Thursday, August 17, 2017

   SAITM විරෝධී සිසු අරගලයේ දිශාව!


SAITM විරෝධී සිසු අරගලය, දැන් තවදුරටත් SAITM කියන පුද්ගලික වෛද්‍ය විද්‍යාලය( ? ) ට පමණක් ඉලක්ක ගත වූ දේශපාලන ක්‍රියාවලියක් නොවන බව පැහැදිලියි. රටේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව හරහා මතුවන සමාජ සුභ සාධනය පිළිබඳ රාජ්‍ය ක්‍රමවේදයම මේ තුළ බරපතළ ලෙස ප්‍රශ්න කෙරෙමින් තියෙනවා. 
එය ඉතාම සාධනීය දේශපාලන තත්වයක්! 
ඊළඟට මේ වේදිකාවෙන් ඇහෙන ලිබරල් ආර්ථිකය, ධනවාදී පාලකයන්, මේ ආණ්ඩුව ට එරෙහි, ආණ්ඩුව ගෙදර යැවීම,  නෙවිල් - රාජිත - SB - කිරිඇල්ල - රවී - පොලිසිය...වගෙ ප්‍රකට නම් - යෙදුම් හරහාත් යම් දේශපාලන සංවාදයක් පිළිබඳ දේශපාලන සංඛේත මතුවෙනවා.
ජනතා ආකර්ෂණය දිනා ගන්නා සහ විශේෂයෙන් ම තරුණ කොටස් ඒකරාශී කරන්න පුළුවන්,  ළහිරු වීරසේකර වගෙ අලුත් දේශපාලන චරිත සහ වේගවත් කථිකයන් පෙළකුත් මේ වේදිකව මත මේ කාලය තුළ නිර්මාණය වෙමින් තියෙනවා.
මේ තත්වයත් සාධනීයයි!
කාලයක පටන් ජවිපෙ බලය තුළ, අන්තර් විශ්ව විද්‍යාල පෙරමුණක් ව තිබූ ඒ ශිෂ්‍ය ප්‍රජාව පසු කලෙක, ජවිපෙ බිඳගෙන ආ පෙරටුගාමීන් අතට පත්වීමෙන් පසු, යළි මේ SAITM විරෝධී වේදිකාව විසින් තවත් තලයකට තල්ලු කර තිබෙන නිසා, එතැන ත් නව දේශපාලන මානයක් ඉස්මතු වෙනවා. ඒ කියන්නෙ, ජචිපෙ සහ පෙරටුගාමීන් අතර,  වරෙක මතවාදී බෙදීමකට ලක් වූ විශ්වවිද්‍යාල ප්‍රජාව මේ වේදිකාව මත බැලූ බැල්මට ම එකක් වගෙ පෙනෙන පිළකට ගොනුකරලා තියෙනවා.
ඔව්! මේ දේශපාලන මොහොත ඓතිහාසික තමයි!
ඒත් ඊළඟට බරපතළ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ, මේ භෞතික වේදිකාවට සමගාමී ව ගොඩ නැගෙන මතවාදී වේදිකාව මොකද්ද? කියන එක.
මේ වේදිකාව ට නගින දිනේෂ්, වාසු, තිස්ස...වගෙ ඒකාබද්ධ විපක්ෂය ට සහ පරණ වමට සම්බන්ධ කට්ටිය ට අවශ්‍ය කුමක් ද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒ සියලු දෙනා SAITM ව්‍යාපෘතිය ට එකඟයි. ඔවුන් නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් පෙනී හිටින්නෙ නැහැ. ඔවුන් ඍජුව සහ වක්‍රාකාරව 70 දශකයේ සිට ක්‍රියාත්මක, ලෝක බැංකු - ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආර්ථික ඝාතකයන් තව දුරටත් රට ට යෝජනා කරමින් තියෙන ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණවලට එකඟයි, ඔවුන් බොහෝ දෙනා ඒ ඒ ව්‍යපෘතිවලට සම්බන්ධයි. ඒ තියා SAITM නිර්මාණය කෙරුවෙත් ඔවුන්. එතකොට මේ ඔවුන් නගන SAITM විරෝධී හඬ කුමක් ද? බරපතළ ප්‍රශ්නයක්!
ඊළඟට මේ වේදිකාවෙ සැලකිය යුතු බලයක් අත්පත්කරගෙන සිටින ජවිපෙ ට අවශ්‍ය කුමක් ද? මේ යහපාලන ආණ්ඩුව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්, කොටින්ම එය ජනප්‍රිය - ප්‍රකට Regime Change එකක්. එය හරියට ම ''රාජපක්ෂවරු වෙනුවට රාජපක්ෂවරු'' හෝ ''රාජපක්ෂවරුන් ට එරෙහි රාජපක්ෂවරු'' වගෙ ඊනියා ජාත්‍යන්තර ව්‍යාපෘතියක්. ජවිපෙ ට ඒ දේශපාලන යථාර්ථය එදා තේරුම් ගන්න බැරි වුණා හෝ ඔවුන් එහි දැනුවත් කොටසක් බවට පත් වුණා. මේ දැනුත් රට තවදුරටත් විනාශකරමින් ඉන්න මෛත්‍රී - රනිල් ආණ්ඩුවේම සක්‍රීය කොටසක්ව සිටිමින් තමයි, ඔවුන් මේ SAITM විරෝධී වේදිකාව දෙවනත් කරන්නෙ! ඊළඟට ඔවුන්ගෙ බලය තුළ ක්‍රියාත්මක වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය ඓතිහාසික වශයෙන් ම ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා. ඔවුන්ගෙ නියෝජනය කුමක් ද? ඔවුන් ට අවශ්‍ය කුමක් ද? 
ප්‍රශ්න පේළියක්!
ප්‍රශ්න ඉවර නැහැ! ඊළඟ ට, බාලතම්පො නමින් මේ වේදිකාවෙ නියත ඉඩක් ලබා ගන්න සිල්වෙස්ටර් ජයකොඩි වගෙ ඊනියා වෘත්තීය සමිති නායකයන් ට අවශ්‍ය කුමක්ද? ඔවුන් පැහැදිලිවම නියෝජනය කරන්නෙ, එක්සත් ජාතීන් හරහා මෙරට රාජ්‍ය නොවන බලයට නතු කෙරෙන ඊනියා වෘත්තීය සමිති. ඔවුන්ට පැවරෙන ප්‍රධාන රාජකාරිය වන රටේ ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වෙමින් ම ඒවා සියුම් ලෙස ස්ථාපිත කරවීමට අවශ්‍ය පසුබිම හදන එක, ඔවුන් යස අපුරුවට කරමින් ඉන්න මොහොතක් මේ. එතකොට? ඒක බරපතළ ප්‍රශ්නයක් නෙවෙයි ද?
මේ අතර වෙනත් වෘත්තීය සමිති, තවත් කුඩා කණ්ඩායම් සහ සමාජ ක්‍රියාකාරිකයන් ලෙස යම් නමක් හදා ගත්තු තවත් කට්ටිය ඉන්නවා, ඔවුන් මේ වේදිකාවට ගොඩවෙලා බලාපොරොත්තු වන දේත් ඔවුන්ගෙ අතීත ක්‍රියාකාරකම්වලට අනුකුලව,  තව ම පැහැදිලි නැහැ! විශේෂයෙන් ම, රාජ්‍ය නොවන දේශපාලනය නියෝජනය කරන බව බැලූ බැල්මට ම පෙනෙන, මහාචාර්ය සුමනසිරි ලියනගේ වගෙ අයගෙ SAITM විරෝධී දේශපාලන අරමුණ, මේ වේදිකාව පාමුළ බරපතළ ලෙස අවධානයට ගත යුතුමයි. 
ඒ සංවාදයත් වෙනම!
ඒත්,  SAITM විරෝධී මේ වේදිකාව පිළිබඳ අර මුල් ඓතිහාසික කියවීම තව දුරටත් වලංගුයි!
මේ මොහොත වන විට, 70 දශකයෙන් ඇරඹෙන ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා රටේ සමස්ත දේශීය ආර්ථිකය ''සංහාරය'' කෙරෙමින් තියෙනවා. ඒසඳහා, මේ රටේ නිදහස් අධ්‍යාපනය විසින් හෙවත් පොදු මහා ජනයා විසින් නිර්මාණය කෙරුණු උගතුන් සෑහෙන ප්‍රමාණයක්, තම කාලකන්ණි ආශාවන් වෙනුවෙන් සම්බන්ධ වී සිටිනවා. මේ රටේ පැවැත්ම, මෙතෙක් සහ තවදුරටත් යන්තමින් හෝ  ආරක්ෂා කරමින් තිබෙන නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව, පියවරෙන් පියවර - මුළුමනින් ම අහෝසිකර දැමීම එහි ප්‍රධාන ව්‍යාපෘතියක්. SAITM කියන්නෙ අන්න ඒ සන්දර්භය තුළ මතුවන එක තීරණාත්මක 'කඩයක්'! ඒ,  එමගින් නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව කියන ඒකාබද්ධ ක්‍රියාවලිය ම එකට නතුකර ගන්න පුළුවන් වෙළෙඳ ආකෘතියක් හදන නිසා. 
ඊළඟ පියවර තමයි, රටේ ව්‍යවස්ථාව බෙදුම්වාදී ආකෘතියකට මාරු කරලා, රාජ්‍ය ව්‍යුහාත්මකව දුර්වල කරන එක. ඒ සඳහා අවශ්‍ය මුලික වැඩ කටයුතු මේ වෙනකොට රට පුරා ක්‍රියාත්මකයි. මේ අවසාන ව්‍යාපෘතිය සාර්ථක වෙච්ච ගමන් අන්න අර ඊනියා ජාත්‍යන්තර ආර්ථික ඝාතකයන්ගෙ සමස්ත වෙළෙඳ ව්‍යාපෘතිය, එක තීරණාත්මක තැනකට එනවා.
මෙන්න මේ පුළුල් සංවාදය ගොඩ නගා ගන්න අපොහොසත් වුණොත්, SAITM විරෝධී වේදිකාව, ඔය මහා ඓතිහාසික අපරාධයෙම කොටසක් වෙනවා! එය කාටවත් වළක්වන්න බැහැ!
ඔන්න දැන් තමයි, බරපතළ ම! ප්‍රශ්නය එන්නෙ!
ඊනියා නව ව්‍යවස්ථා ව්‍යාපෘතිය පිළිබඳ මාතෘකාව එනකොටම මේ වේදිකාව දෙදරන්න ගන්නවා, හේතුව විවිධ තත්වයන් යටතෙ, යෝජිත ඊනියා ව්‍යවස්ථා ක්‍රියාවලිය සඳහා මේ වේදිකාව ට ගොඩවන බොහෝ පුද්ගලයන් සහ කණ්ඩායම් එකඟයි! ඔවුන්ට මේ සමස්ත පටලැවිල්ල ලෙහා ගන්න බැරිවෙලා තියෙන නිසාම තත්වය එන්න එන්න සංකීර්ණ වෙනවා. එතකොට අරගලයෙ දිශාව අවුල් වෙනවා!
බලන්න! තොරතුරු දැනගැනීමේ පනත ගේන්නෙ, ප්‍රධාන වශයෙන් ම වෙනත් රටවල් සමඟ ගහන වෙළෙඳ ගිවිසුම් පිළිබඳ තොරතුරු ජනයාට තහනම් කරන්න. ජවිපෙ ඒ වෙනුවෙන් මාරාන්තික විදිහට පෙනී හිටිනවා. අතුරුදන් වුවන් හොයන්න ඕනෙ කාටද දැන්? ජවිපෙ සහ පෙරටුගාමීන් එකාවගෙ ඒ වෙනුවෙන් පෙනී හිටිනවා, ඒ ඇයි? 
ජවිපෙ එහෙම නං කියන්න ඕනෙ, ඉස්සරවෙලා ම, අපේ නායකයා රෝහණ විජේවීර අත්අඩංගුව ට අරගෙන මරා දාපු විදිහ, අනිත් නායකයො මරා දාපු විදිහ සහ අතුරු දහන් කරපු විදිහ හොයාපියව්! කියලනෙ. ඔවුන් එහෙම කියන්නෙ නැහැ, ඒ වගේම, මේ, අර ඊනියා ජාත්‍යන්තරයෙ කොටසක් වෙච්ච දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් කරන සහ එය කෙළින්ම, රටේ ව්‍යවස්ථා උගුලට සම්බන්ධ යි කියල කියවා ගන්න ත්  ජවිපෙ ට බැරි වෙනවා. මේ තත්වය පෙරටුගාමීන්ට ත් අදාළයි.
මේ සියලු සංකීර්ණ තත්වයන් එක්ක, මේ ගොඩනැගෙන SAITM විරෝධී උණුසුම් වේදිකාවෙ, අනාගත දිශානතිය තීරණය වෙන්න නියමිතයි! 
''විධිමත් අධ්‍යනයන් ට අදාළ සහ වඩා විවෘත සංවාදයක් ගොනගා ගන්න!'' 
මේ වේදිකාවේ සිට මම යෝජනා කරනවා!
එහෙම නැති වුණොත් අතීතය පුරා සිද්ධ වුණා වගේම, මේ තරුණ ජවය හරහා එළැඹෙන්න නියමිත, රට ට අතිශය අදාළ සහ තීරණාත්මක ඓතිහාසික දේශපාලන මොහොත යළිත් අපට මග හැරේවි!
CHAPA 
August 17, 2017  
   


  

No comments:

Post a Comment