Thursday, August 10, 2017

    

ඇයි කතා නැත්තෙ?















''මොකක් හරි අප්සෙට් එකක් නේද?''
''නැහැ, එහෙම එකක් නැහැ!''
''නැති වෙන්න බැහැ!''
''පිස්සුද අනේ, නැති ප්‍රශ්න ඇති කරන්න එපා...කිසිම අවුලක් නැහැ!''
මේ දෙබස, මම සහ මිත්‍රයෙක් අතර.
සමාජ යහපත ගැන උනන්දුවක් තියෙන සහ ඒ වෙනුවෙන් යමක් කරන්න උත්සහ කරන ඔහු දැන් දවස් දෙක තුනක ඉඳල හිතේ අමාරුවක වගෙ ඉන්නවා.
''අපි, අපිට පුළුවන් දේ කරමු! හිතේ අමාරුව හදා ගන්න එපා!''
''ඔය...ආයෙත් කියනවා, එහෙම එකක් නැහැ...ඒ ඔයාට පේන විදිහ...''
ඔහු දිගටම කියනවා.
ඒ වුණාට ඒක එහෙම වෙන්න බැහැ. ඔහුට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාමයි, මම ඔහුට එරෙහිව කල්පනා කරන්න ගන්නවා.
මොකක් වෙන්න පුළුවන් ද?
ආයතනයෙ ප්‍රශ්නයක්?
මුදල් ප්‍රශ්නයක්?
පවුලෙ ප්‍රශ්නයක්?
අසනීප තත්වයක්?
මොකක් වෙන්න පුළුවන් ද?
අසම්මත ප්‍රේමයක් නිසා ඇතිවුණු ආරවුලක්!
නිකං විහිළුවට වගෙ මම එහෙමත් හිතනවා.
''මම ඇත්තම කියන්නං, ඔයා හරියටම හරි...මම ඉන්නෙ අප්සට් එකක තමයි...''
දවස් කීපයකට පස්සෙ ඔහුගෙ දුරකථනය ට ආයෙත් පණ ඇවිත්.
''මම මේක කාටවත් කියන්නෙ නැහැ කියල හිටියෙ, ඒත් ඔයා මගෙ වෙනස තේරුම් ගන්න නිසා කියන්න හිතුවා...දිගටම අහනවත් එක්කනෙ...''
ඔහුගෙ බිඳුණු හඬ.
''කියන්න...අඩු තරමෙ හිත නිදහස් වෙනවනෙ...''
''අපේ ගෙදරට හොරු එනවා...මාර ප්‍රශ්නයක්...''
''මොකක්? හොරු?''
''ඔව්! මං නං හිතන්නෙ කුඩු කාරයො...දවස් කීපයකට කලින් උදේ එළිවෙන අතේ, ගේ පිටි පස්සෙන් මොකද්ද සද්දයක් ඇහුණා...මට එක පාරටම ඇහැ ඇරුණා..ඊට පස්සෙ මම එළියෙ ලයිට්ස් දැම්මා...අල්ලපු ගෙදරටත් කෝල් එකක් ගත්තා..ඒ ගොල්ලොත් එක පාරට ම එළියෙ ලයිට්ස් දැම්මා...ආපු කෙනා හයියෙන් පිටිපස්සෙ දොරට ගහල දිව්වා...''
''මාර සිද්ධියක් නෙ!''
''මීට කලිනුත් දවසක් මම ටිකක් රෑ වෙලා ගෙදර එනකොට...ගෙයි පිටිපස්සෙ දොර හායි ගාලා ඇර දාලා තිබුණා...වයිෆ් දරුවොත් එක්ක කාමරේ නිදි...ඒක එයාලා ඇතුළෙන් ලොක් කර ගන්නවා...''
''ඒ කියන්නෙ එයාලත් දන්නෙ නැතුව හොරෙක් ගෙට ඇවිත්...''
''ඔව්, අපේ ඩීවීඩී ප්ලේයර් එකත් අරං ගිහිං...මම එනකොට ම වගෙ තමයි යන්න ඇත්තෙ..නැත්තං තව මොනවා හරි අරං යයි නෙ...''
ඔහුගෙ හඬේ තියෙන්නෙ දුකක් ද කලකිරීමක් ද කියන එක මට තේරුම් ගන්න අමාරුයි, ඒත් තරහක් වෛරයක් නං අහළකවත් නැහැ.
''මොකක් හරි යකඩයක් දාලා තමයි පිටිපස්සෙ දොර ඇරගෙන තියෙන්නෙ...ඊට පස්සෙ මම ඒකට දොර පොල්ලකුත් හයි කෙරුවා...''
සමාජය යහපත් අතට හරවන්න නිතර නිතර කතා කරන යහපත් මනුෂ්‍යයෙකුට මුහුණ දෙන්න වෙලා තියෙන කාලකන්ණි අත් දැකීම! මම නිකං හිස් වේගන යනවා.
''ඒ පාර නං පොලීසියට පැමිණිළි කෙරුවා...ඒ ගොල්ලො ඇවිත් බැලුවා, වැඩක් වුණේ නැහැ...කවුද සැක ඇහුවා...මම ඉතිං මොනවද කියන්නෙ?''
සැක? කවුරු කාවද ඇත්තට ම සැක කරන්න ඕනෙ? බරපතළ ප්‍රශ්නයක්!
''බලන්න! මුළු සමාජයම කඩා වැටෙනකොට කාටවත් පවතින්න බැහැ! එකෙකුටවත් මේ සිද්ධ වෙමින් තියෙන සමාජ ව්‍යසනය තේරුම් ගන්න ඕනෙත් නැහැ!''
මම දැඩි ස්වරයෙන් කියන්න ගන්නවා.
''ඔව්! අපි කාටවත් සමාජ සුරක්ෂිත බවක් නැහැ, මෙහෙම බයේ බයේ ජීවත් වෙන්නෙ කොහොමද, මට නං ප්‍රශ්නයක් නැහැ! ඒත් වයිෆ් හොඳටම අප්සට් වෙලා ඉන්නෙ...මට ඒක බලාගෙන ඉන්න බැහැ...අපි දරුවන් ට නං  මේ සිද්ධි ගැන වැඩිය දැනගන්න අරින්නෙ නැහැ...''
ඔහුගෙ බිඳුණු ස්වරය අහන් ඉන්නත් අමාරුයි.
''අනේ හොරෝ! ආයෙත් නං මේ මිත්‍රයාගෙ ගෙදරට පනින්න එපා! එයා උඹලා වගෙ ජීවිත අහිමි කර ගත්තු පීඩිත මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න උත්සහ කරන කෙනෙක්. උඹ තේරුම් ගනින්...ඒ වගෙ මිනිස්සු අපි ආරක්ෂා කරන්න ඕනෙ, දවසක උඹලා...උඹලාගෙ ළමයි ආරක්ෂා කරන්න ඉන්නෙත් මේ වගෙ යහපත් මිනිස්සු විතරයි!''
මම, ඒ හොරාව මවාගෙන රහසින් ඔහුට කතාකරන්න පටන් ගන්නවා.
''මොකක්?''
හොරාගෙ හඬ!
''යහපත් මිනිස්සු?!''
''ඔව්! යහපත් මිනිස්සු!''
''විකාර! යහපත් මිනිස්සු ඉන්නවා නං අපි කුඩුකාරයො වෙයි ද? අපි හොරු වෙයි ද?''
මම දැන් මොකද්ද කියන්නෙ? ඔළුවට අදහසක් එන්නෙම නැහැ!
''ඇයි කතා නැත්තෙ?''
ඔහු අහනවා.
''ඇයි කතා නැත්තෙ?''
ඔන්න! ඒ ප්‍රශ්නය දැන් හැම තැනම දෝංකාර දෙන්න අරං!
CHAPA 
August 11, 2017 


  








No comments:

Post a Comment