Monday, August 7, 2017

හරක් හොරෙක්? ඊඊඊයායායායා...

''මට අද උදේ ඉඳලා බඩ යනවා!'' 
චිකේ! ජරා කතා!
ඔව්! ඒක නිකං ශිෂ්ට නැති කතාවක් වගෙ නේද? 
මට ලූස් මෝෂන් වගෙ අනේ! කියනකොට නං පොඩි ගතියක් තියෙනවා.
''අපේ තාත්තගෙ වකුගඩු නරක් වෙලා!'' කියනකොට පොඩි ගොඩේ ගතියක් එනවා. කියන්න ඕනෙ, ''අපේ තාත්ති ට කිඩ්නි ට්‍ර්බල් එකක්..'' කියලා. පපුවෙ අමාරු කාරයෙක්! කියනවා ට වැඩිය ''හාර්ට් පේෂන්ට්'' කියන එක පොහොසත් කතාවක්. අධික රුධිර පීඩනය කියලා නං කියන්න ම එපා! නිකං බාල ගතියක් එනවා. හයි බ්ලඩ් ප්‍රෙෂර්! කියද්දී පොඩි රිච් ගතියක් එනවා. 
පිළිකාව වෙනුවට කැන්සර්, ඇඟේ ලේ නැහැ වෙනුවට ලෝ බ්ලඩ් ප්‍රෙෂර්, හතිය වෙනුවට වීස්, පපුවෙ හිළක් වෙනුවට හෝල් ඉන් ද හාර්ට්! 
පොඩි කික් එකක් එනවා නේද? ඔය වාත අමාරු වගෙ ඒවා නං කියන්නම එපා, ෆුල් අවුට්! දැන් බලන්න,  'කොලෙස්ටරෝල්' කියනකොට ම ඉහළ සමාජ තත්වයක් එන්නැද්ද? නෑ කියන්න නං එපා! 
අපි දැන් මෙහෙම බලමු! 
අහවල් ගමේ හරක් හොරා! 
ඊඊඊයායායායා...එහෙම කියනකොට, නිකං ලැජ්ජයි වගෙ නේද? ''ඕකා රෑට රෑට හොරෙන් වතුවලට පැනලා, කෙසෙල් කැන් හොරෙන් කපනවා!'' එහෙම කියද්දීත් නිකං හරි නැහැ නේද? 
''අපෝ! ඔය යකා දවසෙම කසිප්පු බීලා හොරපොල් කඩනවා!'' චිහ්! වැදගත් සමාජයක කියන්න පුළුවන් කතාවක් ද? නේද? 
අරූ හොර අරක්කු පෙරනවා!
අපෝ ඔය කසිප්පු කාරයෙක්!
අනෙක මේවා හරිම ගොඩේ පාටයි!
''ඕකා අපේ පන්සලේ පිං පෙට්ටියටත් විද්දා!'' එහෙම කියනකොට, ගොඩේකමකුයි පව්කාරකමකුයි නිතැතින්ම හිතට එනවා.
''ඕකා මගෙන් ලක්ෂයක් ණයට අරං දැන් ඔය මග ඇරලා ඉන්නෙ!''
''ඕකි, ඉක්මනට ආපහු දෙන්නං කියලා මගෙ සීට්ටු සල්ලි හැටදාහම ගත්තා..තාම නැහැ, ඕකි හෙර!''
චිහ්! අහලම එපා වෙනවා! මොනවද අනේ මේ, අහගෙන ඉන්නත් ලැජ්ජයි වගෙ! 
හරි, එහෙම නං මෙහෙම...
''මිනිස්ටර්ස්ලා දහ දෙනෙකුට ලක්ෂුවරී වෙහිකල්ස් ඉම්ප්පොර්ට් කරන්න ෆොර් හන්ඩ්‍රඩ් මිලියන්ස් පරිපුරක ඇස්තමේන්තුවක් අද අනුමත කරලා!''
''ෆොර් හන්ඩ්‍රඩ් මිලියන්ස්? ටූ මච්! '' 
ඒ දෙබස කොහොමද?
''ඇමතිතුමා කියන්නෙ මේ වාහන ගෙන්වීම සාධාරණයි කියලා ද?''
''අනිවාර්යයෙන්ම! අපට තව වාහන ඕනෙ! මොකෝ අපි පයින් යන්නද?''
රුපවාහිනී සංවාදයකදී ඇහෙන එහෙම දෙබසක්? අවුලක් නෑ වගෙ නේද?
හැබැයි...
''මේ වාහන ගෙන්වීම සම්බන්ධ ප්‍රශ්නය, මා සිතන ආකාරයට, අප සලකා බැලිය යුත්තේ, පවතින දේශපාලන සහ සාමාජීය සන්දර්භය තුළයි''
අන්න එහෙම කියද්දී නං විද්වත් ගතියක් මතු වෙනවා.
දැන් බලන්න, භාණ්ඩාගාර බිල්පත් වංචාව! හැබැයි වඩා ඇට්‍රැක්ටිව්, ට්‍රේෂරි බිල්ස් ඉෂු එක! කියද්දී, කාටද ආඩම්බර? 
නිකං හිතන්න! ''එයා ට්‍රේෂරි බිල්ස් ඉෂුඑකෙන් ටූ බිලිඅන්ස් අර්න් කෙරුවා, ඒක ඉන්වෙස්ට් කරලා මීඩියා ස්ටේෂන් එකක් ෆෝර්ම් කරනවා, අපේ ලිකර් ෆැක්ටරි එකත් ලොකු ඉන්වෙස්මන්ට් එකක්...අපි කොහොමත් දිගටම මේ බිස්නස් එක කරනවා, අපි ස්ටොක් මාර්කට් එකෙත් වැඩකරගෙන යනවා. අර මිනිස්ටර්ට අපි ගෙයක් දුන්නා ගිෆ්ට් එකක් විදිහට, සෝ වට්ස් ද ඉෂු? එයාගෙ පොලිටිකල් ෆියුචර් එක ඩිස්ට්‍රෝයි කරන්න තමයි ඔය එක එක්කෙනා එයාට මඩ ගහන්නෙ, වී ඩෝන්ට් කෙයාර් අනේ!'' කියනකොට කොච්චර ස්වීට් ද? අර හරක් හොරකං ගැන කියද්දි වගෙ ගොඩේ ගතියකුත් නැහැ!
අනෙක බලන්න! හරක් හොරෙක්, කුකුළු හොරෙක්, කෙසෙල් කැන් හොරෙක්, පොල් හොරෙක් අහුවුණාම, මට මතක නැහැ! කියන්න පුළුවන් ද? ඒක කියන්නත් බැහැ ඉතිං පොලිසිය කොහොමත් හක්ක පනින්න ගහලා නිසා. භාණ්ඩාගාර බිල්පත් වංචාවක් ගැන හොයන්නෙ හරියට ලොකු සංවර්ධන කටයුත්තක් සැලසුම් කරනවා වගෙ, වායු සමනය කරපු මැදිරිවල, ටයි කෝට් දාගෙන, මහජන මුදලින් විශාල දවස් පඩි ලබන විනිසුරුවරු යොදවලා, හිත නොරිදෙන්න, සීරුවට!
අනෙක ට්‍රේෂරි බිල්ස්, ඉන්වෙස්ට්මන්ට්ස්,  ස්ටොක් මාර්කට්, මිලියන්ස්, බිලියන්ස් කියද්දී හොර ගතියක් එන්නෙම නැහැ, ඇමරිකන් ඩොලර් වගෙ වෙනකොට, අනේ මාවත් ඕන නං විකුණලා ඒවා ගන්නකො! කියල වගෙ කෝඩුකාර මනමාල ගතියකුත් අහන කෙනාට එනවා. ඔන්න! නෑ නං කියන්න එපා!
කාටද ආඩම්බර?
එතකොට, හරක් හොරෙක්? 
ඊඊඊයායායායා...ඔන්න ආයෙ පටන් ගත්තා!
CHAPA 
August 7, 2017 

     

No comments:

Post a Comment