Monday, December 17, 2018

ගෙවිඳු! මරාගෙන මැරෙන්න නං එපා!

හිතවත් ගෙවිඳු,
මේ කෙටි සටහන තියන්න හිතුවෙ, ඔබ අර මාධ්‍ය හමුවක් පවත්වමින් නටන පිස්සුව ගැන කියන්න ම නෙවෙයි. ඒ මාධ්‍ය වාර්තාකරුවා ඔබ කුපිත කරවමින් අහන ප්‍රශ්නය වෙන විදිහකට අහන්නත් පුළුවන් කියන්න. ඔහු වෙන වචන වලින් අහන්නෙ, මහින්ද රාජපක්ෂ මේ වෙලාවෙ අග්‍රාමාත්‍ය තනතුර භාර ගත්තෙ මොකද කියලා. ඔබ කියනවා රට බේර ගන්න කියලා. කොච්චර කිව්වත් ඒකම අහන නිසා ඔන්න ඔබට කේන්ති යනවා. ඒකනෙ වෙන්නෙ.
අපි මෙහෙම බලමු!
2015 Regime Change එකේ ප්‍රධාන ඉත්තා ජනාධිපති මෛත්‍රී, ඔච්චර පුංචි අහිංසක බබෙක් කියලා ඔබට හිතෙනවද? 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට, ව්‍යවස්ථා කුමන්ත්‍රණය හරහා හානිපූර්ණ පනත දක්වා ශ්‍රී ලාංකේය රාජ්‍ය, විනාශය කරා ඇදගෙන යන්න, එය යළි දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පූජාකරන්න මූලිකත්වය දෙන ජනාධිපත් මෛත්‍රී එකපාරට ම වෙනස් වුණා?
අනේ නිකං ඉන්න ගෙවිඳු!
2016, 2017, 2018 අය වැය යෝජනා හරහා ඊනියා සාර්ව ආර්ථිකයක් ක්‍රියාවට නංවමින් රටේ සුභ සාධන රාජ්‍ය ආකෘතිය තව දුරටත් විනාශ කරමින්, රාජ්‍ය දේපොළ සහ ස්වාභාවික සම්පත් විකුණමින්‍ රට අගාධයට දක්වන්න මූලිකත්වය දීපු ජනධිපති මෛත්‍රී එකපාරට ම වෙනස් වුණා?
අනේ මේ! ගෙවිඳු…
චීනය ට හම්බන්තොට වරාය පැවරුවා! කෝ මෛත්‍රී? ඔහු චීනයට විරුද්ධව මෝඩි කබායත් ඇඳගෙන, වරාය නගරයෙ – සංනිවේදන කුළුණෙ වැඩ බොරුවට නවත්තලා පස්සෙ ඒ පිදේනි චීනෙටම දුන්නෙ නැද්ද? මත්තල ගුවන් තොටුපොළ, පළාලි ගුවන් තොටුපොළ, ත්‍රීමළේ තෙල් ටැංකි ඉන්දියාවට! කොළඹ වරායෙ නැගෙනහිර පර්‍යන්තය නං බැරි ලු, බටහිර ද මන්දා වෙන දිශාවකින් නං ඉන්දියාවට දෙන්නං ලු!
ඔබට මේවා තේරෙන්නෙම නැද්ද?
මෙතන යන්නෙ ගේමක්! එක්කෝ, මෛත්‍රී – රනිල් ව්‍යාපෘතිය ට මහජන විරෝධයක් පැන නැගුණු නිසා, විශේෂයෙන් ම පහුගිය පළාත් පාලන මැතිවරණයෙන්; ඒ මහජන කේන්ද්‍රය විදිහට තියෙන මහින්ද සාධකය අරගෙන ගේමෙ ඉතුරු ටික ප්ලේ කරන්න හදනවා. සමහර විට අර නාමල් කුමාර කියන බූතයා කියන විදිහට ඒ සාධකය සහ එහි අනුප්‍රාප්තික සාධක භෞතිකව විනාශ කරන්න හදලා එය කලින් පත්තු වුණා වෙන්නත් පුළුවන්.
ඔය ඔක්කොම මැද්දෙ ඔබෙන් අහන්න තියෙන මූලික ප්‍රශ්නය ඉතා බැරෑරුම්.
ගෙවිඳු! ඔබේ ඔය කියන සිංහල බෞද්ධ ජාතිකත්වයේ පදනම මොකද්ද?
ඒකීය රට වෙනුවෙන් දෙමළ බෙදුම්වාදය ට විරුද්ධ ඔබේ හඬ පැහැදිලියි. මුස්ලිම් ව්‍යප්තවාදය ගැනත් ඔබේ ස්ථාවරය පැහදිලියි. රටේ ඉතිහාසය ගැන ඔබ පෙන්වා දෙන කරුණු ත් පැහැදිලියි.
ඒත් රට ඉන්දියානුකරණය සහ චීනකරණය කිරීම ගැන ඔබේ විරෝධයක් නැහැ. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ අර්ථිකය ට කරමින් තියෙන විනාශය ඔබ ට අදාළ නැහැ. ඒ ආර්ථික ඝාතනය ඔබ ට දනෙන්නෙ නැහැ.
ඔබ දන්නවාද!? මේ ජාතිය මෙහෙමවත් රැකිලා තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව නිසා. ඔය දෙතුන් පැත්තෙම නසරානියො ඒ සුභසාධනවාදී රාජ්‍ය තත්ත්වය විනාශ කරන්න හදන හැටි ඔබ ට පේන්නෙම නැහැ, ගෙවිඳු!
මට මතකයි, නන්දිකඩාල් කළපුව හරහා ඔබේ කඳවුර ට ආපු හමුදා නායකයා – කමල් ගුණරත්න ඕස්‍ට්‍රේලියාවෙ රැස්වීමකදි දෙමළ බෙදුම්වාදය ට විරුද්ධව කෑ ගහමින් අහනවා, මේ රටේ ලොකු ම ප්‍රශ්නය SAITM ද කියලා! ඔබටත් ඔය කොටස අහු වෙන්නෙ නැහැ.
සියල්ල විකුණන, සියල්ල විකිණෙන රටක ඉතුරුවන ජාතිකත්වයක් නැහැ! අන්න ඒ ඓතිහාසික සංදර්භය තුළ, මහින්ද මේ ඉස්සරහාට එන්නෙ මොකාගෙන් මොකක් බේර ගන්නද කියලා, අර ඔබ අකමැති ප්‍රශ්නය වෙන ම තලයකදි මතු කරන්නත් පුළුවං!
ඔබ ට එකක් කියන්නං, ගෙවිඳු!
සියළු පක්ශ අභිබවා යන මහා ජාතික ව්‍යාපාරයක් අත්‍යවශ්‍ය මොහොතක, ඔබ වගෙ අය මොකක් හරි ජාතික කෑල්ලක් අරගෙන නටන ඔය නැටුම ඉක්මනටම ඉවර වෙනවා. ඒ ඔබත් ඉවර වෙලා රට ත් ඉවර වෙලා! හරියට වම්මුන්ට සහ වම ට වුණා වගෙ. මේ ගමනාන්තය නං ඊට වඩා භයානකයි මිත්‍රයා! මොකද “ජාතික” අවකාශය “වම්” අවකාශය ට වඩා තීරණාත්මකයි!
මහාචාර්‍ය චන්න ජයසුමනටත් මේ වග කියන්න!
CHAPA
Dec 9, 2018

No comments:

Post a Comment