Friday, November 2, 2018

කන්ටෑක්ස් නෑ යකෝ!


"කොහොමද?"
දන්න කෙනෙක් වගෙ! මම හිතනවා.
"වැඩ කරගෙන යනවා..."
ජංගම දුරකථනය සජීව සංවාදයකට සූදානම්.
"මං දවසකුත් කතා කෙරුවෙ...අර ඇඩ්වර්ටයිසින්ග් කම්පැනි එකක? මතක ද මන්දා! අපි මාර්කටින්ග් ෆීල්ඩ් එකේ සෑහෙන්න දේවල් කරනවා..."
"ම්ම්ම්ම්...මතකයක් තියෙනවා...අර..."
මම එහෙම කියන ගමන් මතකය අවුස්සනවා.
"360' නං ඇදලා යනවා නේද? මම නොවරදවාම බලනවා!"
"යමක් කරන්න පුලුවන් ද කියාල උත්සහ කරනවා ඉතිං...දන්නෙ නැහැ, බලමු!"
"පුලුවන් පුලුවන්...ඔබ තුමාට පුලුවන්...මේ අපිත් ඉන්නවා..."
ඔහුගෙ කතාව උණුසුම්.
"ඒ වුණාට මිනිස්සුන්ට ඕන මේ දේවල් නෙවෙයි...කට්ටිය එකතු වෙලා මට බනින බැණුම්! පේන්නෙ නැද්ද!"
"එහෙම තමයි හොද වැඩ කරනකොට...ගණන් ගන්න එපා, අපි ඉන්නවා ඔබ තුමත් එක්ක..."
"ඒ වුණාට..."
"ඒක නෙවෙයි...ඔබ තුමාට මීඩියා එක්ක හොද කන්ටෑක්ස් තියෙනවානෙ නේද, බැරිද අපට ඔය මොනවා හරි වැඩ ටිකක් හොයා ගන්න?"
ඔහු මාතෘකාව වෙනස් කෙරුවා.
"ඒ කියන්නෙ?"
"මං කිව්වෙ ඔය මීඩියාවල ඇඩ්වර්ටයිසින්ග් වැඩ එහෙම...අපට ඕන ප්‍රොඩක්ෂන් එකක් කරන්න පුලුවං..."
"අපෝ මං ඒවා ගැන උනන්දු නැහැ...මට එහෙම කන්ටෑක්ස් නැහැ..."
"මං කියන්නෙ...ඔබ තුමාටත් ප්‍රතිලාභ ලැබෙන විදිහට...මොනවා හරි..."
"ඒක හරියන්නෙ නැහැ..."
"ඔබ තුමා රට වෙනුවෙන් කරන මේ සේවය ට අපිත් ඉතිං මොනවා හරි උදව්වක් කරන්න ඕනනෙ..."
"අනේ නැතුවට කමක් නැහැ..."
"හරි හරි...අපිත් ඔබ තුමා එක්ක!"
"හා.."
යන්තං ඇති! මං හිත සැහැල්ලු කර ගත්තා.
ඔන්න! තව call එකක්.
"හෙලෝ!"
"හෙලෝ...චාපා මහත්තයා...මේ වෙලාවෙ කතාකෙරුවට කමක් නැද්ද? අනේ කියන්න..."
අහ්! මේ අර වරින් වර කතාකරන කෙනා. ඔහු අවුරුදු හැත්තෑ ගණනක පුද්ගලයෙක්. මගේ වැඩ සටහන් නිසා වෙනස් විදිහකට ලෝකය දකින කෙනෙක් ලු!
"කමක් නෑ...අපි කතා කරමු..."
"මං අර ඊයෙ ලයිව් එකත් බැලුවා...ඇත්තටම මේ රට ගැන දුකයි! මට නං ඉතිං කරදරයක් නෑ. ළමයි මට වියදම් කරනව..."
ඔහු ඔය විස්තර කියන ගමන් දුකෙන් වගෙ කියනව, "අනේ ඉතිං ඔබ තුමාට උදව්වක් කරන්න බැහැනෙ!" කියල. මම එතකොට කියනවා " අපෝ කමක් නැහැ, ඔහොම හිතන එකත් කොච්චර දෙයක් ද!" කියල.
"මං මේ කතා කළේ...අපේ ළමයෙකුගෙ බිල්ඩිමක් තියෙනවා තට්ටු තුනක... ඒක විකුණන්න දාලා තියෙන්නෙ, ඒක විකුණ ගත්තොත් නං ඔබ තුමාට ලොකු උදව්වක් කරන්න පුලුවන් ඔය සෝෂල් මීඩියා වැඩේ හොදට කරගෙන යන්න..."
අද ඔහුගෙ කතාව වෙනස්, හඩ ත් වෙනස්.
"එහෙම කිව්වට ඒ බිල්ඩිමේ කිසි අයිතියක් එහෙම මට නැගැ..ඒත් මට පුලුවං දරුවට කතා කරලා ඔය මිලියන පහක් හයක් වගෙ එහෙ මෙහෙ කරල ඔබ තුමාට දෙන්න..."
"මොකක්? ඒ කිව්වෙ?"
"මං කියන්නෙ ඔබ තුමාට කන්ටෑක්ස් එහෙම තියෙනවනෙ... කවුරු හරි බයර් කෙනෙක් මට හොයල දුන්නොත්...මට පුලුවං..."
"අපෝ මං බ්‍රෝකර් වැඩ නං කරන්නෙ නෑ!"
" නෑ නෑ එහෙම නෙවෙයි..."
මං දන් මොකද්ද ඔහුට කියන්න ඕන?!
" කන්ටෑක්ස් නෑ යකෝ!"
චි: එහෙම කියන්න හොද නෑ! call එක cut කරනවා.
"හෙලෝ...හෙලෝ..."
ඒ පාර කවුද?
CHAPA, Nov 3, 2018





No comments:

Post a Comment