Wednesday, January 10, 2018

   එතෙක්! ඈතින් ඉම්මු...



මේ සටහන ටිකක් වෙනස්, වෙනස් කිව්වට වෙනසකුත්ත් නැහැ වගෙ, ඒත් ලියාගෙන යනවා.
අපට සාමාන්‍යයෙන් නොසලකා හැරෙන්නෙ සමීපතයන්! 
සමීප වෙන්න වෙන්න බොහෝ වෙලාවට ඈත් වෙන්න ගන්නවා...
කෙනෙක් මහන්සි වෙලා සහ දිග කාලයක් බලාගෙන ඉඳලා තව කෙනෙක් එක්ක සම්බන්ධතා පටන් අරගෙන ඉක්මනින්ම වෙන් වෙලා යන්න යනවා. ඒ වගේ සිදුවීම් තුළ කවුද හරි, කවුද වැරදි කියල ගණන් හදන්න බැහැ, බොහෝ වෙලාවට දෙන්නම ත් වැරදි ඇති. ඒත් කතාව ඒකයි.
මේ හමුවීම් සහ වෙන්වීම් අතර බොහෝ දුරට වැරදි වැටහීම් නං අප්‍රමාණයි. ඒක මෙහෙම වෙන්න ඇති, මේක එහෙම වෙන්න ඇති! වගෙ නිගමන අවසානය බවට පත් වෙලා හමුවීම වෙන් වීමක් දක්වා යන අවස්ථා වැඩියි. අනෙකා වැරදියට කියවා ගැනීමත් මේ අතර සුලබ යි. මෙයා මෙහෙම කෙනෙක්! තමයි කියල ළඟට එනකොට ම 'මෙහෙම කෙනෙක්' නෙවෙයි කියල දැනෙන්න අරගෙන කතාව ඉවර වෙනවා. 'මෙහෙම කෙනා' එතකොට කෙනෙකුගෙ ඔළුවෙ හැදෙන රූපයක්. එහෙම තමන්ගෙ හැඩයකට අනෙකා දා ගන්න හදන එක ත්, එක විධිහක අසාධාරණයක්.
හිතේ යටි අරමුණු තියාගෙන සම්බන්ධතා ගොඩ නගන්න උත්සහ කරන අය ගැන නං ඉතිං විශේෂයෙන් ම කතා කරන්න දෙයක් නැහැ. කෙනෙක් අනෙකාව පාවිච්චි කරන්න හදන අවස්ථා, නුතන වෙළෙඳ පොළ ලෝකය තුළ එන්න එන්න වැඩි වෙනවා.
ඔය අතර, නිතර දකින කුකුළාගෙ කරමළය සුදුයි! හෝ පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා! වගෙ ගමේ කතා ත් මෙතැන ට අදාළයි. ළඟ නිතර ඉන්නකොට සහ සමීප බව වැඩි වෙනකොට සාමාන්‍යවීමක් දැනෙන්න ගන්නවා, එතකොට අනෙකා ගණන් නොගෙන ඉන්න ගතියක් හිතේ ඇති වෙනවා. මෙයානෙ ඉතිං! කියල අත හැරෙන ගතිය ඉතාමත් ම වැඩියි.
මානව සම්බන්ධතා සීමාවක් නැතුවම සංකීර්ණයි. ආදරය, ලිංගිකත්වය සහ ඒ දෙකටම පෑහුණු ආකර්ෂණය, තෘප්තිය, ආශාව, බලාපොරොත්තු, ආරක්ෂාව, තවත් මානසික තත්වයන්...ඔහොම ඔහොම එකිනෙකට පෑහුණු හැඟීම් වැළක්. ආර්ථිකය ප්‍රධාන භෞතික තත්වයනුත් මෙතැනට කඩා වදිනකොට ඒ ඒ කතා මහා පටලැවිලි බවට පත් වෙනවා.
මම සහ ඔබ එකතු වෙලා 'අපි' හැදෙනවා. අපි කියන්නෙ පොදු ආකෘතියක්. මේ තුන්වැනි තත්වය වටහා ගන්න එක සෑහෙන්න අමාරුයි. එය ගැඹුරු සහ පුළුල් සංවාදයක්!
ඒ සංවාදය ගොඩ නොනැගෙන තෙක්, ඈතින් ඉන්න එක තමයි කොහොමත් හොඳ! අඩුම තරමෙ එතකොට බලාපොරොත්තු වත් ඉතුරු වෙනවා!
ඔව්! එතෙක් ඈතින් ඉම්මු...
CHAPA 
Jan 10, 2018 

No comments:

Post a Comment