Thursday, December 27, 2018

දැන් තවත් ආරාවුලක්!

'රංචි' ගැන මං ඔබ ට කියල තියෙනවා, රංචි මේ ළඟ පාත ගෙදරක සැපට හැදෙන ආඩම්බරකාර බැළලියක්. ඇය ට කන්න බොන්න ලැබෙන්නෙ සුපිරි වෙළෙඳ සැල් වල තියෙන පිට රට බළල් කෑම. හාල් මැස්සෙක්, කරවල කෑල්ලක්, මාළු කෑල්ලක් දිහා ඇය හැරිලවත් බලන්නෙ නෑ. කිරි ත් එපා කියන කෙනෙක් තමයි එයා. 
ඒ නිසාමද මන්දා, ඇයගෙ හැසිරීම අමුතුයි. ඒ ගැන තමයි දවසක් මං සටහනක් ලිව්වෙ. කොටින් ම රංචි, රස්තියාදුකාර මීයො කීප දෙනෙක් ළඟ කොමල කර කර බලන් ඉන්නවා මං දැක්කා. පහු ගිය දවස්වල ඉතිං කොහොම හරි රංචි මේ පැත්තෙ ආවෙ නැහැ, සමහරු කිව්වා එයා ගැන මූණු පොතේ ලියපු නිසා ඒ වග දැනගෙන මට මූණ දෙන්න ලැජ්ජාවෙ එහෙම මග හැරලා ඉන්නවා කියල.
ඒ අතරෙ තමයි, මේ ළඟදි මූණු පොතට ලියැවෙමින් තිබුණු මගේ සටහනකට අමුතු භාෂාවකින් කෑල්ලක් එකතු කරපු කහ පාට ට හුරු අනිත් බැළලිය ආවෙ. ඇය නිතර නිතර මෙහෙ ඇවිත් කාලා බීලා කරකැවි කැවි ඉඳලා යන්න යනවා, ආයෙ එනවා. ඒ අස්සෙ එයා පස්සෙ වැටිච්ච බළල් පෙම්වතෙක් ඇයටත් අයුතු බලපෑම් කර කර මටත් පාට් දදා එනවා, යනවා. හිටපු ගමන් චණ්ඩියෙක් වගෙ සාලෙ මැදින් මාව ගණන් ගන්නෙවත් නැතුව නිකං මට බැන බැන වගෙ ඇවිදගෙන යනවා. එයා හිතන්නෙ, එයාට අරයා ඉඩක් දෙන්නෙ නැත්තෙ මගේ බලපෑමක් නිසා කියල වගෙ.
මං මොනවා කරන්නද! ඇය තවම පැටියෙක් මං නං හිතන්නෙ. පිස්සු!
දවසක් ඔන්න මං දැක්කා අර රංචි හොරාට වගෙ අපේ ගෙදර තාප්පය දිගේ ඇවිදගෙන ඇවිත් ඒ තාප්පයෙ තැනක දිගා වෙලා හිටපු කහ පාට බැළලියට ගොරවලා සැර දානවා. මං මැදිහත් වෙලා ඒ රණ්ඩුව නං බේරුවා. ඒත් ඉවරයක් නෑ. වරින් වර රංචි, හැංඟි හැංඟි ඇවිත් කහ බැළලිය මේ පැත්තෙ ඉන්නවා නං බය කරලා එළවනවා. ඇය ගොරවන සද්දෙ ඇහුණොත් නං මොකක් හරි බේරුමක් කරන්න පුළුවන්, ඒත් හැම වෙලාවකම මං නැහැනෙ.
වැඩේ තියෙන්නෙ, හැඟීම් දැනීම් අඩු වගේ ඉන්න රංචි අර කහ බැළලිය එක්ක තරහා ඇයි? එය අනිවාර්‍යයෙන් ම ඉරිසියාවක් ම තමයි. ඒ මූණෙ හැටි මට පේනවනෙ. ඒ ඉරිසියාව අර බළල් පෙම්වතා මේ කහ බැළලිය පස්සෙ වැටිලා ඉන්න නිසාද? රංචි එක කාලයක් මගෙන් ලබපු යම් යම් වාසි දැන් ඇයගෙ පස මිතුරිය ට ලැබෙන නිසාද? මේ මිනිස් බළල් ආදරය පිළිබඳ ආරාවුලක් ද, බළල් බළල් ආරාවුලක් ද?
මදෑ! තියෙන කරදර මදිවට!
CHAPA
Dec 27, 2018

No comments:

Post a Comment