Saturday, January 14, 2017

                                  Happy Birth Day! King!!


1929 ජනවාරි 15, අද වගේ දවසක, මාටින් ලුතර් කිං ( කනිෂ්ඨ), ඇමරිකානු ජෝර්ජියා ඇට්ලාන්ටාවෙ දි උපත ලබනවා. 1968 අප්‍රේල් 4 ටෙනීස් මෙම්ෆීස්හිදී ඝාතනයට ලක්වන තෙක් සහ ඊට පස්සෙ අද වන තුරුත් - ඉදිරියටත්, ඔහු අප ඉදිරියේ නොනිමි සංවාදයක් ගොඩනගනවා.
මේ, ඒ වෙනුවෙන් 'කුඹි' පොතේ 205 - 207 පිටුවලින්  උපුටා ගැනෙන දිග සටහනක ඡේද කීපයක්;
( උපුටා ගැනීම )
..ධනේෂ්වරයේ උවමනාව සඳහා වර්ධනය වී අධ්‍යාපන වටිනාකමක්ද අත්පත් කරගනිමින් විවිධ ස්වරූපයන් ඔස්සේ එතෙක් දුර පැමිණ තිබූ, ලෝකය දෙවියන්ගේය යන ප්‍රබන්ධය කිංට භාවිත කිරීමට සිදුවන්නේ පද්ධති බද්ධ දේව ධර්මය ( Systematic Theology ) සහ ඒ සමඟ බැඳුණු වෙනත් දාර්ශනික වියමන් ඔස්සේ විය යුතුය. එහෙත් ඔහු පහළ වන කාල තීරුව වන විට, ක්‍රිස්තු උපතට ආසන්න එහා මෙහා සියවස් වල ආරම්භ වී ධනේෂ්වර හැඩ තල සමග ඉදිරියට පැමිණෙමින් තිබුණු, දේව ධාර්මික නමින් පෙනී සිටි ඒ දේශපාලනික මැදිහත්වීම වඩා විධිමත් සාකච්ඡා සන්දර්භයකට ඉඩ කඩ සලස්වා තිබිණි. කිං ඒ බව යම් ප්‍රමාණයකට හෝ වටහාගෙන සිටි බව ඔහුගේ ඇතැම් ප්‍රකාශවලින් අවබෝධ වේ.
''....යම් දිනෙක ජෝර්ජියාවේ රතු කඳු මත ඉස්සර වහලුන්ගේ පුතුන් සහ ඉස්සර වහල් හිමියන්ගේ පුතුන් සහෝදරත්වයේ මේසය වටා එකට ඉඳ ගැනීමට සමත් වනු ඇතැයි මම සිහින දකිමි. අයුක්තියේ තාපයෙන් පීඩා විඳින, පීඩනයේ තාපයෙන් පීඩා විඳින ජනපදයක් වූ, මිසිසිපි ජනපදය පවා එක දිනෙක නිදහසේ සහ යුක්තියේ ක්‍ෂේම භූමියක් වනු ඇතැයි මම සිහිනයක් දකිමි...''
( ජීවිතය සහ මරණය, පිටුව 162 )
කිං එසේ කියන්නේ ඒ නිසයි. එහෙත් ඔහුගේ ඒ දේශපාලන සිහිනය කිසිදා සැබෑ නොවන සිහිනයක්ම බවට පත් කරන ඔහුගේ මැදිහත්වීමේ - යථාර්ථයේ මිත්‍යාව මෙන්න බලන්න;
''...අප නිදහසේ සීනුව නාද වීමට සලස්වන විට, අප එයට සෑම නගරයකින්ම, සෑම ගමකින්ම සහ සෑම ජනපදයකින්ම නාද වීමට සලස්වන විට, දෙවියන්ගේ සියලු දරුවන් කළු මිනිසුන් සහ සුදු මිනිසුන්, යුදෙව්වන් සහ නොයුදෙව්වන්, ප්‍රොතෙස්තන්තයන් සහ කතෝලිකයන් යන සියලු දෙනා එකට අත්වැල් බැඳගෙන ''අන්තිමේදී නිදහස්, අන්තිමේදී නිදහස්...සර්වබලධාරී මහා දෙවියනි!අපි අන්තිමේදී නිදහස්!'' යන පැරණි නීග්‍රෝ අධ්‍යාත්මික වචන වලින් ගී ගැයීමට සමත්වන එම දිනය ඉක්මන් කිරීමට අපි සමත් වන්නෙමු!''
( ජීවිතය සහ මරණය - පිටුව 163 )
ඇතැම්විට කිං කිසිදා වටහා නොගත් කාරණය වන්නේ ඔහුගේ සිහිනය සහ සර්වබලධාරී දෙවියන් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවය. ඒ දෙවියන් යනු තමා ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි රාජ්‍යයේම වෙනත් ස්වරුපයක් බව අවබෝධ කර ගැනීමට තීබූ එකම බාධාව ඔහුගේ ආගමික අධ්‍යාපනය බව අනුමාන කළ හැකිය. වෙනත් වචනවලින් කියන්නේ නම්, කීං හසුව සිටියේ එක්තරා ඓතිහාසික දේශපාලන උගුලකටය. සෙසු ජනපද ප්‍රාන්ත යටපත් කරදමමින් නිව්යෝක් සහ වොෂිංටනය අතර බලහත්කාරයෙන් බිහිවෙමින් තිබූ ඇමරිකානු නව යටත්විජිතවාදී කඳවුර සුළඟිල්ලෙන් පෙරලා දැමීමේ අසහාය බලයක් තිබූ පොදු ඇමරිකානුවන්ගෙන් කොටසක් 'කළු විඥානය' යනුවෙන් ලේබල් කර රාජ්‍යයට අවශ්‍ය පරිදි අවනත කර දැමීමය, කිං අතින් අවසානයේදී සිදුවූයේ.
( උපුටා දැක්වීම අවසන් )
CHAPA
      

No comments:

Post a Comment