Tuesday, February 14, 2017

                                             ඔබ අවංක ද?

 

මාර ප්‍රශ්නයක් නේ? උදෙන්ම අහන්නෙ!
අවංක කම කියන්නෙ මොකද්ද කියලා ඔබ මගෙන් පෙරළා ඇහුවොත්, මට සෑහෙන උත්සහයක් ගන්න වෙනවා ඒකට උත්තරයක් දෙන්න. ම්...අවංක කම සාපේක්ෂ දෙයක්. ඒක, මෙන්න මෙහෙම එකක් කියලා පෙන්නන්නත් අමරුයි.
හැබැයි එක දෙයක් නං පැහැදිලියි.
අවංක කම පිළිබඳ ප්‍රශ්නය එන්නෙ සත්ව ලෝකයෙන්ම මිනිස්සුන්ට විතරයි. සත්තු කරන්නෙ, කරන්න නියමිත දේ. ඔවුන් සමහර ක්‍රියාකාරකම් සඳහා යම් යම් උපක්‍රම යොදා ගත්තත්, ඒවා පවා නිශ්චිතයි. එහෙම කල්පනා කරනකොට, අවංක කම ගැන යම් අදහසක් මතු කර ගන්න පුළුවං.
කෙනෙක් ඇත්තටම හිතන දේ කියනවා, කරනවා! වගෙ අදහසක්. යටි අරමුණක් නැහැ! වගෙ අදහසක්.
උදාහරණයක් විදිහට, X කියනවා Y ට, ''ඔබ දියුණු වෙනවා බලන්න මම කොච්චර කැමති ද ?'' කියලා, ඒ අතර X ඇත්තටම Y ගැන එහෙම හිතනවා, හිතේ ආදරයක්, මිත්‍රත්වයක්, ළෙන්ගතුකමක්...තියෙනවා. අන්න ඒ වගෙ. ''මට ඔය පොත දෙන්න...කියවලා දෙන්නං!'' කෙනෙක් තව කෙනෙකුගෙන් පොතක් ඉල්ලනවා. පොතට ආසා හිතිලා, ආයෙ මේක දෙන්නෙ නැහැ, නැති වුණා කියනවා! කියල හිතන ගමන් නං අර විදිහට කියන්නෙ, ඒක අවංක නැති අවස්ථාවක්. ''මම ඔයාට ආදරෙයි!'' කියලා කෙනෙකුට කියන ගමන්, ''මම මෙයාගෙන් අහවල් උදව්ව ගන්නවා, අහවල් ප්‍රයෝජනය ගන්නවා...'' කියලා හිතෙනවා නං අන්න එතනත් අවංක කමක් නැහැ, වංක කමක් මිසක.
මේ අවංක කම පිළිබඳ ප්‍රශ්නය පුද්ගල සීමාවේ සිට රාජ්‍ය සීමාව දක්වාම ගමන් කරනවා. අහවල් සංවිධානය හෝ අහවල් රට, අහවල් රටට අහවල් උදව්ව කරන්නෙ අවංකව ද? කියලා අහන්න වෙන්නෙ ඒ නිසානෙ. ලෝකය පුරාම, හුඟාක් සිද්ධි දිහා බලන කොට පේනවා, අවංක වගෙ ඉන්න ගමන් සමහරු සමහරුන්ට පිටිපස්සෙන් හෙමීට පිහියෙන් අනින ස්වභාවයක්. ප්‍රසිද්ධ කතාවල ප්‍රධාන චරිත පාවා දෙන්නෙත් ළඟම ඉන්න විශ්වසනීයම සගයෙක්, අවංක කමට මුවා වෙලා.
අප ජීවත්වන වෙළෙඳ ලෝකය තුළ හුඟාක් තියෙන්නෙ අවංක නැති අවස්ථා සහ තත්වයන්.
මම අවංක වෙලා වැඩක් නැහැ, අනිත් හැම එකාම අවංක නැතිකොට! ඔබට එහෙම හිතෙන එක සාධාරණයි, පවතින තත්වය ඒ තරමට අයහපත් නිසා. ඒත් අපට සමාජයක් විදිහට පවතින්න පුළුවං, අවංක කම මතම තමයි.
මේ ලස්සන උදෑසන, ඔබත් අවංක වෙන්න කියලා කියන්න හදන්නෙ, ඒත්, එහෙම කරනකොට ප්‍රශ්න එන්නත් පුළුවං, එතකොට මට බනින්න එපා! හොඳේ! අපි උත්සහ කරලා බලමු!
සුබ දවසක්! 
CHAPA

No comments:

Post a Comment