Saturday, October 1, 2016

WHAT is Sarath Nanda Silva, former CJ?

'' ...කෙසේ වෙතත් මම කොතරම් තදින් මේ ප්‍රශ්නයට මැදිහත්වුයේද යත්, ඒ වන විටත් අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මට සම්බන්ධ නඩු තුනක්ම සලකා බැලෙමින් තිබෙන බව නිතර නිතර මට මතක් කර දීමට මගේ නීතීඥ වරුන්ට සිදුවිය. එනම් යුධාධිකරණයට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සහ මා ඊට පෙර අත් අඩංගුවට ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ඒ වන විටත් කොළඹ අධිකරණ පද්ධතිය තුළ ඇහෙමින් තිබිණි. මේ සියල්ලම අග විනිසුරුවරයාට සම්බන්ධ බැවින් මා ප්‍රවේශම් විය යුතු බවත් අගවිනිසුරුවරයා විවේචනය කිරීමේ
දිනක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මගේ පෙත්සම් විභාගයට ගන්නා අතර තුරදී නීති පති දෙපාර්තමේන්තුවෙන් පැමිණි නිලධාරියෙක් අගවිනිසුරුවරයා ඉදිරියේ කියා සිටියේ, මම හමුදාවේ චිත්ත ධෛර්ය අඩපණ කිරීම සඳහා රාවයට ලිපි ලියූ බවය. ඔහු අගවිනිසුරුවරයා දෙස මහත් උනන්දුවෙන් බලමින් 'රාවය' යන යෙදුම බර කළේය. මගේ මතකය නිවැරදි නම් ඊට පෙරදින රාත්‍රියේද ටීඑන්එල් චැනලයේ ජනහඬ සජීව සංවාදයේදී අගවිනිසුරුවරයාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළෙමි. නීතිපතිවරයාගේ නියෝජිතයාට අවශ්‍ය වුයේ මට විරුද්ධව අගවිනිසුරුවරයා ඇවිස්සීමයි.
              '' හමුදාව ඉතිං පත්තර බල බලා ඉන්නවා මිසක් යුද්ද කරන්නෑනෙ..''
අගවිනිසුරුවරයා තම පරිණතභාවය ප්‍රදර්ශනය කිරීමට මෙන් කියා සිටියේය. එසේම ඔහු කිසිදාක පුද්ගලික ඇසකින් මගේ නඩු ගොනු දෙස නොබැලූ බවක් ද පෙනෙන්නට තිබුණි. ඒ පැත්තෙන් බලන විට ඔහු පරිණත විනිසුරුවරයෙකැයි සඳහන් කළ හැකි වුවත්, මගේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා සහ අගවිනිසුරුවරයා අතර තිබූ කුළුපග සම්බන්ධතාව නිසා මගේ අරගලයට අදාළ අධිකරණ ක්‍රියාවලියේ අවසානය ගොනු වූ ආකාරය නිසා එවැනි නිර්දේශයකට නොයා සිටීමට මම තීරණය කරමි.
(රාවයට සාක්ෂියක්, 2008 ජුලි, 33 - 34 පිටු) 
 
මේ කියවීම දැන් එදාටත් වඩා වලංගුයි.
ඒ අගවිනිසුරුවරයා විශ්‍රාම ගියාට පස්සෙ වරින් වර කරපු ප්‍රකාශ හරහා ඔහුගෙ අගවිනිසුරු භූමිකාව යළි යළිත් අභියෝගයට ලක් වුණා. ඔහු විනිසුරුවරයෙක් විදිහට දීපු තීන්දු සහ අගවිනිසුරුවරයා ලෙස කරපු මැදිහත්වීම් මේ රටේ 'යුක්තිය' පසිඳලන්න හේතු වෙනව වෙනුවට යම් බරපතළ සමාජ විකෘතියක් ඇතිකරන්න හේතු වුණාද? එය එහෙම නං කවුද - කොහොමද ඒ ඓතිහාසික අපරාධයට වග කියන්නෙ?! ඔහු? හෝ ඔහු මෙහෙයවමින් ආරක්ෂා කරපු චන්ද්‍රිකා, හිටපු ජනාධිපතිවරිය? කවුද - කොහොමද?? ඒ චන්ද්‍රිකා - සරත් 'දේශපාලන විකෘතිය' මත නිර්මාණය වුණු ඒ ඒ දේශපාලන තත්වයන් නිසා රටට සිද්ධවෙන්න ඇති හානිය සහ ඒ අනුව විනාශ වුණු ජීවිත, පවුල්...කවුද - කොහොමද වග කියන්නෙ?
ඔය අතරෙ සරත් නන්ද සිල්වා, ව්ශ්‍රාම ගැනීමෙන් පසුව, යම් කාලයක් සුදු වතින් සැරසී TNL සහ 'බෞද්ධයා' නාලිකා ඔස්සෙ බුදු දහම ගැන විග්‍රහ කරන්න පටන් ගන්නව. ඇත්තටම ඔහුට සැලකිය යුතු මට්ටමක බුදු දහම පිළිබඳ දැනුමකුත් සිංහල සහ ඉංග්‍රීසි භාෂා නිපුණතාවයකුත් තියෙනව. ඔය හැකියාව සහ ඔහුට හිමි ජනකාන්ත බව නිසාම තමයි ඔහු අධිකරණ පද්ධතිය ඇතුළෙත් කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙන්නෙ. මේ සියල්ල එකතු කෙරුවම යම් ජනකාන්ත පෞරුෂයක් හැදෙන්න පටන් ගන්නව. ඒ තමයි සරත් නන්ද සිල්වා!
අන්තිමට, මේ මොහොතෙ ඔහු පෙනී ඉන්නෙ මහින්ද රාජපක්ෂ කඳවුරේ. ඔහු, මේ පෙනී හිටීමත් එක්ක තමන් ඉතුරු කරගෙන හිටපු තවත් මොකක් හරි තිබුණා නං ඒකත් නැති කරගත්ත, ඔහු නිසා මහින්දගෙ ත් මොකක් හරි  නැති වුණා වගෙ, ඒ මොකද්ද?
ඇත්තටම එතකොට සරත් නන්ද සිල්වා කියන්නෙ 'කුමක්ද?' මේ ප්‍රශ්නය අතිශය වැදගත් වෙන්නෙ, ලාංකේය දේශපාලනය තවදුරටත් කියවගන්න...
CHAPA  

No comments:

Post a Comment