Thursday, July 27, 2017


දැනුණා? බම්බුව!!

පහුගිය 24 වැනිදා රෑ වෙනකම්ම වගෙ අපි හිටියෙ ලිප්ටන් වට රවුමෙ, අපි කියන්නෙ ඉතිං සිය ගණනක්! ඒ අතර මම, විදර්ශන, භූපති, ඔවුන්ගෙ තවත් මිත්‍රයෙක් සහ තවත් පොදු මිත්‍රයෙක් ''බඩ ගිනියි...තේ එකක්වත් බොමු ද?'' කියලා දවටගහ පල්ලිය පැත්තට ඇවිදගෙන ගියා. පල්ලිය පැත්තෙම දෙවැනි කඩේට තමයි ඒ වෙලාවෙ අපි ගොඩ වුණේ.
කඩේ නං අන්තිම අපිරිසිදුයි, ඒත් පොඩි රස්තියාදුකාරකමක් එක්ක වෙනස් සාමුහික විඳීමක් හිතට දැනුණා.
''චාපා ගෙ මේ මැදිහත්වීම් ගැන ප්‍රශ්නයක් නැහැ, මං කියන්නෙ මේක පැහැදිලියි..ඒ වුණාට...''
විදර්ශන ඔන්න තේ බොන අතරෙ කතාවක් පටන් ගත්තා.
'' හරි, අපි ඒ ගැන කතා කරමු! ඉස්සර අපි කතා කරන්න ගිහිං එක් තැනක හිර වුණා, මතකද?''
මමත් ප්‍රතිචාර දක්වනවා.
''ඔව්! අපි කතා කරන්න ඕනෙ...''
මාක්ස්, සාත්‍රේ, සිමොන්...
''අපෝ මචං දැන්නං ඕක පටන් ගන්න එපා!''
''මේක වෙනම කේස් එකක්''
භූපති සහ ඔහුගෙ මිත්‍රයාත් අර අනිත් පොදු මිත්‍රයාත් පොඩි පොඩි කොටස් කතාවට එකතු කරනවා.
අපි කොහොමත් එතැන එච්චර වෙලා හිටියෙ නැහැ. ඒත් අපට තේ ගෙනත් දීපු මහත රවුම් මුණක් තියෙන මැදි වයසෙ පුද්ගලයා අපේ කතා බහ නිසා වෙනස් වෙනවා මම දැක්කා. අපි එළියට ඇවිත් අතිශය පුංචි වැඩකට ආයෙත් ඇතුළට යන අතරෙ ඔහුගෙ මුහුණෙ එක විදිහක අමුතු වෙනසක් මම හොඳටම දැක්කා.
''අපි කතා කරපු දේවල් නිසා ඔහු තුළ යම් වෙනසක් ඇති වෙලා?''
'' ඒත් ඒ කොහොමද?''
මම මගෙන් ප්‍රශ්න කරනවා.
'' ඔයගොල්ලෝ ඔය කතා කරන දේවල් අපිටත් තේරෙනවා, ඒත් මොනවා කරන්නද?''
ඒ එහෙම හැඟීමක් වෙන්න පුළුවන් ද?!
කොහොමහරි ඒ මුහුණ මට දැනුණා.
''දැනුණා? බම්බුව තමයි! බිල 350/- යි...ඉතුරු 650/- ගන්න අමතක වුණා! ඒක ඔන්න මං ගත්තා! හු...හු...''
ඇත්තම තමයි. අර මහත රවුම් මුහුණෙ අමුතු හැඟීම ඒකම වෙන්න ඕනෙ.
මට පහුවෙනිදා එක වෙලාවක එක පාරටම හිතුණා.  
ඔහු එදා බිල ගෙනත් දෙනකොට එක්කෙනෙක් දෙන්නෙක් ඒක ගෙවන්න උත්සහ කරන අතරෙ මම දාපු දාහෙ කොළයෙ ඉතුරු සල්ලි ආපහු ගෙනත් තිව්වාට ඒක ගන්න බැරි වුණා.
දැනුණා? බම්බුව!
CHAPA
July 26, 2017
                                                   

No comments:

Post a Comment