Monday, August 28, 2017


අශ්ව, බූරු, ඔටු, මී - ගොන් මැද, පෙරහැරේ යන අලි!

දිගු කාලයක පටන්, ලංකාවෙ පැවැත්වෙන මහනුවර දළඳා පෙරහැර දක්වා වූ විවිධ පෙරහැර පැවැත්වීමට, අවශ්‍ය අලි ඇතුන් නොමැති වීමේ බරපතළ ගැටළුවක් මතුව තියෙන බව දැන් ප්‍රසිද්ධ ප්‍රවෘත්තියක්! 
මෙහෙම අලි හිඟ වෙන්න බලපාන හේතු අතර, පෙරහැරේ යන අලි හිංසාවට ලක් වෙනවා! කියන චෝදනාව ට පසුබිම් වන සිදුවීම් පෙළකුත් දකින්න ලැබෙනවා. අලි ලියාපදිංචි කිරීම, අලි business, අලි හොරකම් සහ අලි හොරු! වගෙ කෙටි කතා අහන්න දකින්න ලැබෙන්නෙ අන්න ඒ සිදුවීම් අතරෙ තමයි.
මේ සියල්ල මැද අලි ඇතුන් හිංසනය ට ලක්වීම! කියන මාතෘකාව වැදගත්. 
හරියට බැලුවොත් මිනිස්සු බවට පත් වෙමින් 'අපි' වනාන්තරයෙන් එළිය ට ආවාට, අනිත් හැම සතෙක් ම වගෙ අයිති ඒ ස්වාභවික පද්ධතිය ට, ඇත්තටම සිද්ධ වෙන්නෙ අනිත් හැම සතෙක්ම සහ අවසාන වශයෙන් මුළු මිහිතලයම, මිනිස්සු - අපි, අපේ  අණසකට ගන්න ඉතා බරපතළ සහ මෝඩ උත්සාහයක, මේ මොහොතෙ පවා යෙදී ඉන්න එක. ඒ ඓතිහාසික මහා සංවාදය තුළ, අපේ විවිධ උවමනාවන් සඳහා අනිත් සත්තු මරන එක, මරාගෙන කන එක, උන් අපේ වැඩ වලට යොදා ගන්න එක යළි යළිත් අභියෝගය ට ලක් වෙනවා. විවිධ ආගමික කතා සහ හිත හදා ගන්න තවත්බො රු කතා කිව්වාට අපි ඔක්කොම ඒ බරපතළ අපරාධයෙ කොටස් කරුවන්.
ඒ අර්ථයෙන් ලංකාවෙ පෙරහැර සඳහා අලි ඇතුන් යොදා ගැනීම ත් සම්පුර්ණ වරදක්!
ඒත් මේ චෝදනාව එල්ල වෙන්නෙ ඒ අර්ථයෙන් නෙවෙයි, අන්න එතැනයි ප්‍රශ්නය! බලන්න! ලෝකයෙ විවිධ රටවල් වල විශේෂ සතුන් වර්ග කීපයක් ම ප්‍රසිද්ධ මිනිස් උවමනාවන් සඳහා යොදා ගන්නවා. ඒවා සංස්කෘතික ලක්ෂණ විදිහට පවතින සහ පෙනෙන නිසාම අවසන් විග්‍රහයෙදි ආර්ථික කටයුතු වලට ඍජුව ම සම්බන්ධයි. ලංකාවෙ පෙරහැරටත් මේ න්‍යාය අදාළයි. දැන් එතකොට, එංගලන්තයෙ අශ්ව කතා, ස්පාංඥයෙ ගොන් කතා, අරාබියෙ ඔටු කතා, ඉන්දියාවෙ ගොන් කතා, අප්‍රිකාවෙ අලි කතා...මේ සියල්ල ලෝක සංස්කෘතික උරුම බවට පත් කරන්න යෝජනා කරමින් ලංකාවෙ පෙරහැරේ යන අලි ඇත්තු ගැන මෙහෙම ''හදිසි ලෝක අනුකම්පාව'' ක් ඇති වෙන්නෙ ඇයි? 
මේ ප්‍රශ්නය ඉතාමත්ම දේශපාලනිකයි!
ලංකාවෙ ආර්ථිකය, ප්‍රධාන වශයෙන් ම පදනම් වෙන්නෙ කෘෂිකර්මාන්තයට. ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි කියන සංස්කෘතික - ආර්ථික සුත්‍රය හරියට ම හරි! මහින්දාගමනය ත් එක්ක, එතෙක් පැවති හෙළ ගොවිකම ට විශාල බුද්ධිමය ආලෝකයක් ලැබෙනවා. එය හරියටම ගත්තොත්, මේ රටේ දේශපාලන පුනරුදයක්. අද වෙනකොට වේගයෙන් දියවෙමින් තියෙන්නෙ රටේ අන්න ඒ ඓතිහාසික අනන්‍යතාව. දකුණු ඉන්දියානු ආක්‍රමණ, පසුව පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ ඉදිරියෙ සම්පුර්ණයෙන් පාහේ දුර්වල වන ඒ ස්වදේශීය ශක්තිය, 1930 ගණන්මේ වන විට සිංහල, දෙමළ, මුස්ලිම් සහ තවත් ජාතීන් විදිහට ත් බෙදිලා මේ වනවිට, ඊනියා ජාත්‍යන්තර මර උගුලක ට අහුවෙලා තියෙනවා. 
දළඳා පෙරහැර ප්‍රමුඛ පෙරහැර සංස්කෘතිය ප්‍රතික්ෂේපිත තැනකට තල්ලු කෙරෙන්නෙ මේ සන්දර්භය තුළ. ඒ කියන්නෙ ලාංකේය සංස්කෘතිය තව දුරටත් මරා දමමින් ම අදාළ ආර්ථික ඝාතන ක්‍රියාවලිය දිගටම ඉස්සරහට යනවා කියන එක. 
ඒ ගෝලීය පරිමාණ ප්‍රබල දේශපාලන මෙහෙයුමක්!
මේ දේශපාලන සංවාදය ගොඩ නගාගන්න අපට බැරි වෙලා තියෙනවා විතරක් නෙවෙයි, දැන සහ නොදැන, සිංහල බෞද්ධ ලේ ගැන කියමින් සහ මෙය හුදු ජාතික - ආගමික ප්‍රශ්නයක් කරමින් අපේ සමහර කණ්ඩායම් හැසිරෙන මෝඩ ආකාරයෙන් ම, ඒ මහා දේශපාලන - වෙළෙඳ මෙහෙයුම ශක්තිමත් වෙමින් තියෙනවා!
අශ්ව, බූරු, ඔටු, මී - ගොන් මැද, පෙරහැරේ යන අලි! සමඟ අපි ඉතිං දැන් මොකද කරන්නෙ?
CHAPA 
August 28, 2017  


No comments:

Post a Comment