Sunday, January 29, 2017

   ඔබ ඊර්ෂ්‍යා කාරයෙක් ද?


මිනිස්සු හැටියට අපට කොහොමත් ඊර්ෂ්‍යා හිතෙනවා. එය, මනුෂ්‍ය ස්වභාවය තුළ අනන්‍ය ලක්ෂණයක්. ඔබ දන්නවාද? වෙනත් සමහර සත්තුන්ටත් මිනිස්සුන්ට වගේම ඊර්ෂ්‍යා හිතෙනවා, ඒ ඒ සත්තු අතර සහ වෙනත් සත්තු අතර පවා. ඔබේ ගෙදර ඉන්න බල්ලො, පුසො තමයි ළඟම උදාහරණය. සමහර බල්ලො කීයටවත් කැමති නැහැ තමා හැර වෙන හුරතලෙක්ව හුරතල් කරනවාට. බල්ලො සමහරවෙලාවට ගෙදර ඉන්න ළමයි එක්කත් හුරතලය වෙනුවෙන් තරඟ වදිනවා, එතකොට ඔය ඊර්ෂ්‍යාව වගෙ වෙනස් හැඟීමක් ඒ මුණෙ සටහන් වෙනවා.
කොහොම වුණත් ඊර්ෂ්‍යාව හොඳ හැඟීම් සමුදායක් නං නෙවෙයි.
අපි මිනිස්සු හැටියට අනෙකාට එක එක විදිහට ඊර්ෂ්‍යා කරනවා. මුදල් ඇතුළු භෞතික සම්පත් වෙනුවෙන්, අවස්ථා වෙනුවෙන්, විනෝදය - සතුට වෙනුවෙන්...ඔය එක එක විදිහට.
මේ අතර දරුණුම තත්වය තමයි ලිංගික ඊර්ෂ්‍යාව!
යමක් විධිමත්ව දැනෙන ඕනෑම වයස් කාණ්ඩයකදි එහෙම හැඟීම් දැනෙන්න පුළුවං. සම සහ විරුද්ධ ලිංගිකයන් අතර පවා ඕනෑම මොහොතක ලිංගික ඊර්ෂ්‍යාව ඇතිවෙන්න පුළුවං. මේ සංකීර්ණ මනෝභාවය කළමනාකරණය කරගන්න ටිකක් අමාරුයි, කෙනෙකුට එහෙම හැඟීමක් හිතේ තද කරගෙන ඉන්න අමාරුයි, එක එක විදිහට මුදාහැරෙනවා.
එතකොට ඒ කෙනා වගේම අනෙක් අයත් අපහසුතාවට පත් වෙනවා.
බරපතළම තත්වය තමයි, ලිංගික ඊර්ෂ්‍යාව කෙනෙකුට බලවත් පීඩාවක් වෙන්න පුළුවං වගේම ඒ පීඩාව, කෙනෙකුගෙ මරණය දක්වාම ගමන් කරන්නත් පුළුවං. කොටින්ම, මේ මනෝ භාවයෙන් කෙනෙක් තව කෙනෙක්ව මරා දාන්න පුළුවං. ඒ විතරක් නෙවෙයි, සංවිධාන සහ ආයතන එකවර කඩා වැටෙන්න හේතු වෙන්න ඉඩ තියෙනවා.
ලිංගික ඊර්ෂ්‍යාව, දේශපාලන සාධකයක් වෙලා, රාජ්‍යයක් බිඳ දාන තරමට බලවත්!
ඉතිං, ''අපෝ! මම නං එහෙම නැහැ!'' නොකියා හෙමින් හොරෙන් වගෙ තමන් ගැන හිතලා බලන්න! කාටවත් කියන්න ඕන නැහැ. තමන්ගෙ මට්ටම තේරුම් අරගෙන, පුළුවං  උපරිම විදිහට කළමනාකරණය කරගන්න උත්සහ කරන්න. නැත්තං ඔබට වගේම අනිත් අයටත් කරදරයි!
CHAPA
 

No comments:

Post a Comment