Monday, December 17, 2018

රෙද්දෙ ණය!


මේ දවස්වල ඇහෙන ප්‍රවෘත්ති අතර විදේශ ණය ලබා ගැනීමට නොහැකි වන ආකාරයේ “මහා අනතුරක්” ළඟ එන බව සාකච්ඡාවට ගැනෙනවා. ජාත්‍යන්තර (?) ඒජන්සියකින් දෙකකින්, ණය ශ්‍රේණිගත කිරීම් කරලා ශ්‍රී ලංකාව ඒ ලැයිස්තුවේ හිටපු තැනින් තව පහළට වැටිලා, විදේශ ණය ලබා දීම ප්‍රතික්ෂේපිත තැනකටම තල්ලු වෙමින් තියෙනවා කියන එක තමයි කතාව.
ඉතිං හොඳනෙ!
දශක ගණනාවක්, විශේෂයෙන් ම 80 දශකයෙන් පස්සෙ, හිටපු, ඉන්න පාලකයො කෙළවරක් නැතුව හතර වටෙන් ණය අරගෙන ඒවත් හොරකං කරමින් පවුල් පිටින් සැප විඳපු නිසා, අපි රටක් හැටියට මහා භයානක ණය උගුළක හිර වෙලා මේ ඉන්නෙ. මේ ආර්ථික ඛේදවාචකය ට නිලධාරී තන්ත්‍රයත් කෙළින්ම වග කියන්න ඕන.
නිකං හිතන්න, රටක විගණකාධිපතිවරයෙක් කියනකොට ” මේ රට අරගෙන තියෙන ණය ගැන හරි විස්තරයක් සක්‍රයාගෙ පුතා වයිමා ආවත් කියන්න බෑ! කියලා, අපි මොන තරම් භයානක තැනකද මේ වෙනකොට ඉන්නෙ? 
ඔය ශ්‍රේණිගත කිරීම් මොන රෙද්දවල්ද?! 
ඔය උන් කියන්නෙ, තොපි අපි කියන විදිහට නටන්නෙ නැත්තං අපි තොපිට ණය දෙන්නෙ නෑ! කියලා. වැඩේ කියන්නෙ, ණය ට පිස්සු කෙළිමින් ෆන් ගන්න පුරුදු වෙච්ච මහ එවුන් දැන් බයේ කුං කුං ගානවා. සාමාන්‍ය මහ ජනතාවට නං ඔය එකක්වත් වැඩක් නැහැ. ඔය මොකක් හරි පැත්තකට සෙට් වෙලා ණය ට කැහැ කැහැ ඉන්නවා.
රටක් ණය ගන්න ඕනද? කෙනෙක් අහනවා නං, ඔව්! අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් සම්පූර්ණ කරන්න හෝ එවැන්නක් අළුතෙන් පටන් ගන්න, නිශ්චිත සැලැස්මකට යටත්ව. වැදගත් ම දේ, ණය පොළියටත් වැඩිය – ණය කොන්දේසි‍ර්! අපේ රට වගේ, මෝඩ පාලකයන්, වෘත්තිකයන් සහ නිලධාරීන් ඉන්න රටවල් ඔය ණය ගන්නෙ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ ලෝක බැංකුවෙන්, තම රට උන් ට උකස් කරලා. චීනයත් දැන් ලෝකය පුරා ඔය ණය ක්‍රීඩාව කැතටම කරනවා. මහින්ද පාලන කාලය තුළ සහ දැනටත් ඒ චීන ණය ආක්‍රමණය බරපතළ විදිහට ක්‍රියාත්මකයි. ඊට අමතරව ලෝකයේ විවිධ රටවල කළු කඩ ණය වෙනම.
මේ විදිහට, ණය උගුල්වලට හසුව, ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල් සෑහෙන ප්‍රමණයක් දැනටමත් පණ අදිනවා.
ඔබ සමහර විට හිතනවා ඇති ඔය ගත්ත ණය ගෙවලා දැම්මට පස්සෙ කතාව ඉවරනෙ කියලා. නැහැ! ඒ ණය, විශේෂයෙන් ම මේ ශ්‍රේණිගත කිරීම ට අදාළව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුව ට. ආසියානු සංවර්ධන බැංකුවටත් සම්බන්ධයි. ඒ ණය අපට දීලා තියෙන්නෙ සහ තව දුරටත් දෙන්නෙ, රටේ ආර්ථිකය මෙහෙයවන බලය තම අතට අරගෙන. එහිදී ඔවුන් රටේ ආර්ථික ප්‍රථිසංස්කරණ උපදෙස් දෙනවා. මහ බැංකුව තම අරමුණු කරා තල්ලු කරගෙන යනවා. ඒ අනුව තමයි රටේ අය – වැය හදලා සම්මත කර ගන්න ඕන. පාර්ලිමේන්තුවේ ඉන්න රූකඩ 225 සරං උස්සගෙන කලිසං සාරි ගලෝගෙන කරන්නෙ ඔච්චරයි.
ඒ අනුව, මේ වන විට මහ බැංකුව මුදලාලිකරණය කිරීම, මූල්‍ය පාලනය දඩාවතේ යැවීම, බදු පිට බදු ගැහීම, රාජ්‍ය ව්‍යවසායන් PPP ක්‍රමයට විකිණීම, රාජ්‍ය සුභ සාධනය කප්පාදු කරමින් විශේෂයෙන් ම නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව කප්පාදු කරමින් මුදලාලිලාට භාර දීම, විදේශීය තැරැව් කරුවන් ට රටේ ස්වාභාවික සම්පත් කොල්ල කන්න අවශ්‍ය පසුබිම සකස් කිරීම සහ ඒ සියල්ලට අවශ්‍ය සංස්කෘථික සංහාර මෙහෙයුම් දියත් කිරීම ඉතා සංවිධානාත්මකව සිද්ධ වෙනවා.
මතක තියා ගන්න! මේ ණය ඒජන්සි කෙළින් ම එක්සත් ජාතීන් ට සහ බහු ජාතික සමාගම් ජාලයකට සම්බන්ධයි. එතකොට, රටේ රාජ්‍ය බෙදුම්වාදී ආකෘතියකට මාරු කරන්න අවශ්‍ය ව්‍යවස්ථා කුමන්ත්‍රණය ඉස්සරහට යන්නෙත් මේ ණය ක්‍රීඩාව ට සමගාමීව.
මීට අමතරව, චීන ණය සහ සූක්ෂම ආයෝජන මෙන්ම තවත් කළු කඩ ණය උගුල් වෙනම තියෙනවා. අන්න ඒ නිසා තමයි, සක්‍රයාගෙ පුතා වයිමාටවත් යමක් හරියට කියා ගන්න බැරි!
අපට ණය එපා!
1. ගත්තු ණය ගැන විධිමත් විමර්ශනයක් කරපල්ලා.
2. ඒ ණය කොන්දේසි සමාලෝචනය කොට රට ට හානි වන කොටස් ඉවත් කරපල්ලා.
3. තව ණය ගැනිල්ල වහාම නවත්තපල්ලා.
4. රාජ්‍ය නාස්තිය, හොරකම, දූෂණ වංචා නවත්තපල්ලා.
5. රට ට ගැළපෙන ආර්ථික සැලැස්මක් හදපල්ලා.
6. රටේ නිෂ්පාදන අර්‍ර්ථිකය ගොඩ නගපල්ලා.
7. ආහාර නිෂ්පාදනය වේගවත් කොට ආහාර සඳහා පිට රට ට ඇදී යන අති විශාල මුදල ඉතුරු කරපල්ලා. 
8. දේශීය වෛද්‍ය විද්‍යාව සංවර්ධනය කොට බටහිර වෛද්‍ය වෙළෙඳ පොළ සහ ඖෂධ මාෆියාව පාලනය කරපල්ලා.
එතකොට අපට විදේශ ණය ඕන නැහැ!
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න සරං කලිසං සාරි ඇඳ ගත්තු කොල – නිල්- රතු – තවත් පාට අම්බරුවන් ට මේ කියන්නෙ!
වටේ ඉන්න නිලධරී රොත්තත් එක්ක මොකක් හරි කරපල්ලා, ණය ගන්න බැරි වෙයි, සාර්ව ආර්ථික සැලසුම් ඉවරයි! කිය කියා තප්පුලන්නෙ නැතුව!
CHAPA, Dec 7, 2018්

No comments:

Post a Comment