Thursday, December 27, 2018


නොදකින්!


''අපි හොඳ දේවල් කෙරුවොත් තමයි අපටත් හොඳ දේවල් වෙන්නෙ...''
ඇය වාහනයෙ පිටුපස අසුනෙ ඉඳ ගන්න ගමන් කිව්වා.
''අපි හැමෝටම හොඳක් වෙන්න කියලා මුළු හිතින් ම පතන්න ඕන...''
ඇය ගෙ තැන්පත් හඬ වාහනය පුරා විසිරෙනවා. අසනීපයෙන් පසුවන ඇය මැදිවියේ කාන්තාවක්. නෑ කමක් මත මට ලැබෙන රාජකාරිය තමයි, උදේ පාන්දර අක්ෂි සායනයකට යන්න හදන තවත් කට්ටියකට ඇයව බාර දෙන්න තියෙන එක. ටික දුරයි යන්න නං තියෙන්නෙ.
දැන් වෙලාව හරියටම උදේ 5.43 යි!
''මං නං හැම වෙලාවකම, සියළු සත්ත්වයො නිදුක් වෙත්වා...''
ඇය කතාව පටන් ගන්න අතරෙ මං වාහනය පණ ගැන්නුවා,
''...නීරෝගි වෙත්වා...දුකෙන්...''
''නොදකින්...''
ඇයගෙ ශාන්ත හඬ යටපත් කරන වෙන හඬක් වාහනය දෙදරුම් කවමින් එක පාරටම කඩා පැන්නා.
ඈ! ඒ නං මං වෙන්න ඕන!
''ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි සුකිරි බටිල්ලා...''
එතකොටයි මට හොඳ සිහිය ආවෙ, ඒ වාහනයෙ රේඩියෝව. ඊයෙ දාපු ගමන්. අත් වැරදීමකින් හඬත් වැඩි වෙලා.
'' චූඩමාණිකේ දමාලා යනවා මේ අපි...චූඩමාණිකේ දමාලා...''
රන් වන් එෆ්එම් හඬ දිගටම ඇහෙනවා.
''...මස් උයලා කොස් උයලා කන්න දුන්නෙ මං..,මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලු දැන්..''
මං එක පාරටම රේඩියෝව වහල දැම්මා.
''නොදකින්...''
ආයෙත් ඇහෙනවා ඒ අර සිංදුවේ කෑල්ලක්.
වාහනය ඉස්සරහට ගන්න ගමන් මට ඉබේම පිටු පස අසුන බැලුණා. ඇය දකුණු අත ට නිකට ඔබාගෙන ඇස් පියාගෙන.
මං දැන් යනවා.
ඒ කාන්තාවගෙ ඔළුව එක පාරටම විකාර වෙන්න ඇති. මං කල්පනා කරනවා.
ළාහිරු මෝදු වෙන සුන්දර උදෑසනක අපි අහන්න කැමති මොන වගේ හඬවල් ද? කුරුළු කීචි බීචියක්. සුළං රොදකට නැටවෙන ගස් රිකිල්ලක තාලයක්. ම්ම්ම්...මට එතකොට නං චූටි කාලයෙ හිතේ පැළ පදියම් වුණු, උදේ හිරු එළිය කපාගෙන නැගෙන, වළවේ ගඟේ දඟකාර තාල රටා ත් මතකයට එන්න ගන්නවා.
නැවුම් දවසක නැවුම් සිතුවිළි!
අපට එහෙම ගුවන් විදුලි සංස්කෘතියක් තිබුණා. 80 - 90 දශක වෙනකොට වගේ ඒ සියල්ල විනාශ වෙන්න ගත්තා. මට එක පාරටම 'ලක්හඬ' ගුවන් විදිලිය මතක් වුණා. අපි උදේ, දවල්, හවස සහ රෑ වැඩ සටහන් සඳහා වෙන වෙනම ගී තෝරපු හැටි. කොච්චර සුන්දර අත්දැකීමක් ද! මහා පරාසයක පර්‍යේෂණාත්මක ගී සමුදායක් තියෙද්දි ඇයි මේ ගුවන් විදුලි නාලිකා මෙහෙම පහළ මට්ටමකට වැටෙන්නෙ.
ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි!
ඔන්න ආයෙත් නැවුම් හිත දෙදරන්න පටන් ගන්නවා.
නොදකින්!
චිහ්! මෙච්චර ලස්සන උදෑසනක්!
අහ්! ඒ අස්සෙ දන්නෙම නැතුව එන්න ඕන තැනටත් ඇවිත්.
''මේ රේඩියෝකාරයො සිංදු දාන්නෙ රෑ එළිවෙනකල් දුවන බස් වලට, රෑ කඩ වලට...රැයක් දවාලක් ඒ අයට මතක නැහැ...ඒකනෙ!''
අර කාන්තාව හරියට මං හිත හිතා ආපු දේවල් දැනගෙන හිටිය වගෙ කියලා බැහලා ගියා.
මං ඉතිං ආපහු ආවා!
CHAPA, Dec, 2018

No comments:

Post a Comment