Saturday, January 14, 2017

තවත් කතවක්...

Media Talk

2003 ජනවාරි හරිය වෙනකොට අපි පත්තරයක් විදිහට සෑහෙන ගමනක් ඇවිත් තිබුණා. වෙළෙඳපොළ ඇතුළෙ, ඒ කියන්න පත්තර තට්ටුවල පත්තර විකිණෙන එක අපේ පාලනයෙන් පිට සිද්ධ වෙන වෙන කතන්දරයක් හින්දා අපි ඔය වෙනකොට පුද්ගලයගෙන් පුද්ගලයට හන්දියෙන් හන්දියට සහ ගමෙන් ගමට පත්තර විකුණන හැටි අත්හදා බලමින් හිටියා. ඒක හරිම වෙහෙසකර වැඩක්. ඒත් අපි ටික ටික කරගෙන ගියා. ඒ අතරම රටේ විවිධ තැන්වල සාකච්ඡා සහ වැඩමුළු පවත්වමින් ජනමාධ්‍ය පිළිබඳ දියුණු සංවාදයක් ඇති කරගන්න අපි දිගටම උත්සහ කෙරුවා. මේ සඳහා පාසල් මට්ටමෙන් වැඩ කරන්න පුළුවන් ද කියන එක ගැන අපිට ලොකු උනන්දුවක් තිබුණා.
මුල්ම කාලයෙ, ඒ කියන්නෙ, පත්තරේ පටන් අරන් මාසයකින් දෙකකින්, පන්නිපිටියෙ ධර්මපාල විද්‍යාලයෙ පැවැත්වුණු ජනමාධ්‍ය පිළිබඳ වැඩසටහනකට මට ආරාධනා ලැබුණා. ඉස්කෝලෙ සංවිධායක මණ්ඩලයත් එක්ක කතාකරලා, ඒ වැඩේට ආරියරත්න ඇතුගලවත් ( කැළණිය විශ්ව විද්‍යාලයෙන් ) එක්කරගෙන යන්න මට පුළුවන් වුණා. එදා සාකච්ඡාව ටිකක් උණුසුම් මට්ටමකට ගියා. එක තැනකදි ඇතුගලගෙ හිත නරක්වෙන තත්වයකුත් මතු වුණා. ඒ වෙලාවෙත් මට හිතුණා, හොඳ සංවාද වැඩ බිමක් ඇතිකරගන්න පාසල් අවකාශයක් කොයි තරම් ප්‍රබලද කියලා.
ඇතුගල ගැන ලියන්න ගත්ත නිසා, ඔහුට සම්බන්ධ තවත් කතාවක් මෙතැනම ලියන්න තියෙනවා.
ඔහු ඉස් ඉස්සෙල්ලාම මට මුණ ගැහෙන්නෙ කැළණිය විශ්ව විද්‍යාලයේ TNL වැඩසටහනක් රූ ගත කරන්න ගිහිං. ( 'නිදහස් - free ) පත්තරේ පටන් ගත්ත කොටුවෙ උද්ඝෝෂණ අවස්ථාවටත් ඔහු ඇවිත් හිටියා. ඊට පස්සෙ වරින් වර අපි හම්බ වුණා. පත්තරේට ලියමු කියලා ඔහුට යෝජනා කරනකොට ඔහු කිවුවේ ඒකට වෙලාවක් හොයාගන්න අමරුයි කියලා. කැළණිය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ධාරාවට සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම්කරුවෙක් නිසා අපිට ඔහු වැදගත්. මාධ්‍ය භාවිතය සහ මාධ්‍ය නිදහස වගෙ කාරණා ගැන අපි මුණ ගැහිච්ච වෙලාවට කතා කරනවා. කොහොම හරි ඔහුගෙ අදහස් මේ පත්තරේ හරහා ගෙනියන්න ඕන නිසා, ඔහු කතාකරන දේවල් පටිගත කරලා ටිකක් වෙනස් විදිහක කොලමක් ලියන්න අපි ක්‍රියා කෙරුවා. වැඩේ කරගෙන ගියේ ආශා ( ප්‍රේමතුංග ). කොලමෙ නම 'මීඩියා ටෝක්'. ඒත් මාසයක් දෙකක් යනකොට තත්වය වෙනස් වුණා.
2002 ඔක්තෝබර් මාසය පටන් ගන්න කලින් කැළණිය විශ්ව විද්‍යාලය 'සං' කියලා සඟරාවක් පටන් ගත්තා. ඒක දොරට වඩින උත්සවයට ඇතුගල මටත් කතා කෙරුවා. ඒ සඟරාව එතෙක් අපි කියවපු හුඟාක් සිංහල සඟරාවලට වැඩිය නොදියුණු මට්ටමකයි තිබුණෙ. එළියෙ ජනමාධ්‍ය ගැන ශාස්ත්‍රාලීය විවේචන ඉදිරිපත් කරන අය, එළියෙ මාධ්‍යකාරයන්ට පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහේ සඟරාවක් නොකිරීම ගැන මම ඇතුගල ප්‍රශ්න කෙරුවා. අපේ ඔක්තෝබර් කලාපයට ඒ ගැන සටහනකුත් ලියැවුණා. ඔය ගැන ඇතුගල හොඳටම කේන්ති ගත්තා. පස්සෙ කාලයක ඔහු මුණ ගැහෙන්න ගෙදර ගිය වෙලාවක ඒ කේන්තිය හදිසියේම පුපුරලා ගියා. ඉතිං ඔහු මට බැන්නා.
මෙතැන මට පුද්ගලික ආරෝවක් නෑ. තරහකුත් නැහැ.
ඒත් අර ප්‍රශ්නය නං තාමත් එහෙමමයි.
( කූඹි - 2010 ජුනි, පිටු 66 - 67 )    
  

No comments:

Post a Comment