Saturday, January 7, 2017

මර්වින් ඉත්තෙක් ලෙස යොදාගෙන රුපවාහිනියට මිලිටරි පාලනයක්!


මර්වින් සිල්වා අමාත්‍යවරයා මැර පිරිසක් සමග රුපවාහිනී සංස්ථාවට කඩා වැදුණු සිද්ධිය පසුබිම් කරගත් ආණ්ඩුව දැන් එකී මාධ්‍ය ආයතනයේ පරිපාලනය සඳහා විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත්කර තිබේ.
පසුගිය පෙබරවාරි මාසයේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගත් මේජර් ජෙනරාල් සුනිල් සිල්වා නම් වූ මෙම හමුදා ප්‍රධානියා අවසන් වරට කටයුතු කළේ යුධ ලේකම් වරයා ( MS ) ලෙසය. එහිදී ඔහුට පැවරී තිබුණේ රාජ්‍ය මට්ටමෙන් හමුදාපතිවරයා ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමටය. 88 - 89 භීෂණ සමයේදී ද මෙවැනි හමුදා ප්‍රධානියෙක් රුපවාහිනී සංස්ථාව පාලනය කිරීමට යෙදවුණු අතර, මෙම පත්වීම මගින් අදාළ මාධ්‍ය ආයතනය තම අණසකට යටත් කර ගැනීමේ පුර්ණ හැකියාව ආණ්ඩුවට ලැබේ.
මේ වනවිට බොහෝ මාධ්‍ය වාර්තා මගින් හෙළිදරව්‍ වී ඇති පරිදි මර්වින් සිල්වා අමාත්‍යවරයා රුපවාහිනියට කඩා පැන එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට අඩත්තේට්ටම් කරන්නේ මාතර මහානාම පාළම විවෘත්ත කරන අවස්ථාවේදී තමා කළ කතාව විකාශය නොකළ නිසාය.
පසුව එම කතාවේ ඇතැම් කොටස් 'සිරස' නාලිකාව මගින් විකාශය වූ අතර, එය තනිකරම හිටපු අමාත්‍ය මංගල සමරවීරට ද්වේශ සහගත ලෙස එල්ල කෙරුණු 'මඩ' කතාවක් බව පැහැදිලි විය. පිළිගන්නා බව කියන ප්‍රජාතන්ත්‍රවාදයට සහ ඒ තුළ ඇතැයි කියන මාධ්‍ය නිදහස පැත්තෙන් බලන විට ඒ සිද්ධිය සම්බන්ධයෙන් රුපවාහිනී සේවකයන් ක්‍රියාකළ ආකාරයඉතා නිවැරදි බව කෙනෙකුට තර්ක කළ හැකිය. මර්වින් සිල්වාගේ පුද්ගලික තරාතිරම කුමක් වුවත්, ඔහු ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජ්‍ය කොටස් කරුවෙකි. ඔහු කළේ තමා සතු රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීමය. ඒ කුමක් සඳහා ද? මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාට සිත් සේ මඩ ගැසීමට නොහැකි වූ නිසාය. එය මර්වින් සිල්වාගේ පමණක් පුද්ගලික අවශ්‍යතාවක් නොවේ. සිද්ධියට පෙරත් - පසුත් ඇති වූ සෙසු සිද්ධීන් පරීක්ෂා කර බලද්දී ඊට ජනාධිපතිවරයාගේ ඍජු සම්බන්ධතාවක් තිබෙන බව සිහි මොළේ ඇති ඕනෑම කෙනෙකුට පෙනේ. එනම්, මර්වින් සිල්වා එදා තම මැරයින් සමග රුපවාහිනියට කඩා පැන්නෙත්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට පහර දුන්නෙත්, පසුව එම පහර දීමට එරෙහිව ක්‍රියා කළ රුපවාහිනී සේවකයන් එකිනෙකා දඩයම් කිරීමට පටන් ගත්තෙත් ජනාධිපතිවරයාගේ විශේෂ අනුග්‍රහය යටතේ ද යන සාධාරණ සැකය ඇතිවන තරමට එහි සිදුවීම් පෙළ නිරවුල්ය, පැහැදිලිය. එසේම මර්වින් මේ වනවිට පවා හැසිරෙන්නේ ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාව දෙස කල්පනාවෙන් බලන්නෙකුට ඒ බව තව දුරටත් තහවුරු වේ.
මේ වන විට මර්වින් සිල්වා සහ ඔහුගේ මැරයින්ට විරුද්ධව පෙළ ගැසුණු රුපවාහිනී සේවකයන් විසි ගණනකට විරුද්ධව රජයේ පාර්ශ්වයෙන් පරීක්ෂණ ආරම්භ වී තිබීම තුළින් ප්‍රකාශ වන්නේද ඒ සරල යථාර්ථයම බව අමුතුවෙන් කිව යුතු නැත.
විශ්‍රාමික හමුදා ප්‍රධානියෙකු රුපවාහිනී නියෝජ්‍ය අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ( පරිපාලන ) ධූරයට පත් කෙරෙන්නේ මේ පසුබිම තුළය. ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මාධ්‍යයට කරන ප්‍රකාශ වලට අනුව එම පත් කිරීමට හේතුව රුපවාහිනී සංස්ථාවේ පරිපාලනය දුර්වල වී තිබීමයි. ඒ අනුව නිසි පරිදි වැඩ බෙදා නොතිබීම සහ උසස්වීම් පිළිබඳ ප්‍රශ්න විසඳා ආයතනය ලාබදායි ලෙස පවත්වාගෙන යෑම සඳහා මෙම පත් කිරීම සිදුකර තිබේ. වැදගත්ම කාරණය වන්නේ රුපවාහිනී සේවකයන් ජනාධිපතිවරයා හමුවන මොහොතේදී මෙම පත්කිරීම සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොකිරීමට ජනාධිපතිවරයා වගබලා ගැනීමයි.
මෙම කරුණු සියල්ල එකතුකර බලන විට අප ඉදිරියේ ඉතා පැහැදිලි චිත්‍රයක් ඇඳේ. කුමන හේතුවක් මත හෝ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට අවශ්‍ය දේ - රුපවාහිනිය, රාජ්‍ය මධ්‍යයක්ව තිබියදීත් කර ගැනීමට නොහැකි විය.
එයින් අදහස් වන්නේ රුපවාහිනියේ මාධ්‍ය භාවිතය ස්වාධීන බව හෝ අපක්ෂපාතී බව නොවේ. යම් හේතුවක් මත මාධ්‍ය ක්‍රීඩාව ඒ මොහොතේ අවුලකට පත්ව ගිය බවය. රූපවාහිනී සංස්ථා ඉතිහාසය දෙස බැලීමේදී මෙම සිදුවීම් පෙළේ ආරම්භය සටහන් කළ සිද්ධිය අහම්බයක් බව අමුතුවෙන් කිව යුතු නැත. අහම්බයක් වුවද එය ප්‍රබල සිද්ධියකි. රාජ්‍ය බලය දෑතින් ගෙන තම මැරයින් සමග තම සංස්ථා භූමියට කඩා පැන්න අමාත්‍යවරයෙකු තම ආයතන ප්‍රධානියෙකුට අඩත්තේට්ටම් කරන විට ඊට විරුද්ධව ක්‍ෂණිකව සංවිධානය වන සේවක බලය ඇමතිවරයා සහ ඔහුගේ මැරයන් නාටු බලු කුක්කන් බවට පත් කර තම බල සීමාවෙන් එළවා දැමීම තුළ ඇති 'දේශපාලනය' ලේසියෙන් බැහැර කළ හැකිද? ඊටත් ඒ ඒ සිදුවීම් සජීව ලෙස විකාශය කිරීමට ඔවුන් පියවර ගැනීම! පළපුරුදු පක්ෂ දේශපාලන පක්ෂ නායකයෙක් ලෙස ජනාධිපතිවරයා මේ සිදුවීම් පෙළ නිවැරදිව කියවාගන්නට ඇත. එය තම බලයට සහ අනාගත පැවැත්මට බරපතළ අභියෝගයක් වන බව හොඳින් තේරුම් ගත් ඔහු මින් මතු එවැනි 'දේශපාලන සිදුවීමක්' එහි ඇති නොවන්නට මෙම විශ්‍රාමික හමුදා නිලධාරියා පත් කරන්නට ඇත.
එසේ නොවේ නම්, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා, ආණ්ඩුව ආරම්භයේ පටන්ම සංවිධානාත්මක සැලැස්මක් දියත් කෙරුවාද විය හැකිය.කෙසේ වුවත් එහි ඉත්තා 'මර්වින් සිල්වා' ය.
CHAPA
( 'නිදහස්' 2008 අප්‍රේල් කලාප, පිටුව 3 / කුඹි - 2010 ජූනි, පිටු 208 - 211 )     
          

No comments:

Post a Comment