Saturday, February 18, 2017

අගමැති, ආචාර්ය රනිල් වික්‍රමසිංහ!?

ශ්‍රී ලංකාවෙ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට, පහු ගිය දවසක, ඕස්ට්‍රේලියාවෙ DEAKIN විශ්ව විද්‍යාලයෙන්, සම්මාන ආචාර්ය උපාධියක් පිරි නැමුණා.
එතැන් සිට, ආචාර්ය රනිල් වික්‍රමසිංහ කියලා ඔහු ආමන්ත්‍රණය කරන්නනෙ තියෙන්නෙ.
ප්‍රශ්නය ඒක නෙවෙයි.
ඔහුට, මේ සම්මාන ආචාර්ය උපාධිය පිරිනමන හේතුව විදිහට DEAKIN හරහා ප්‍රකාශයට පත් වෙන්නෙ, ප්‍රධාන වශයෙන්; ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් තුළින්ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තැබීම සඳහා ඔහු කළ බව කියන මෙහෙවර වෙනුවෙන් ලු!
ඒ මොන මෙහෙවරක් ද?
ලංකාවෙ අපි නොදන්න, ඕස්ට්‍රේලියාවෙ කට්ටිය පමණක් දන්න, ඒ ''මාර මෙහෙවර'' ගැන නං අපි අනිවාර්යයෙන්ම දැන ගන්න ඕනෙ, මොකද, ලංකාවෙ අපට හොරෙන්, අගමැතිවරයා  එහෙම මොනවා හරි කරලා ද දන්නෙ නැති නිසා!
ඒ හැරෙන්න අපි දන්නෙ එක දෙයයි.
රටේ ආර්ථිකය තව දුරටත්, විදේශ ආර්ථික ඝාතකයන් ට භාර දීලා, ලංකාවෙ ඉන්න සීමිත කල්ලියකට උපරිම වාසි ලැබෙන විදිහෙ ආර්ථික ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි, රටේ නිදහස් අධ්‍යාපන අවස්ථා ත් -  තව දුරටත් දියකෙරෙමින් තියෙනවා, ඒ නිසාම පොදු ජනයාගෙ මානව හිමිකම් බරපතළ විදිහට උල්ලංඝනය වෙමින් තියෙනවා!
එක්කෝ කවුරු හරි DEAKIN විශ්ව විද්‍යාලයට දිරච්ච ලණුවක් දීලා. එහෙම නැත්තං, මේ ක්‍රමයට අගමැතිවරයා සතුටු කරවලා, ලංකාවෙ අධ්‍යාපන වෙළෙඳ පොළට රිංගන්න හදනවා. බොහෝ විට වෙන්න පුළුවං ඔන්න ඔය දෙවැනි එක.
දැන් කෙනෙක් අහන්න පුළුවං, එතකොට ලංකාවට විදේශ විශ්ව විද්‍යාල එන එක නරක ද? අපේ ළමයි ඉගෙන ගන්න එපා ද? කියලා. මෙච්චර කල් පිට රටට ඇදිලා ගිය අපේ සල්ලි රට ඇතුළෙ ඉතුරු වෙනවා නේද කියලත්, කියයි.
වෙන්න යන්නෙ ඒක නෙවෙයි!
1940 දශකයෙන් පස්සෙ ක්‍රමානුකුලව සංවර්ධනය වෙමින් ආපු සහ 1970 දශකයේ දි, මළගම ට සුදානම් කරපු, මේ රටේ පොදු ජනයා බලගන්වන්නට, තවදුරටත් සංවර්ධනය කිරීමට නියමිතව තිබූ, නිදහස් අධ්‍යාපන අවස්ථා නැත්තටම නැති කරලා, වරප්‍රසාද ලත් එක පන්තියකට පමණක්, 'උගත්කම' සීමා කරන්න හදන එක.
වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න මහාචාර්යවරු ඇතුළු, වැඩකරන ජනයාගෙ බදු මුදලින් ඉහළට ආපු බොහෝ උගත්තු(?) දැන් මේ අධ්‍යාපන පාදඩකරණයට සුදානම්! උන් දන්නෙ නැහැ, උන් පොට්ටනි ගහපු සල්ලි ඉවර වුණාම, දවසක, උන්ගෙ ළමයින්ට මොකද්ද වෙන්න යන්නෙ කියලවත්.
වැඩේ කියන්නෙ, දැනටමත් එදා වේල කන්න නැති එවුණුත් මේ නිදහස් අධ්‍යාපන ඝාතනයට ඔල්වරසන් නගනවනෙ.
ඒක තමයි දරන්නම බැරි!
හරි! අගමැති, ආචාර්ය රනිල් වික්‍රමසිංහ ගෙ කතාව නෙවෙයි, මෙන්න මේ ''අපේ කතාව'' හරියට හදා ගන්න, අරගල කරමු!
CHAPA

No comments:

Post a Comment