Monday, August 14, 2017

ජෝගින් පොලිටික්ස් 

විදේශ රටකින් දුරකථන ඇමතුමක්! ඊයෙ.
''හහ්.. හහ් ...හෙලෝ !...හහ්..හහ්...''
හති දාන ගමන් වගෙ නගන මැදි වියේ කට හඬක්!
''හහ්..හහ්..මම ඉන්නෙ යුරොප්වල...මට නං කිසිම ප්‍රශ්නයක් නැහැ....හහ් හහ්...මං බැලුවෙ ශ්‍රී ලංකාව දැන් අන්තිම නරක තත්වයක තියෙන්නෙ...නේද?හහ්...හහ්...''
''ඔව් ඉතිං රටේ අර්බුදයක් තියෙනවා...''
මම ඔහුට ප්‍රතිචාර දක්වන අතරෙ අර හහ් හහ් හති හඬ ගැනත් උනන්දු වෙනවා!
''දැන් බලන්න අර...රවී කරුණානායකගෙ සිද්ධිය..ඒක හරි නෑ...ඔයාලා වගෙ අය මේවාට මීට වඩා මැදිහත් වෙන්න ඕනෙ...හහ් හහ්...''
''මම නං ඉතිං කරන්න පුළුවන් උපරිම දේ කරනවා...තව අවස්ථා හොයාගන්න ඕනෙ..මේ අරගලය පුළුල් කරන්න ඕනෙ...''
''අන්න ඒක තමයි, කොච්චර වැඩ අධික වුණත්, මම මේ පැහැදිලි කරන්න ගත්තෙ...හහ් හහ්...ඔයා වගෙ අය තව ඉස්සරහට ඇවිල්ලා...ඔයගොල්ලන්ගෙ රට හදා ගන්න ඕනෙ...තේරුණා ද? හහ් හහ්...''
ඔහු, මොකක් හරි මහන්සිවෙන කටයුත්තක යෙදෙන ගමන් වගෙ, මම තේරුම් ගන්න උත්සහ කරනවා.
''මම වෙලාවක් ආවහම යූ ටියුබ් එකෙන් ඔයාගෙ වැඩ සටහන් බලනවා...ඒවා හොඳයි...ඒත් තව ඉදිරිපත් වෙන්න ඕනෙ...දැන් හහ් හහ්....බලන්න! ඔය රට එන්න එන්න දුප්පත් වෙනවා...මොකද කාටවත් රට ගැන හැඟීමක් නැහැ...මෙහෙ තත්වය වෙනස්...හහ් හහ්...''
හරි! එයා ජෝගින් යන ගමන්! මම ඒ හතියෙ රිදම් එක අල්ල ගත්තා! ඔහු හහ් හහ් හඬ මැද්දෙ සෑහෙන්න විස්තර කියන්න ගත්තා. ඔහු ට අවශ්‍ය වෙලා තියෙන්නෙ, මම තව ඉස්සරහට ඇවිල්ලා මේ දුෂිත පාලකයන්ට එරෙහිව සටන් කරන හැටි කියන්න.
''මම හිතුවා...හහ් හහ්...ඒක ඔබ තුමාට කියන එක මගෙ යුතුකමක් කියලා...හහ් හහ්...''
''මම ලැබෙන හැම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජනය ගන්නවා...මේ සටන ලේසි නැහැ! විදේශ ගතවෙලා ඉන්න, ඔබ වගෙ අය ඇයි මේ දේවල් දිහා නිහඬව බලාගෙන ඉන්නෙ? විවිධ පැතිවලින් මේ පාලකයන්ට බලපෑම් කරන්න පුළුවන් නෙ...''
මම කියන්න පටන් ගත්තා.
''දැන් මගෙ කාලය හරි...හහ් හහ්...''
කාලය?
''ආයෙත් විවේකයක් ආපු ගමන් ඔයාට කෝල් කරන්නං...හහ්..හහ්...ඕකේ?දිගටම ඔහොම කරගෙන යන්න''
''හහ් හහ්!''
මමත් එහෙම හති ඇරලා, හිතින් මටම ඇද කරගෙන නිකං හිටියා.
CHAPA 
August 14, 2017 
 
 

No comments:

Post a Comment