Saturday, December 22, 2018

රාවණා සමය බිහි කළ, මිහිමඩල මත ජීවය ගොඩ නගන, හෙළයේ වෙදකම!


මේ ලියැවිල්ල, හුදු සටහනකට වැඩිය 'විශේෂ සාක්ෂි සටහනක්' කියලා මුලින් ම ඔබ ට කියන්න ඕන
මීට සති කීපයකට පෙර හදිසියෙ ම මාව ලිස්සලා වැටෙන්න ගිහිං නූලෙන් බේරුණා, බේරුණා කිව්වට ශරීරයෙ සමතුළිත බව රැක ගෙන නොවැටී ඉන්න මං අතිරේක උත්සහයක් ගත්තා. එය සාර්ථක වුණත් මට තුනටිය හරියෙන් සියුම් වේදනාවක් එන්න ගත්තා. මම, එය කලමනාකරණය කරගෙන ඔහේ වැඩ කරගෙන ගියා. සිද්ධියෙන් දින කීපයකට පස්සෙ දවසක වාහනය පදවගෙන ගිය මට අර තුනටියේ සියුම් වේදනාව එක පාරටම උත්සන්න වන බවක් දැනුණා. එය ඉතා දුෂ්කර අත් දැකිමක්, ඒ වේදනාව වචනය ට නගන්න බැරි තරම් වේදනාකාරියි. 
ඊ ළඟ දවස් වෙනකොට ශරීරය කෙළින් කර ගන්න බැරි මට්ටමටම තත්ත්වය අයහපත් වුණා. කොඳු ඇට පේළියේ ඉණ කිටුවෙන් යම් වෙනසක් වී ඇති බව මට ඒ වන විට දැනෙමින් තිබුණා, ශරීරය පැත්තකට ඇද වෙලා තියෙන බව ත් මට තේරුම් ගියා. 
දන්න කියන වෛද්‍යවරු කීප දෙනෙකුට දුරකථනයෙන් කතා කරලා උපදෙස් ගන්න උත්සහ ගත්තත් ඒ හරහා මා තුළ විශ්වාසයක් ගොඩ නැගුණේ නැහැ. බටහිර වෛද්‍ය ක්‍රමයට වේදනා නාශක සහ අවසන ශල්‍ය කර්මයක් තමයි විසඳුම. ඒ අතර භෞත චිකිත්සක ප්‍රථිකාර ත් තියෙනවා. ඊ ළඟට, මට මතක් වුණේ, ඒ දිනවල ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට වැඩ කරපු භෞත චිකිත්සකයන් සැලකිය යුතු ප්‍රමණයක්, හමුදා සේවයෙන් පසුව කොළඹ වටේ රෝහල් වල වැඩ කරනවා නේද කියලා. මම, එක්තරා ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක ට වැඩ කරන එවැනි භෞත චිකිත්සකයෙක් සම්බන්ධ කරගෙන, ඔහු ගෙ ප්‍රථිකාර ඒකකයට ගියා. ගියා කිව්වට, මගෙ වැඩ කටයුතු වලට නිතර සහය වන ඉෂාන් මාව උස්සගෙන වගෙ එහෙ ගියා. අපෙ භෞත චිකිත්සකයො ත් ඉතිං එක එක දේවල් කෙරුවා, අපි ඕතොපෙඩික් සර්ජන් හම්බ වෙමු! ඒ අතර ඔවුන් කිව්වා. කොහොමත් අන්තිමට ශල්‍යකර්මයක්!
මම දහ අතේ කල්පනා කරනවා, මොකද්ද දැන් කරන්නෙ? ජීවිතය ශල්‍යකර්මයකට භාර දෙන්න නං හිත කොහොමවත් ඉඩ දෙන්නෙ නැහැ. ඉෂාන් ගෙ තාත්තා ආයුර්වේද වෙද කම ඉගෙන ගත්ත කෙනෙක්, ඔහු ඒ අතර ඇවිත් මගේ කොන්ඳට සත්කාර කරනවා. ඒ තෙල් සාත්තුව ත් ඇඟට සනීපයි, ඒත් අර විදුලිය කොටන තුණටියේ වේදනාව එන්න එන්න වැඩි වෙනවා. ඉෂාන් වගේම ඒ තාත්තත් මං නිසා හිත කරදරෙන්.
ඔන්න ඒ අතර හීනෙකින් නැගිට්ටා වගෙ එක පාරටම අතීත අත්දැකීමක් මතකයට ආවා.
සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශයෙ සභාපති විදිහට වැඩ කරපු රෙන්ටන් ද අල්විස් ගෙ, බෙල්ල පිටු පසින් කොඳු ඇට පේළියේ ආපු බරපතළ රෝග තත්ත්වයක් සනීප කරපු 'වෙද මහත්තයා' මට මතක් වුණා. ඒ සිද්ධිය වුණේ 2010 දි වගෙ. ඊට පස්සෙ, මගේ දේශපාලන වැඩ වලදි විශාල සහයක් දෙන නිතීග්න සරත් පෙරේරා ත් ඒ රෝග තත්ත්වයෙන් ම පීඩා විඳිද්දි ඔහු ඒ වෙද මහතා ළඟට යැව්වෙ මං, රෙන්ටන් වගේම සරතුත් ශල්‍ය කර්මයකට සූදානම්ව ජීවිතය නිකං අත හැර වගේ ඉන්න මොහොතක තමයි ඒ වෙද මහත්තයා බේර ගත්තෙ!
වෙද මහත්තයා! 
අන්න උත්තරේ! '' කඳාන, දුම්‍ රිය පොළ පාරෙ ( Station Road ) තියෙන ''රාවණා අසපුව'' තමයි තැන. ඔව්! මං එහෙ යනවා. මං එකවර තීරණය කෙරුවා. මං ඒ දුරකථන අංකය හොයාගෙන ඔහුට කතා කෙරුවා.
''මහත්තයා...මං මහත්තයාව හොඳට දන්නවා, මං ඔබ තුමාගෙ හැම වැඩ සටහනක් ම වගෙ බලනවා...දැන් ම එන්න, මම ඉක්මනට මහත්තයා ගොඩ දානවා!''
ඒ වචන, ඒ වෙලාවෙ මට ලබා දීපු ශක්තිය මෙතකැයි කියා කියන්න බැහැ!
''ඔබ තුමා සමාජ ශෝධකයෙක්, අපි ඉක්මනට ඔබ තුමා ව සනීප කරලා මේ සමාජයට මුදා හරින්න ඕන!''
ප්‍රථිකාර පටන් ගන්න ගමන් ඔහු කියපු විදිහ, ඒ විශ්වාසවන්ත හඬ මට මේ දැනුත් ඇහෙනවා වගෙයි!
මම රාවණා අසපුවට ඇතුළු වුණේ දෙසැම්බර් 1, සෙනසුරාදා රෑ, ඔහු කියපු විදිහට ම ගෙවුණෙ දවස්
14 යි,ඔහු මාව හරියටම ගොඩ දැම්මා, ඒ කියන්නෙ, තුනටිය හරියෙන් පැත්තකට පැනල තිබුණු කශේරුකාව ඔහු තම දෑඟිලි වලින් යළි ස්ථන ගත කෙරුවා, ඒ අත් දැකීම විශ්මයජනකයි! එයින් සති දෙකකට පස්සෙ එළැඹෙන සෙනසුරාදාවෙ මං ආපහු ගෙදර ආවා. ඒ අස්සෙ, ඒ මැද්දෙ, දෙවැනි බදාදාවෙ දෙරණ අළුත් පාර්ලිමේන්තුවට ගිහිං එන්නත් ඔහු අවස්ථාව හදා දුන්නා. මේ නං විශ්වකර්මයක් තමයි! මං තවම හිතනවා.
ඒ ප්‍රථිකාර වලදි වෙද මහතා සමඟ එකට පුහුණු වන ඔහුගේ මුණුපුරා විශ්ව අරවිඳු ත් ඉතා ම ප්‍රශස්ත මට්ටමෙන් තමන්ගෙ කාර්‍යය කරන හැටි අත් විඳි මා අතිශය සතුට ට පත් වන්නෙ, ඊ ළඟ පරම්පරාව ත් ඒ පාරම්පරික වෙදකම සඳහා සූදානම් බව තේරුම් අරගෙන.
ශාඛ සාරයෙන් පොළව තුළ හිඳෙන තෙල්වල සුවඳ, ශරීරය මවිතය ට පත් කළ අරිෂ්ටය සහ කල්ක, බෙහෙත් කුඩු... පාන්දර මා අවදි කළ ඖෂධ කැඳ කෝප්පය, අනේ! ආයෙත් රාවණා අසපුවේ නං ඉන්න ආසයි!
''රාවණා සමය බිහි කළ, මිහිමඩල මත ජීවය ගොඩ නගන, හෙළයේ වෙදකම!''
මේ තමයි, ඔවුන්ගෙ අනාගත තේමා පාඨය!
ලොකු වෙද මහතාණෙනි! ඔබට දිගාසිරි!
පොඩි වෙද මහතාණෙනි! ඔබට ත් දිගාසිරි!
අසිරිමත් හෙළයේ සාරය, ඔබයි!
CHAPA, Dec 23, 2018

No comments:

Post a Comment