Sunday, June 4, 2017

සුසන්තිකා ජයසිංහ ට ලියමි,

සුසන්තිකා!

දැන් ඉතිං ඔබ ඔය අතේ තියෙන රිදී පදක්කම වෙන්දේසි කරනවා ද ?
ඔබ ගැන දැන් නොදන්නෙ කවුද? ඔබ ධාවන ශුරියක් විදිහට බොහෝ ජයග්‍රහණ ලබා ගෙන අවසානයෙ ඔලිම්පික් නියෝජනය කරමින් තම මව් රටට ලබා දුන් රිදී පදක්කමේ අභිමානය කාටද අමතක කරන්න පුළුවන්. ඒ රිදී පදක්කම, නිකම් ම නිකං ලෝහ කැබැල්ලක් නෙවෙයි.
එය, ඔබ නිසා, ඔබේ මව් රටට ලැබුණු මිල කරන්න බැරි අභිමානයක සංඛේතයක්!
ලාංකේය මහ පොළොවෙ සාරයෙන් සහ එහි සංස්කෘතික රිද්මයෙන් ඉපිද පෝෂණය වී ශක්තිවන්තියක් වුණු ඔබ, එක දවසක වෙල් ඉපනැල්ලෙන් පටන් අරගෙන, ඔලිම්පික් දක්වා දුවපු දුර!
ඔබේ ඒ දිග ගමන ගැන ලියන්න වචන මදි සුසන්තිකා! ඔව්! ඔබ ආසියානු වෙළඹ ම තමයි!
ඒත් මම, ඔබට චෝදනා කරනවා!
ඒ ජග්‍රාහී ආසියානු වෙළඹ අන්තිමට ඔබම පරාජය කළා! කොටින්ම සුසන්තිකා ජයසිංහ කියන ක්‍රීඩිකාව, සුසන්තිකා ජයසිංහ කියන ගැහැනියට පරාජය වුණා.
ආපහු හැරිලා බලන්න, ජීවිතය දිහා. ඔබට ජීවිතය කළමනාකරණය කරගන්න බැරි වුණා. විවිධ පාලකයො, විශේෂයෙන්ම දේශපාලන බල අධිකාරිය හරහා ඔබට අසාධාරණකම් සිද්ධ වෙන්න ඇති, ඔබ ඒවාට ආත්ම ශක්තියෙන් මුහුණ දෙන්නත් ඇති. හැබැයි, පොදුවෙ රටේ ජනයා, විශේෂයෙන්ම ජනමාධ්‍ය ඔබව ඔසවාගත්තා. ඒ අතරෙ, විවිධ වෙළෙඳ බලවේග සහ දේශපාලන ව්‍යපෘති තුළ ඔබ 'පාවිච්චි' වුණු අවස්ථාත් තිබුණා. මම, පුද්ගලිකවම ඒ අත්දැකීම් විඳපු ජනමාධ්‍ය කරුවෙක්.
ඔබ ඔලිම්පික් දිව්වෙ 'කහපටියක්' පැළඳගෙන. මතකද? ඒ, එදා චන්ද්‍රිකා පාලනයට එරෙහි, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ  'ස්වර්ණබන්ධන' ව්‍යාපාරයෙ සංඛේතය. සටන් මධ්‍යස්ථානය තමයි 'රාවය'. ඒ දේශපාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණු කාලයෙ මමත් වැඩ කෙරුවෙ රාවයට තමයි. ඔබ නොදන්නවා වුණාට, ඔබ එදා ඔලිම්පික් පදක්කම අරං ලංකාවට එන වෙලාවෙ, කටුනායක සිට කොළඹ විහාර මහාදෙවි උද්‍යානය දක්වා,  ඔබව කැටුව ආ රිය පෙරහැරේ පෙරගමන් වාහනයෙ, ප්‍රචාරණ නිවේදන කටයුතු කරමින් ආවෙ මම යි.
ඒ කතාව මෙතැනට අදාළ නැහැ ඉතිං, කොහොම වුණත්.
අපි නැවත අපේ මාතෘකාවට එමු!
ඔබ එදා මෙදාතුර 'ජීවිතය' කළමනාකරණය කරගන්න අපොහොසත් වෙලා. විශේෂයෙන්ම ඔබේ ආර්ථිකය! ඔබ රටට විශාල කීර්තියක් ලබා දෙන අතරෙ, ඔබටත් සෑහෙන දේවල් ලැබෙන්න ගත්තා, විශේෂයෙන්ම ආර්ථික වාසි. මුළු ජීවිත කාලයම හොඳින් පවත්වාගෙන යන්න අවශ්‍ය ආර්ථික පදනම ඔබට වැටුණා. ඒත් කවදාවත් ඔබ සෑහීමකට පත්වෙන පාටක් පෙනුනෙ නැහැ.
අන්තිමට ඔබ, දැන්, තමන් ලබාගත්ත ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසියෙ විකුණනන්න කතා කරනවා.
ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර කියන විදිහට ඔබට අමාත්‍යංශයෙන් මාසිකව 60 000/- ක් දැනටමත් ගෙවනවා. 2020 දක්වාත් ඊට පස්සෙත් ඒ ගෙවීම කෙරෙනවා ලු. ඔහු කියන්නෙ, ක්‍රීඩාවට අදාළ ව්‍යාපෘතියක් ඔබට භාර දුන්නත් ඔබ එය නොසලකා හරිනවා කියලා.
ඇත්තටම ඔබ මේ රටේ ක්‍රීඩාව නගා හිටුවන මොනවද දැන් කරන්නෙ? ඇයි තවත් සුසන්තිකා ලා හදන්න මැදිහත් නොවන්නෙ?
ඔබට ලැබෙන්න ඕන දේවල් ගැන කියා කියා ඉන්නවා මිසක්, ඔබෙන් තවදුරටත් රටට වෙන්න ඕන දේවල් ගැන අවධානය යොමු නොකරන්නෙ ඇයි?
සුසන්තිකා! ඔය විකාර කතා නවත්තලා, රට ගොඩනගන, රටේ ජනතාව ගොඩනගන සහ විශේෂයෙන්ම ක්‍රීඩාව නගා හිටුවන්න මොනවාහරි කරන්න! හෙට පමා වැඩියි, අදම පටන් ගන්න!
CHAPA
2017 ජුනි 5

No comments:

Post a Comment