Thursday, June 15, 2017

තවත් කතා...


''මෙතුමාව දන්නවා නේද?''
දවස් දෙකක් විතර කතා බහ කරපු පුද්ගලයෙක්, තවත් පුද්ගලයෙක් එක්ක ඇවිත් මාව පෙන්නලා අහනවා.
''ම්ම්ම්...''
මිත්‍රයාගෙ මිත්‍රයා කල්පනා කරනවා.
''ඇයි අනේ...මතක නැද්ද? ඔයා දන්නවා...හොඳට බලන්න...''
''ටෙලි නාට්‍යයවල වගෙ...''
අර පුද්ගලයා අනුමාන කරන්න පටන් ගන්නවා.
''ඔයා හොඳට කල්පනා කරලා බලන්න...මෙයා මට වඩා දේශපාලනය ගැන දන්න කෙනෙක්...''
දවස් දෙකක් හම්බ වෙච්ච මිත්‍රයා තමන් ගෙ මිත්‍රයා ට කියන ගමන් මටත් කියනවා.
''ම්ම්ම්...ෆිල්ම්ස්වල වගෙ...''
''මෙයාට වෙලා තියෙන්නෙ...එක පාරටම මේ වගෙ තැනකදි ඔබ තුමාව දකියි කියල හිතන්නෙ නැහැනෙ...ඒකයි...''
අර අමුත්තා මගෙ මුණට එබීගෙන අහස පොළොව ගැට ගහන්න වගෙ කල්පනා කරනවා. අර මිත්‍රයාට කේන්ති ත් වගෙ. ඔහු තමන්ගෙ සගයාගෙ පිටට තට්ටුවක් දාන ගමන් මෙහෙම කිව්වා.
''අයියෝ!...මේ අපේ මහින්ද මහත්තයාට...''
''මොකක්?''
ඒ මගෙ හඬ.
''නැහැ...නැහැ...මං මේ කිව්වෙ...''
ඔහු තවත් මොනවද කියන්න හදනවා.
''අපි මෙතෙක් කතාකරපු දේවල් වලින් ඔයා කිසිම දෙයක් ඔළුවට අරගෙන නැහැනෙ, ඔයා කිව්වනෙ මගෙ වැඩසටහන් දිගටම බලනවා කියල...ඊටත් අපි කොච්චර දේවල් කතා කෙරුව ද? ඇයි මේ?''
මම තදින් අහන්න පටන් ගන්නවා.
''ඒ මිනිහගෙ හැටි...එයා මහින්ද මහත්තයාට පණ දීගෙන හිටියෙ...තාමත් එහෙමයි...ඉතින් කවුරු හරි මොනවා හරි කියනකොට ඒකෙන් මහින්ද මහත්තයාට වාසි දේවල් විතරයි ඔළුවට ගන්නෙ...ගණන් ගන්න එපා!''
ඒ ප්‍රතිචාරය, මේ මුල් මිත්‍රයා දවසක මට හඳුන්වලා දීපු මිත්‍රයාගෙන්.
''එහෙම මිනිසුත් ඉන්නවා එහෙනං ?''
මම ඇහුවා, ඇහුවා කිව්වට නිකං කියැවුණා
ඔය අස්සෙ දවසක මට දුරකථන ඇමතුමක් ආවා.
''ඔබ තුමා පාර්ලිමේන්තුවෙ මොකක් හරි කතාවක් කරනව ද?''
ඒ, කාලයකට කලින් මුණ හැහුණු විශාමික බැංකු නිලධාරියෙක්, ඔහු කතා කෙරුවෙ කලබලයෙන් වගෙ.
''පාර්ලිමේන්තුවෙ?''
''ඔව්! ඔව්! අපේ මේ නෝන මහත්තයා කිව්වෙ..අනේ මම අර කියපු වැඩේ...අපේ පුතාගෙ බේකරියෙ වැඩේ...ඇමතිතුමාට කියලා...''
ඔහුගෙ හඬ උනන්දුයි, හැඬුම්බරයි.
''නැහැ අනේ! මම කොහොමද පාර්ලිමේන්තුවෙ කතා කරන්නෙ? අනෙක මම ඔය කාගෙන්වත් උදව් ඉල්ලන්නෙ නැහැ කියලා ඔයා හොඳටම දන්නවා නෙ...''
''එහෙනං මේ නෝන කියන්නෙ ඔබ තුමා...මොකද්ද මේ අලුතෙන් පාර්ලිමේන්තු යන කතාවක් ටීවී එකේ ගිය කතාවක් කෙනෙක් කිව්වා කියලා...''
''අයියෝ!..අලුත් පාර්ලිමේන්තුවද? ඒ දෙරණ ටීවී එකේ දේශපාලන වැඩසටහනක්...''
''ආ...එහෙමද?''
ඔහු හෙමින් කිව්වා.
ඉන්න! තවත් පුංචි කතාවක් තියෙනවා කියන්න.
ඒ පහු ගිය මැයි දිනය දා, රෑ.
''ඇත්තටම මේ සුරාකෑම නිසා ලෝකයටම අසාධාරණයක් වෙලා තියෙනවා...''
එක ව්‍යාපරික මිත්‍රයෙක් කියන්න පටන් ගත්තා. ඔහු දක්ෂ සහ සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඒ දවස්වල ඔහු තමන්ගෙ ව්‍යපාරික ස්ථානයෙ හොඳට පේන තැනක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙ ලොකු ඡායාරුපයක් එල්ලගෙන හිටියා, පස්සෙ ඒ ළඟින්ම වර්තමාන ජනාධිපතිවරයා ගෙ ඡායාරුපයත් එල්ලුවා. අන්න එහෙම මොළයක් තමයි ඔහුට තියෙන්නෙ.
ආ! අර දුරකථන ඇමතුම ගැන...
වෙනදා මම ඔහොම කතා පටන් ගන්නකොට කිසිම උනන්දුවක් පෙන්නන්නෙ නැති මේ මිත්‍රයා හොඳටම වෙනස් වෙලා. කට හඬත් බැරෑරුම්.
''ඔයා ඉතිං ඔය වගෙ දේවල් ගැන උනන්දු නැහැනෙ...මටත් නොකියා කියන්නෙ මොකක් හරි කරගෙන සල්ලි ටිකක් හොයාගෙන පාඩුවෙ ඉන්න කියල නෙ...''
''එහෙම කියන්න එපා! අපි මේ ගැන හිතුවෙ නැති වුණාට...මුළු ලෝකයෙම ධනවත්ම පුද්ගලයො සුළු පිරිසකගෙ ඒක පුද්ගලික ආදායම් වල එකතුව... සමස්ත ලෝක ජනගහනයෙ ඒක පුද්ගලික අදායම් වල එකතුවත් එක්ක බලනකොට...''
ඔහු විස්තර කරන්න පටන් ගන්නවා. වෙනදා මම, දැන් ඔහු වෙලා. මාර ම වැඩක්!
''අපි මේ ගැන දිගටම කතා කරන්න ඕනෙ...''
ඔහු අවසානයට කිව්වා.
''මොකද්ද ඉතිං ඔයාගෙ අරමුණ?''
''මම කියන්නෙ...අපට ලැබෙන ලාභයෙන් අවශ්‍යම ප්‍රමාණය තියාගෙන අනිත් ඒවා වැඩකරන අයට බෙදලා දාන්න ඕනෙ....''
''එතකොට ඉතිං ඔයා, ඔයාගෙ බිස්නස් එක දියුණු කරන්නෙ කොහොමද?''
''අපි දියුණු කරන්න ඕනෙ මිනිස්සු!''
ඔහු තදින්ම කිව්වා.
මම දිගටම කල්පනා කෙරුවා. ඔහු හොඳටම වෙනස් වෙලා. ඒ කොහොමද? අපි අවුරුදු ගණනාවක් එක දිගට කතාකරපුවා ඔහුගෙ හිතට කාවැදිලා වගෙ! ඒත් මේ හදිසියේම? එහෙම වෙන්න පුළුවන් ද?
ප්‍රශ්න පේළියක්.
''ඔය කියන විදිහට වැඩකරන අයට ලාභය බෙදන ක්‍රමය මොකද්ද?''
ඒ පහුවෙනිදා උදේ.
''ඒ කිව්වෙ?''
දුරකථනය එහා පැත්තෙන් ඔහු අහනවා.
''ඔයා ඊයෙ කිව්වා විදිහට...''
''ඊයෙ?...ඊයෙ...මම ඔයාට කතා කෙරුවද? ආ...ඔව් නේද...අපි සෙට් එකක් පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තා..වැඩේ ටිකක් රෑ වෙන්නම ඇදිලා ගියා..ඔව්, ඔව්...මම ඔයාට call කෙරුවා නේන්නං...මම මොකුත් වැරදි දෙයක් කිව්වෙ නැහැ නේද?''
''නැහැ නැහැ..එහෙම නැහැ...''
''අපි මොනවා ගැනද කතා කෙරුවෙ? ආ ...මට මතකයි...ම්ම්ම්ම්...''
''හරි හරි..අපි පස්සෙ වෙලාවක කතාකරමු...''
මාර ම වැඩක් නේන්නං!
CHAPA
2017 ජුනි 16








No comments:

Post a Comment