඟ තම පැවැත්ම වෙනුවෙන් ඔවුන්ට කරන්න සිද්ධ වෙන අරගලය ගැනත් හොඳට දන්නවා. හැම මාධ්‍ය ආයතනයකටම, තම පැවැත්ම හදා ගන්න සිද්ධ වෙන්නෙ, පවතින මේ කටුක යථාර්ථය සමඟ ගැටෙමින් ම තමයි. ඒ ඉතිං තවත් සංවාදයක්!
මම මේ ගොනු කරන්න හදන මුලික අදහස ඊට වෙනස්!
දෙරණ තුළ පවතින අනිවාර්ය මානව නිදහස සහ විවෘත බව, එහි මහා මිනිස් ජවයත් එක්ක තව දුරටත් නිර්මාණශීලීව ගළපා ගත්තොත්, මේ යන ගමන තවත් ශක්තිමත් වෙයි. අර්ථාන්විත වෙයි.
දෙරණ සහෘදයන් ට මේ කියන්නෙ!
මේ මොහොත මග හරින්න නං එපා!
ඔව්! ආදරණීය දෙරණ! සමඟ ගමන ඉක්මන් කරන්න! මේ ඔබේ මොහොත හෙවත් ඉතිහාසය තුළ ඔබට හිමි මොහොතයි!
CHAPA
July 13, 2017


 

 

No comments:

Post a Comment