Monday, December 17, 2018


...another true story!

මට ඒ ඉවසිම එපා!



''මහත්තයා...මං මේ අලුත් වැඩ පිළිවෙළක් ගැන කල්පනා කරනවා...''
ජංගම දුරකතනය දිගේ උදෙන් ම උන්වහන්සෙගෙ කට හඬ, පුංචි කාලයෙ ගමේ පංසලේදි හිතේ රැඳුණු අර ලොකු හාමුදුරුවන්ගෙ කරුණාවන්ත කට හඬමයි. දැන් මාස කීපයක ඉඳන් වන්නිය පැත්තෙ පංසලකින් මේ හාමුදුරුවො වරින් වර කතා කරනවා. රට ගොඩ ගන්න හැටි තමයි කතා කරන්නෙ.
''මේ අපේ රට...අපෙ ඇස් පනා පිට විනාශ වෙන්න දෙන්න බෑ!''
''එහෙමයි අපෙ හාමුදුරුවනේ...''
''මහත්තයො, එන්න එන්න රටේ තත්ත්වය වෙනස් වෙනවා, රට යන්නෙම වලපල්ලට...නේද මහත්තයො?''
''ඒක තමයි හාමුදුරුවනේ...අපි මොනවා හරි කරන්න ඕන, ඒත් මිනිස්සු ඒ ඒ පක්ෂ එක්ක බැඳිලා...වහල්ලු වගේ, මොකුත් ම කරන්න බැහැ...''
''අන්න ඒකයි අපෙ මහත්තයෝ...මං මේ අලුත් වැඩ පිළිවෙළක් ගැන හිතුවෙ, දැන් මෙයාලා හදන්නෙ, විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නනෙ, නේද? අපි මේ අවස්ථාවෙ උපායශීලි වෙන්න ඕන...''
''ඒ කියන්නෙ?''
''අපි හදන්න ඕන, ඕන කෙනෙකුට ජනාධිපති වෙන්න පුළුවන් විදිහක්...මහත්තයාට තේරුණාද?''
'' මට නං තේරෙන්නෙ නැහැ හාමුදුරුවනේ...''
''අපි නෙට් එකක් හදනවා ඕන කෙනෙකුට ඒ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන් විදිහට...''
''නෙට් එකක්?''
''ඔව්, අපෙ මහත්තයෝ...නෙට් එකක්, අපි ඊට පස්සෙ SMS මාර්ගයෙනුත් නාම යෝජනා බාර ගන්නවා...''
''හාමුදුරුවො මේ උදේ පාන්දර විහිළුවක් එහෙම කරනවා නෙවෙයි නේද?''
''නෑ මහත්තයෝ, මං මේ හුඟාක් කල්පනා කරලා තමයි කතා කරන්නෙ, අපි අවස්ථාව හදන්න ඕන, ඕන කෙනෙකුට විධායක ජනාධිපති වෙන්න පුළුවන් විදිහක්...''
''අනේ හාමුදුරුවනේ, තරහා වෙන්න එපා මෙහෙම කිව්වට, ඕක මහා පිස්සු අදහසක්, ඔබ වහන්සේ දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම යම් දුරකට හරි අධ්‍යනය කරල තියෙනවද? මං මේ නිකමට අහන්නෙ...''
මං අහන්න දෙයක් නැතුව වගෙ ඔහේ අහනවා.
''ඒවා ඕන එකක් ඔහේ තිබිච්ච දෙන් මහත්තයා, අපි අපේ වැඩේ කරමු...''
''ඔබ වහන්සේ කවුරු හරි නොමග යවනවා, ඔය නෙට් එක හදන්නෙ කොහොමද කියන්නකො...''
මගේ හඬ දැන් ටිකක් වෙනස් වෙනවා.
''අන්න ඒ ගැන තමයි මං මේ කියන්න හදන්නෙ, දැන් ඔය තියෙන ඉන්ටර්නෙට් එහෙම එක එක සමාගම් කාරයින්ගෙනෙ...අපි වෙනම නෙට් එකක් හදනවා...''
''වෙන අන්තර්ජාලයක්?''
''ඔව් මහත්තයා...උවමනාව තියෙනවා නං මොනවද කරන්න බැරි?''
''අපෙ හමුදුරුවනේ...මේ කතා අහනකොට මට නිකං විකාරයි වගෙ...''
''එහෙම වෙන්න එපා මහත්තයො...අර එදා දෙරණ වැඩ සටහනේදි විශ්වවිද්‍යාල මහාචාර්‍ය දේවසිරි මහත්තය කියපු දේවල් උනත් ඔයිට වඩා ඉවසීමෙන් අහන්න තිබුණා අපෙ මහත්තයා...මං මේ තරහට කියනවා නෙවෙයි...අපි එකතු වෙලා මේ නෙට් එක හදමු මහත්තයා, මං කියනවට...''
''හාමුදුරුවනේ, මාත් මේ කියන්නෙ කේන්තියකයට නෙවෙයි, ඔබ වහන්සේ කියන්නෙ මොකද්ද කියල ඔබ වහන්සෙම දන්නෙ නෑ! මට හිතෙන්නෙ, ඔබ වහන්සෙගෙ හිත හොඳ කම නිසා කවුරු හරි ඔබ වහන්සේ නොමග යවනවා...මේ වෙලාවෙ නෙට් දාලා සිංහල බෞද්ධ ඡන්ද කොල්ල කන්න වගේම ඒ ජන සමාජය විනාශ කරන්න ලොකු ප්ලෑනක් යනවා, මට පේන්නෙ ඔබ වහන්සේත් එහෙම නෙට් එකකට අහු වෙලා වගෙ..කෝකටත් පරිස්සමෙන් අපෙ හාමුදුරුවනේ...''
''එහෙම නෙවෙයි මහත්තයො...මේ වැඩ වලට ඉවසීම ඕන..බුදුහාමුදුරුවොත් දේශනාකරලා තියෙන්නෙ...''
''මට ඒ ඉවසීම එපා!''
මං එහෙම කිව්වෙ නැහැ, ඒත් උන්වහන්සේට කතා කරන්න නොදී කෝල් එක කට් කෙරුවා. ආයෙ ගත්තොත් උත්තර දෙන්නෙම නෑ!
CHAPA
Dec 18, 2018

No comments:

Post a Comment