Monday, August 21, 2017

                                                මම මේ රටේ බදු ගෙවන අභිමානවත් පුරවැසියෙක්?

''මමත් හොය හොයා හිටියෙ ඔබ වගෙ කෙනෙක් තමයි...''
මැදි වයසෙ ව්‍යාපාරිකයා කතාව පටන් ගත්තා.
''ඔබ තුමා කරන්නෙ සමාජය බල ගන්වන එකනෙ...ඒක තමයි අපි කරන්න ඕනෙ...මට මෙයා කිව්වා ඔබ තුමා කරගෙන යන වැඩ ගැන, ඇත්තටම මම පැහැදුනා...''
ඔහු ඔය 'මෙයා' කියන්නෙ මෑතක දි මම දැන හැඳින ගත්ත තවත් පුද්ගලයෙකු ට.
''අපි මේ රටේ ජනතාවට කියල දෙන්න ඕනෙ..බදු ගැන...''
''ඒක හොඳ අදහසක්...''
මම ඔහුට ප්‍රතිචාර දක්වනවා.
''ඔන්න හොඳ ව්‍යාපෘතියක් තියෙනවා...මට ඒක ටක් ගාලා ගන්න පුළුවන්...''
ඔහුගෙ හඬ ප්‍රේමනීයයි, මුහුණට ආලෝකයක් එන්නත් පටන් අරන්.
''අපි ජනතාව දැනුවත් කරන්න ඕනෙ...බදු ගෙවනවා කියන්නෙ අභිමානයක් කියලා...''
''ඒ කියන්නෙ?''
ප්‍රශ්නය මගෙන්!
''මම මේ රටේ බදු ගෙවන අභිමානවත් පුරවැසියෙක්! කියල හැමෝටම හිතෙන්න ඕනෙ...දැන් ඒක නිකං වදයක් හැටියටනෙ පේන්නෙ...''
''මට තේරෙන්නෙ නැහැ...''
''ආණ්ඩුව දැන් ඔය ප්‍රොජෙක්ට් එකට සල්ලි වෙන් කරලා තියෙන්නෙ...මට ඒක ගන්න පුළුවන්..ප්‍රොපොසල් එක දාන්න විතරයි තියෙන්නෙ...අපිට තියෙන්නෙ...ජනතාවට ඒ හැඟීම දෙන්න...''
ඔහු උනන්දුවෙන් කියාගෙන යනවා.
''මේ දේශපාලකයන්ට සුර සැප විඳින්න...උන්ගෙ ගෝල බාලයන්ට හොරකං කරන්න...තව තව බදු ගෙවල අභිමානයෙන් ඉන්න මහජනතාවට උගන්වනවා!''
මම පෙරළා ඇහුවා. ඇහුව කිව්වට කිව්වා.
''ඒ කියන්නෙ...ඒක උගන්වන්නෙත් උන්ගේම බදු සල්ලි වලින් ව්‍යාපෘති හදලා..?''
තවත් ප්‍රශ්නයක්, ප්‍රශ්නයක් කිව්වට මම නිකං කියනවා.ඔහු කට ඇරගෙන බලාගෙන ඉන්නවා.
''ජනතාවට උගන්වන්න ඕනෙ...බදු සල්ලි වලින් පිස්සු කෙළින...ඒවා නාස්තිකරන...හොරකං කරන ආණ්ඩුවට ගල් ගහන්න..මේ රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහි වෙන්න!''
මම උස් හඬින් කියාගෙන යනවා.
''ඔව්! හරි!..අපිට අන්න එකත් අපේ ප්‍රොපොසල් එකට ඉන්ක්ලුඩ් කරන්න පුළුවන්...''
ඔහු එක පාරටම පණ ගහලා ආවා.
''අපි අපේ ප්‍රොජෙක්ට් රිපෝර්ට් එකේ කියනවා...ජනතාව අන්න එහෙම හිතනවා කියලා...අපි දාන්නෙ ඒක අපි සමීක්ෂණයකින් හොයා ගන්නවා වගෙ එකක්!''
''ජනතා මතය!''
''අන්න හරි!''
''තෝ මගෙන් මැරුං නොකා පල මෙතනින්!''
ඔය අන්තිම වාක්‍ය මට කියන්න ඕන වුණත්, ඔය වගෙ කතා කියන්න එපා කියල fb මිත්‍රයන්ටත් නිතර කියන එකේ, මම නිකං බිම බලාගෙන ආපහු ආවා!
CHAPA
August 22, 2017

No comments:

Post a Comment