Saturday, June 10, 2017

පත්තර මිටිය හොරු අරං!


මේ මාත් එක්ක ඉන්නෙ ''ගමගේ අංකල්'', ජීවත් වෙන්නෙ කඩුවෙල. වයස 79 ක්. දැන් නිතර නිතර මුණ ගැහෙන්නෙ නැති වුණත්, ඔහු දිග කාලයක් 'නිදහස්' පුවත්පත ත් එක්ක වැඩ කෙරුවා, ඔහු තමයි පත්තර බෙදා හරින්නෙ. එහෙම කිව්වට ඒක එච්ච්චර ලේසි වැඩක් නෙවෙයි. බස්වල, කෝච්චිවල සහ ත්‍රී රෝද රථ වල පත්තර අරගෙන ගිහිං ඒ ඒ පත්තර තට්ටුවලට දාන එක, එකතු වෙච්ච් මුදල් ගණන් බලලා අරන් එන එක, ඒවා ගැන සටහන් තියා ගන්න එක.. තමයි ඔහුගෙ රාජකාරිය. ඔහු ඒ වැඩ ටික හරියටම කෙරුවා. ඔහු මේ වැඩ පටන් ගන්නකොටත් වයස 60 ගණන්. ඔහුගෙ සේවයට සාධාරණ ගෙවීමක් කරන්න පුළුවන් වුණත් ඒ දායකත්වය මුදලින් මනින්න බැහැ.
දහසක් කරදර බාධක සහ අභියෝග මැද එන 'නිදහස්' ගමනෙ, මේ ගමගේ අංකල් නොමැකෙන මතක සටහනක්.
අපි ඒ වෙනකොට පත්තර මුද්‍රණය කෙරුවෙ සීමිත ප්‍රමාණයක් නිසා එකක මිල වැඩියි. 

පත්තරයක් 27/- ට මුද්‍රණය කරලා, 20/- ට විකුණලා, එකෙනුත් 6/- ක් පත්තර මුදලාලි අරං අපට එන්නෙ 14/- යි.
මාර බිස්නස් එකක්!
ඉතිං ඒ පාඩුව පියව ගන්න සහ අනෙක් නඩත්තු වියදම් වලට මැරීගෙන වැඩ කරන්න වුණා.
ඔව්! අපි කෙරුවා, දශකයකට ආසන්න කාලයක්.
මරදානෙ Design Systems මුද්‍රණාලයෙන් තමයි ඒ මුද්‍රණ කටයුතු කෙරුවෙ. ඔවුන් ගැනත් වෙනම කතා කරන්න ඕනෙ. රාජිත (මංජු) රාජපක්ෂ සහ අජිත් අබේනායක කියන්නෙ එහි ප්‍රධානින්. 'නිදහස්' වැඩේ ඔවුන්ට ලාභ අරං දීපු වැඩක්ම නෙවෙයි. ඒ දායකත්වය නැති වුණා නං, එච්චර දිග කාලයක් ඒ ගමන එන්න බැහැ.
ඔව්! 'නිදහස්' අපි නියම කණ්ඩායමක් විදිහට වැඩ කෙරුවා. ඒ කණ්ඩායමේ වැඩිහිට්ම සාමාජිකයා තමයි මේ ගමගේ අංකල්. නිතර හිනාවෙලා ඉන්න ඔහු හරිම සුන්දර මිනිහෙක්. මම ඕන තරං බැණලා ඇති, එත් කවදාවත් මාත් එක්ක තරහා ගත්තෙ නැහැ.ටික වෙලාවක් මුණ එල්ලගෙන වගේ ඉන්නවා. එච්චරයි.
දවසක් ගමගේ අංකල් ලොකු පත්තර මිටියකුත් අරන් රෑ කෝච්චියෙ අනුරාධපුරේ ගියා. එළිවෙන අතේ මට දුරකථන ඇමතුමක් ආවා.
'' මගේ පත්තර මිටිය හොරු අරගෙන ගිහිං, මේ දැන් ටිකකට ඉස්සර වෙලත් මෙතන තිබුණා..මට ටිකක් නින්ද ගියා, ඇහැරිලා බලනකොට...''
ඔහු කලබලයෙන් කියන්න පටන් ගත්තා.
''එහෙමද? කමක් නැහැ ඒ ගොල්ලො ඒවා බෙදයි...ඔයා කොළඹ එන්න...''
''කමක් නැද්ද?''
''කමක් නැහැ අනේ! බලන්න හොරුත් දැන් අපේ පත්තරේ කියවනවා...''
''ඔයාට නං විහිළු!''
ගමගේ අංකල් ට ටික දවසක් යන තුරු ඒ වේදනාව හිතේ තිබුණා මතකයි. තමන් හොරකං කෙරුවෙ පත්තර මිටියක් කියලා දැන ගත්තට පස්සෙ අර හොරුන්ට හිතුණෙ මොකද්ද කියලා නං මම තවම කල්පනා කරනවා.
මේ සටහන තියන්න හිතුවෙ පහුගිය අවුරුද්දට ඔහු මුණ ගැහුණු නිසා යළි අවදි වුණු මතකය අතීතයට එකතු කරන්න!
ගමගේ අංකල් ට දීර්ඝායුෂ!
2017 ජුනි 11
CHAPA

No comments:

Post a Comment