Tuesday, February 14, 2017

ජනාධිපති මෛත්‍රී, පව්!


''2015 ජනවාරි 18, Regime Change in Sri Lanka'' ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාව දැන් තවදුරටත් සංකීර්ණ වෙනවා! ඒ, මේ මොහොත වන විට රට තුළ පවතින දේශපාලන චලනයන් හේතුවෙන්.
අපි මෙහෙම බලමු!
එදා ජන ගත කරපු ප්‍රධාන සටන් පාඨ අතර ඉදිරියෙන්ම තිබුණෙ විධායක ජනාධිපති ක්‍රමය, පාර්ලිමේන්තුවට වග කියන ලෙස සංශෝධනය කරන එක. ඒ හරහා, ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් යහ පාලනය ස්ථාපිත කරන එක.
රටේ දේශපාලන අර්බුදය කේන්ද්‍රගත වෙන්නෙ, විධායක ජනාධිපති ධූරයට කියන එක ප්‍රයෝගික ඇත්ත නෙවෙයි. ඒත් ඒ යෝජනාව ඔව්! කියලා පිළිගත්තොත්, එහි බලය අඩු කරන්න හෝ සම්පුර්ණයෙන්ම අහෝසි කරන්න නං, ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙන්න ඕන කියන එක ඉතාම සාමාන්‍ය කොන්දේසියක්. නැත්තං පවතින ඓතිහසික තත්වයන් සමඟ රට අරාජික වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඒ සාකච්ඡාවත් වෙනම එකක්.
ඒ අතර සිද්ධ වුණේ මොකද්ද? සිද්ධ වෙමින් පවතින්නෙ මොකද්ද?
19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටවනු ලැබූ, ස්වාධීන කමිෂන් සභා ඇත්තටම ස්වාධීන ද? නැහැ! ඒවා මහජන මුදල් කා දමන රූකඩ ආයතන විතරක් බව අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නැහැ. ඊළඟට, පාර්ලිමේන්තුව තුල විධිමත් සංවාද ගොඩ නැගෙනවාද? නැහැ! එය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කල්ලියක්, වෙනම න්‍යාය පත්‍රයකට මෙහෙයවන සති පොළක් වගෙ. නිලධාරී තන්ත්‍රය දැන්, දේශපාලන ඇඟිලි ගැසීම් නැහැ කියලා ස්වාධීනව ජනයාට වග කියන විදිහට වැඩ කරනවාද? නැහැ! ඔවුන් ඉස්සර වගේමයි. සමස්තයක් විදිහට, ඒක මාෆියා එකතුවක් වගෙ. සංවිධානාත්මක නොවන චන්ඩි ගතියකුත් ඒ ඒ රාජ්‍ය ආයතන තුළ වැඩ කරනවා. රට හදන්න, අර කොමිසම, මේ කොමිසම, අර අධිකාරිය, මේ අධිකාරිය...කියලා තවත් නිලධාරී කල්ලි හැදෙමින් තියෙන නිසා තත්වය තවත් අයහපත්.
රට වටේම උද්ඝෝෂණ තියෙන නිසා, රටේ මාර නිදහසක් තියෙනවා! කියලා කෙනෙකුට කියන්න පුළුවං වුණත්, උද්ඝෝෂණ නොසලකා හැරලා ඔහේ ඉන්න ක්‍රමයකුත් තියෙනවා, SAITM හිමිකරු, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු, අධිකරණයෙන් එළියට එන ගමන්, ''බල්ලො බිරුවට, තවලම යනවා!'' කිව්වෙ ඒක තමයි.
බරපතළම ප්‍රශ්නය, ඔය හැම උද්ඝෝෂණයක් ම අන්තිමට නවතින්නෙ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගාව.
''අපිට වෙන කාවවත් විශ්වාස නැහැ! අපි ජනාධිපති තුමාව තමයි විශ්වාස කරන්නෙ!''
''අපේ ඉල්ලීම් දෙන්න, ජනාධිපති තුමා පොරොන්දු වෙච්ච නිසා, අපි මේ විරෝධතාව තාවකාලිකව නවත්වන්න තීරණය කෙරුවා!''
''මේක කරන්න පුළුවං ජනාධිපති තුමාට විතරයි!''
''ජනාධිපති තුමාට අපි කියන්නෙ, මේ අමාත්‍යංශය...එතුමාගේ යටතට ගන්න කියලා!''
''ඇයි..ජනාධිපති තුමා..මේ ප්‍රශ්නයට මැදිහත් නොවෙන්නෙ?''
හැම වෙලාවකම ඇහෙන්නෙ ඔහොම කතා.
''මම මේ ගැන හොයන්න, විද්වත් කමිටුවක් පත්කරනවා!''
''පුර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් පත්කරනවා!''
නියම විසඳුම්!
''කොහොමද..විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරුවා නං? අපේ ජනාධිපති තුමා ඉන්න නිසා යාන්තං රට බේරෙනවා!''
ඔහොම කියන ඇමැතිවරුත් ඉන්නවා.
එහෙම නං මේ ප්‍රජාතන්ත්‍රවාදයෙ විකෘතියක්  නෙවෙයි ද?
දැන් කල්පනා කරලා බලන්න!
විධායක ජනාධිපති ධූරය, පාර්ලිමේන්තුවට වග කියන මට්ටමක් හදනවා ලු! ඊළඟට, රටේ ඔක්කොම ප්‍රශ්න විසඳන්න විධායක ජනාධිපතිවරයා ඕන ලු! වැඩේ කියන්නෙ, ඒ අස්සෙ, ඊළඟ ජනාධිපතිවරණයට, ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයාත් නැවත මෛත්‍රීම ලු! එතුමාට බැහැ කියන්න බැහැ! රට වෙනුවෙන් ඒක අකමැත්තෙන් හරි කරන්න ඕනෙ ලු! ජනතාව බලකරනවා ලු!!
පව්!!!
රාජපක්ෂ පාලනය වැරදි නිසා, දුෂිත නිසා සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී නිසා 2015 ජනවාරි 8 ජනතා විප්ලවයක් සිද්ධ වුණා කියලා දැනුත් කවුරු හරි හිතනවා ද? ආණ්ඩුව, එදා කරපු දේවල්ම මෙදා ත් ඒ විදිහටම කරනවා. ඒ මොනවාද?
එක්සත් ජාතීන්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූලය ආයතනය, යුරෝපා සංගමය, චීනය සහ ඉන්දියාව...කියන දේවල් කරගෙන යන එක. එච්චරයි. Regime Change කෙරෙන්නෙ වැඩේ හරියට නොකෙරෙනකොට. 2020 ත් වෙන්නෙ මේ ටිකමයි.
වැඩේ කියන්නෙ, ඒ අස්සෙ ඔස්ට්‍රේලියාව, අගමැති රනිල් ට ආචාර්ය උපාධියක් පිරිනමනවා, මොනවට ද මන්දා!
බලාගෙන ඉන්න!      
CHAPA

No comments:

Post a Comment